පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු – Malay pickle
අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු කියන්නෙ ලංකාවෙ අපි අතරෙ හරි ජනප්‍රිය අච්චාරු එකක්. පැණි රස, ඇඹුල් රස වගේම සැරත් කවලම් වුණ මැලේ අච්චාරු බත්, බිරියානි, කහ බත්, රොටි වගේ ඕනෙම කෑමක් එක්ක ගැලපෙනවා. විශේෂයෙන්ම වෙඩින්, උත්සව අවස්ථාවල වරදින්නෙ නැති දෙයක් තමයි මේ. මැලේ අච්චාරු ඇරඹුණේ අතීතයෙ ලංකාවෙ පදිංචි වෙලා හිටිය මැලේ ජාතිකයින්ගෙන්. කාලයත් එක්ක මේක ලංකාව පුරාම ජනප්‍රිය දෙයක් වුණා. රසවත් මැලේ අච්චාරුවක් ගෙදරදිම හදාගන්න විදිහ බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය
[ සෝස් එකට ]
රටඉඳි (ඇට ඉවත් කළ) 375 g
විනාකිරි කෝප්ප 2
අබ ඇට මේස හැඳි 2
සුදුළූණු බික් 5
ඉඟුරු කැබැල්ලක් 
මිරිස් කුඩු මේස හැඳි 1½
කුරුඳු කුඩු තේ හැඳි ½
ලුණු (රස අනුව)
දුඹුරු සීනි කෝප්ප ⅔
[ එළවළු ]
රතු ලූනු 650 g
කැරට් 300 g ( තීරු කපා ගන්න )
රටඉඳි 100 g (පොඩි කෑලි කපා ගන්න)
අමු මිරිස් 100g ( පිහියකින් ඉරි අඳින්න )
මාළු මිරිස් 250g (රවුමට කපා ගන්න)
සාදන ආකාරය
මැටි භාජනයකට රටඉඳි දාලා එයට විනාකිරි කෝප්ප 1½ක් එකතු කරලා පැය දෙකක් විතර පෙඟෙන්න තියන්න. තවත් භාජනයක අබවලට විනාකිරි දාලා පෙඟෙන්න තියන්න. ඊට පස්සෙ පොඟවගත්ත අබ වංගෙඩියක් හෝ ග්‍රයින්ඩර් එක use කරලා ක්‍රීම් එකක් වගේ අඹරගන්න. බ්ලෙන්ඩර් එකට පොඟවගත්ත රටඉඳි, ඒවා පොඟවගත් විනාකිරි, සුදුළූණු, ඉඟුරු, මිරිස් කුඩු, කුරුඳු කුඩු සහ ලුණු දාලා ගොඩක් මෘදු ගතියට එනකං බ්ලෙන්ඩ් කර ගන්න. දැන් මේ සෝස් එක භාජනේකට දාලා ඒකට අඹරගත්ත අබ සහ දුඹුරු සීනි එකතු කරන්න. රස අනුව ඉතිරි විනාකිරි ටිකත් එකතු කරන්න. කැමතිනම් අවශ්‍ය විදිහට ලුණු, සීනි එක් කර ගන්නත් පුළුවන්.




