Interviewsලෙඩේ නිසා ඉස්සර තරම් මත්පැන් බොන්නෙ නෑ

ලෙඩේ නිසා ඉස්සර තරම් මත්පැන් බොන්නෙ නෑ

-

spot_img

ලෙඩේ නිසා ඉස්සර තරම් මත්පැන් බොන්නෙ නෑ – Daisy Edgar Jones

Normal People කතාමාලාව ඔස්සේ ලොව පුරා රසික ආදරය දිනාගත් බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී ඩේසි එඩ්ගා ජෝන්ස් (Daisy Edgar-Jones) කුඩා කල සිටම රංගනයට දැක්වූ කැමැත්ත නිසා රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපට ඔස්සේ සිය වෘත්තීය ගමන ආරම්භ කළාය. Under the Banner of Heaven, Fresh, Where the Crawdads Sing, Twisters වැනි නිර්මාණ තුළින් රසික ආදරය දිනාගන්නට ඈ සමත් වූවාය. 2026 වසර ඇගේ වෘත්තීය ජීවිතයේ තවත් වැදගත් වසරකි. Jane Austenගේ ප්‍රසිද්ධ නවකතාව ඇසුරින් නිර්මාණය වූ Sense and Sensibility චිත්‍රපටයේ ඇය Elinor Dashwood ලෙස රඟපායි. ස්වාභාවික රංගන ශෛලිය, චරිතයක හැඟීම් සියුම්ව ප්‍රකාශ කිරීමේ හැකියාව සහ විලාසිතා නිසා ඩේසි අද රංගන ශිල්පිනියක ලෙස පමණක් නොව විලාසිතා ලෝකයේද අවධානය දිනාගෙන සිටින්නීය. මේ ඇය British Vogue සමගින් සිදුකළ කතාබහකි.

රතු පලස මත පුරුදුකාරියක සේ දිස්වුවත් ඈ පවසන්නේ එය තරමක පීඩනයක් ඇති කරන වැඩක් බවයි.

Daisy Edgar Jones

“මම නිළියක් වෙන්න කලින් ඉස්කෝලේ කාලෙදි ෆොටෝ එකක්වත් ගන්න අකමැතියි. මොකද ඒක මට අපහසුතාවක් ඇති කරන නිසා. ඒත් මම දැන් බොහෝ දුරට හැම දේකටම හුරු වෙලා. උත්සවවලට සහභාගි වෙද්දී, ලස්සන ඇඳුම් දකිද්දී, විශ්මයජනක දේවල් අත්විඳිද්දී, ඒ සියල්ල හොඳින් විඳගන්න මම දැන් ටිකෙන් ටික පුරුදු වෙන ගමන්.”

Sense and Sensibility චිත්‍රපටය Jane Austen විසින් 1811දී ලියන ලද එනමින්ම යුතු නවකතාව ඇසුරින් නිමවා තිබේ. එහි තිර රචනය නවකතාකාරියක වන Diana Reid විසින් සිදුකර ඇති අතර, අධ්‍යක්ෂණය කර ඇත්තේ Georgia Oakley විසිනි. මේ කතාව වඩා නිදහස්, ස්වභාවික හැඟීම්වලින් පිරුණු එකකි. උස තණකොළ අතරින් හමා යන සුළඟ, තෙතැති හිසකෙස්, කපු ඇඳුම් සහ කැලෑවෙන් නෙළාගත් බෙරි පලතුරුවල යුෂවලින් පැල්ලම් වූ ඇඳුම් එහි දක්නට ලැබේ. එය ආශාව, තරුණ හැඟීම් සහ නොසන්සුන් ආදරය සිහිගන්වන නිර්මාණයකි. මෙහිදී ඩේසි රඟපාන්නේ වගකීම් සහගත, වැඩිමහල් සහෝදරිය වන එලිනෝර් ඩෑෂ්වුඩ්ගේ චරිතයයි. ඔවුන්ගේ පියාගේ මරණයෙන් පසු පවුලේ ආර්ථික තත්ත්වය බෙහෙවින් පහත වැටෙන බැවින්, සහෝදරියන් දෙදෙනා තම මව සමඟ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි සරල නිවසකට යාමට සිදුවෙන අතර එහිදී ඔවුන්ට සුදුසු සහකරුවන්ගේ සිට දුෂ්ට පුද්ගලයන් දක්වා විවිධාකාර පිරිමින් හමුවෙයි. මෙම චිත්‍රපටය ඩේසි එඩ්ගා ජෝන්ස්ගේ රංගන ජීවිතයේ වැදගත් අවස්ථාවක් වන්නේ මේ සමගින් Gwyneth Paltrow සහ Keira Knightley වැනි නිළියන්ගෙන් සමන්විත Jane Austen ගේ කෘතිවල ප්‍රධාන කාන්තා චරිත නිරූපණය කළ නිළියන් අතරට එක්වීමට ඇයටද අවස්ථාව ලැබෙන නිසාය. මේ ගැන දැන ගැනීමට ලැබුණ වහාම ඈ ඒ හා එක්වීමට කැමති විය.

Daisy Edgar Jones

“1995 අවුරුද්දෙ ෆිල්ම් එක මම ආදරේම ෆිල්ම්වලින් එකක්. ඒ නිසා ඒ කතාව ආයෙමත් හැදෙනව කියන එක අදහගන්නත් බැරි වුණා. මේක අලුත්. ඒ වගේම වෙනස්ම අනන්‍යතාවයක් තියෙනවා. ජෝජියාට ඕනෙ වුණේ මේ ගෑණු ළමයින්ගෙ ආශාවල්, නිදහස් ස්වභාවයන් එළියට ගන්න. එලිනෝර්, මේරියන්ට වඩා සන්සුන් සහ තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න කෙනෙක්. නමුත් ඇයටත් දේවල් ඉතා ගැඹුරින් දැනෙනවා. වෙනසකට තියෙන්නේ ඒ හැඟීම් පාලනය කරගන්න විදිහ ඇය දන්නවා.”

Esmé Creed-Miles මෙම චිත්‍රපටයට තෝරාගැනීමත් එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමක් විය. ඩේසිගේ පළමු චිත්‍රපටය Pond Life හිදී ඔවුන් දෙදෙනා මුලින්ම හමුවී තිබුණේ ඩේසිට වයස අවුරුදු 19ක් සහ Esméට වයස අවුරුදු 17ක් වූ කාලයේදීය.

“මම ඇයට ගොඩක් ආදරෙයි. අපි එකට දෙබස් කියවනකොට හැම දේම ලේසි වුණා. අපි දෙන්නගෙ ගැලපීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. ඇත්තටම මේක ඇත්තම සහෝදරියන් දෙදෙනෙකුගෙ කතාවක් වගේ දැනෙනවා.”

ඇත්ත වශයෙන්ම, එලිනෝර්ගේ අනෙක් නිල ආදරවන්තයා වන්නේ George MacKay විසින් නිරූපණය කරන Edward Ferrars ය. ඩේසි පවසන පරිදි එය, 2020 වසරේ ඇය රඟපෑ Normal People කතා මාලාවේ Connell සහ Marianne අතර පැවති සම්බන්ධතාවය සිහිපත් කරවයි.

Daisy Edgar Jones

“ඒ දෙන්නා අතර ගොඩක් දේවල් නොකියා ඉතිරි වෙන නිසා ඒකේත් Connell සහ Marianne අතර තිබුණ වගේ හැඟීමක් තිබුණා. ජෝර්ජ් සහ මම වැඩ කරන විදිහ එක සමානයි. අපි හිතන විදිහත් එක සමානයි. අපි දෙන්නම සංවිධානාත්මක, හැම දෙයක්ම සැලකිල්ලෙන් සහ නිවැරදිව කරන දෙන්නෙක්. ඒ වගේම කෙනෙක් breeches කලිසමක් සහ ලිහිල් කමිසයක් ඇඳගෙන මේ තරම් ලස්සනට ඉන්නවා මම මීට කලින් දැකලත් නැහැ,”

ඩේසි පැවසුවේ විහිළුකාරී බැල්මක් හෙළමිනි. ඇය සෑම දෙයක්ම ඉතා නිවැරදිව කිරීමට උත්සාහ කරන ස්වභාවය ඇතැම් අවස්ථාවලදී ගැටලුවක්ද වී තිබේ.

“මම ෂූටිං ඉවර කරලා හැම දවසකම ගෙදර යන්නෙ තව ටිකක් හොඳට කරන්න තිබුණා කියලා හිත, හිත. මම පරිපූර්ණත්වය සොයන කෙනෙක් නිසා, මේ හැඟීම අතාරින්න ලොකු වෙහෙසක් දරන්න වුණා. වතාවක් මම ජෝර්ජියාට කෝල් එකක් දීලා කිව්වා, ‘මට හිතෙන්නේ අපි ආපහු ගිහින් ඒක ආයෙම ෂූටිං කරන්න ඕනෙ’ කියලා. ඇය ඇහුවා, ‘මොන සීන් එකද’ කියලා. ඒ ගැන කිව්වම ඇය කිව්ව ‘ඒක ප්‍රශ්නයක් නැහැ. මම දැන් එඩිට් කරන ගමන්. ඒක හොඳටම තියෙනවා’ කියලා. ඒත් මම ආයෙත් ඒ ගැන ඇහුවා. එතකොට ඇය කිව්වා, ඒක හොඳටම හොඳයි කියලා. සමහරවිට මට ඒ දර්ශනය වෙනස් ආකාර 12,000 කින් කරන්න තිබුණා වෙන්න පුළුවන්. සමහරවිට මම එහෙම කරන්නත් තිබුණා. නමුත් ඇත්තටම චිත්‍රපටය බලනකොට මට ඒ ගැන මුකුත් හිතුණෙ නැහැ. ලොකු සතුටක් දැනුනා විතරයි. මගේ හිතේ තියෙන දෙයක් තමයි මට කරන්න පුළුවන් උපරිමයම කරන්න ඕනෙ කියන දේ.”

චිත්‍රපටය නිකුත් වීමට ආසන්න වන විට ඇයගේ ඇඳුම් තෝරාගැනීම් තුළද අතීතය සහ නූතනත්වය එකට මුසු කරන ආකාරයේ එකකි. සුප්‍රකට Dani Michelle, ඩේසිව සාමාන්‍ය, විනීත තරුණ නිළියකගේ පෙනුමෙන් එහාගොස් විලාසිතා ලෝකයේ කැපී පෙනෙන තරුවක් බවට පත් කිරීමට විශාල දායකත්වයක් ලබා දී තිබේ.

Daisy Edgar Jones
Sense and Sensibility චිත්‍රපටයේ

“දැන් අපි දෙන්නා එකම විදිහට හිතන තත්ත්වයකට ඇවිත්. මම Dani එක්ක වැඩ කරද්දී මට මගේම වඩාත් හොඳ අනුවාදයක් හමුවුණා වගේ දැනෙනවා, බොහෝ ආකාරවලින් Elinor චරිතය මට හොඳට ගැළපුණා. මොකද මට ඇය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම වගේ ලෝකය එක්ක ගනුදෙනු කරන චරිත රඟපාන්න මම කැමතියි. මම ගොඩක් රඟපාලා තියෙන්නෙ තමන් වෙතම නැඹුරු වුණ, කල්පනාකාරී හැඟීම් තියෙන චරිත. ඒ වගේම මම දැන් ලොකු පෞරුෂයක් තිබෙන, උඩඟු, දුෂ්ට චරිතයක් රඟපාන්නත් හරි කැමතියි. වයසින් වැඩෙද්දී, ඕනෑවට වඩා ආරක්ෂිතව තෝරාගැනීම් කරනවාට වඩා වැරදි දිශාවකට වුණත් නිර්භීත පියවරක් ගන්න කැමතියි.”

ඇය සඳහන් කරන එම නව චරිතය වන්නේ A Place in Hell චිත්‍රපටයේ චරිතයයි. Fair Play චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය නත්තල් සමයේදී තිරගත වීමට නියමිතය. ඩේසිගේ ඉදිරි වැඩ කටයුතු අතර තවත් සිත්ගන්නාසුලු නිර්මාණ කිහිපයක් තිබේ. ඒ අතර Mosquito නමින් හැඳින්වෙන, Disney+ රූපවාහිනී කතා මාලාවක්ද වේ.

“මගේ මුල් චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ බොහොමයක් හාස්‍යමය ඒවා. මම සීරියස් කෙනෙක් නෙවෙයි. ඇත්තටම එහෙම කෙනෙක් නෙවෙයි!”

තවත් නිර්මාණයක් වන්නේ Here Comes the Flood ය. එය City of God චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Fernando Meirelles ගේ චිත්‍රපටයකි. එහිදී ඩේසි, Denzel Washington සහ Robert Pattinson සමඟ රංගනයේ යෙදේ.

“මම හැදී වැඩුණේ Twilight චිත්‍රපට මාලාවට උමතුවෙන් ආදරය කළ රසිකාවියක් විදිහටයි. නමුත් Robert Pattinson ට ඒ ගැන කියන්න මට බැරි වුණා,” 

Art

ඇය විහිළුවෙන් පැවසුවාය. ඉන්පසුව ඇයගේ සිහිනය වන්නේ,

“විශාල ලෝකයක් සහ චරිත පද්ධතියක් නිර්මාණය කරන චිත්‍රපට මාලාවක රඟපාන්න මම කැමතියි. ඩිස්ටෝපියානු හෝ ෆැන්ටසි කතාවක් වුණත් හොඳයි.”

ඩේසි හැදී වැඩුණේ ලන්ඩනයේ Muswell Hill නම් නිස්කලංක ප්‍රදේශයකය. ඇය කුඩා කාලයේ සිටම නැරඹූයේ අද ඇය රඟපෑමට කැමති එවැනිම චිත්‍රපටය. පාසල් කාලයේදී තමන් බොහෝ පැතිවලින් සාමාන්‍ය මට්ටමේ ශිෂ්‍යාවක වූ බව ඇය පිළිගනී. නමුත් පාසලේ නාට්‍යයකට සහභාගි වූ අවස්ථාවකදී ඇයගේ සැබෑ රංගන හැකියාව ඉස්මතු විය. විශ්වවිද්‍යාල කිහිපයකින්ම අවස්ථා ලැබුණද ඇය විශ්වවිද්‍යාලයට නොයාමට තීරණය කළාය.

“නමුත් ඊට පස්සේ මට අවුරුද්දක් විතර තිබුණා, ‘මම මොනවද මේ කරගත්තේ?’ කියලා හිතපු. මට බොහෝ ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාලයේ මට මගේ විශ්වාසය සහ ඉවසීම අත්නොහැර ඉන්න වුණා.”

ඒ කාලයේදී ඩේසි තවත් නිහඬ සටනකට මුහුණ දෙමින් සිටියාය. ඒ Endometriosis රෝගී තත්ත්වයයි.

“මේක පටන් ගත්තේ මගේ නව යොවුන් වියේ අවසාන කාලයේදී. මට වයස අවුරුදු 20ක් වෙද්දී, මම විඳින වේදනාවේ ප්‍රමාණය සාමාන්‍ය දෙයක් නොවන බව අම්මා මට කිව්වා මට මතකයි.”

නමුත් ඇය දිගටම රංගන කටයුතුවල නිරත වූවාය.

“සමහර අවස්ථාවල වාසනාවකට වගේ, රංගනයේදී ඇතිවන උද්යෝගය සහ ඇඩ්‍රිනලින් නිසා මට ඒ වේදනාව දරාගෙන වැඩ කරන්න පුළුවන් වුණා.” 

Art
Ben Seed සමගින්

වයස අවුරුදු 24දී සිදුකළ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින් පසුව ඇයට මෙම රෝගී තත්ත්වය ඇති බව හඳුනාගන්නා ලදී.

“මේක දිගුකාලීන රෝගී තත්ත්වයක්. මම මේ ගැන ගොඩක් කියවලා තියෙනවා. දැන් මම ඒක පාලනය කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරනමින් ඉන්නවා. දැන් කලින් තිබුණාට වඩා වේදනාව ගොඩක් අඩුයි. මම සිරුරේ ප්‍රදාහය අඩු කරන ආහාර රටාවක් අනුගමනය කරනවා. ඉස්සර තරම් මත්පැන් බොන්නෙත් නැහැ. මේ තත්ත්වය නැවත ඇති වෙයිද කියන බයත් හැම වෙලාවෙම තියෙනවා. මේ රෝගී තත්ත්වයත් එක්ක ඇති වන ලොකුම ගැටලුවක් තමයි දරුවන් ලැබීමේ අපහසුතාව. ඒක මගේ දරුවන් ලැබීමේ බලාපොරොත්තුවට බාධාවක් වෙනවාට මම කොහෙත්ම කැමති නැහැ. මේක ගොඩක් ගැහැණු අයට තියෙනවා. නමුත් ඔවුන් ඒ ගැන දන්නෙ නැහැ. මාසික ඔසප් වීමේදී යම් වේදනාවක් සහ කැක්කුමක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් වේදනාව නිසා දෙකට නැවිලා ඉන්නවෙන තරමට අමාරුනං ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඔබ ඒ වේදනාව ඉවසගෙන නිහඬව ඉන්න ඕනෙ නැහැ.”

2020 වසරේදී තිරගත වූ Normal People කතා මාලාව ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. වසර හයකට පසුව, එම කාලයේ අත්දැකීම් පිළිබඳ ඇයගෙන් විමසූ විට ඇය මොහොතකට ගැඹුරු හුස්මක් ගත්තාය.

“වාව්! ඒක නම් ඇත්තටම හිතාගන්න බැරි තරම් පුදුම දෙයක්. ඒක ඇත්තටම අසාමාන්‍ය අත්දැකීමක්. එතකොට මට වයස 21යි. හැමෝගෙම අවධානයට ලක්වීම වෙනස්ම අත්දැකීමක් වුණා.” 

Art

පැපරාසීන් තවමත් තමන්ට යම් නොසන්සුන් හැඟීමක් ඇති කරන බව ඇය පිළිගනී. ඇය තවමත් Normal People කතා මාලාවේ නළු නිළියන් සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. ඔවුන් එකට සංගීත ප්‍රසංග නැරඹීමට යන අතර සාමාන්‍යයෙන් අලුත් අවුරුදු උදාවද එකට ගත කරති. ඇයගේ බොහෝ මිතුරන් දැන් ජීවත් වන්නේ නැගෙනහිර ලන්ඩනයේ එකම ප්‍රදේශයකය. ඔවුන් එකිනෙකා හමුවීමට බයිසිකලයකින් ගමන් කළ හැකි තරම් සමීපව ජීවත් වෙති. කෙසේ වෙතත්, පසුගිය වසරේ ඇය එම ප්‍රදේශයට පදිංචියට පැමිණීමට හේතුව එය නොවේ.

“මගේ පෙම්වතාව හමුවෙනකම් මම මේ ප්‍රදේශය ගැන එතරම් දැනගෙන හිටියේ නැහැ. ඔහු ජීවත් වුණේ London Fields ප්‍රදේශයේ. ඊට පස්සේ මම නැගෙනහිර ලන්ඩනයට ආදරය කරන්න පටන් ගත්තා,”

ඇය පැවසුවේ ලැජ්ජාශීලී සිනහවක් මුවේ රඳවාගෙනය. ඇයගේ පෙම්වතා වන්නේ Yorkshire යේ උපන් ඡායාරූප ශිල්පියකු වන Ben Seed ය. වෘත්තීය ලෝකයේ ඔහු Pip යන නමින් ප්‍රසිද්ධය. Prada, Dior සහ Louis Vuitton වැනි සුප්‍රකට සන්නාම සඳහා ඔහු වෙළෙඳ ප්‍රචාරණ ඡායාරූප නිර්මාණය කර තිබේ. ඔවුන් දැන් වසර තුනක් තිස්සේ ප්‍රේමයෙන් බැඳී සිටිති.

“මේ අවුරුද්දට අවුරුදු හතරක් වෙනවා. මෙච්චර කාලයක් එකට ඉන්නකොට, එකිනෙකා ගැන වටහාගන්න අවස්ථාව ලැබෙනවා කියලා මට හිතෙනවා. ඔහු මට ලොකු සහයෝගයක් දෙනවා. මගේ සාර්ථකත්වය ගැන අවංකවම සතුටු වෙනවා. ඒක හරිම අපූරු දෙයක්. ඔහු ළඟ ආරක්ෂිත බවක් සහ සතුටක් දැනෙනවා. අපි සමහර කාලවල එකටම ඉන්නවා. තවත් සමහර කාලවලදී එකිනෙකාගෙන් ගොඩක් ඈත් වෙලා ඉන්නවා. නමුත් කොහොමහරි ඒක සාර්ථක වෙනවා. මම ගොඩක් ඈතක ඉන්නකොට ඒක අමාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම දුෂ්කරයි. නමුත් FaceTime තියෙන එක ගැන දෙවියන්ට ස්තුති කරන්න ඕනේ. අපි කොහොමහරි අපේ බැඳීම තියාගන්න ක්‍රම හොයාගන්නවා. මෑතකදී අපිට හිනායන වැඩක් වුණා. ඔහුට සඟරාවක් වෙනුවෙන් මගේ ඡායාරූප ගන්න ලැබුණා. නමුත් ඔවුන් අපි දෙදෙනා පෙම්වතුන් බව දැනගෙන හිටියේ නැහැ. මම ඔහුගෙන් ඇහුවා, ‘එයාලට කියන්නද?’ කියලා. මම එයත් එක්ක ෆොටෝෂූට් කරන්න ගොඩක් කැමතියි. මම එයාව හොඳට දන්න නිසා මට නිදහසේ ඉන්නත්, නිර්මාණශීලී වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට එයා මගෙන් අහනවා, ‘ඔයා කැමතිද මේ ෆොටෝෂූට් එක කරන්න?’ කියලා. ඊට පස්සේ අපි දෙන්නා චිත්‍රාගාරයට ගිහිල්ලා කලාත්මක දෙයක් නිර්මාණය කරනවා. ඔහු චිත්‍රපටවලට ගොඩක් කැමතියි. ඔහු සමඟ කතා කිරීමත් හරි අපූරුයි. ඔහුට ඒ දේවල් පිළිබඳ විශාල උනන්දුවක් තිබෙනවා. ඒ වගේම ඔහු දේවල් දකින්නේ මට වඩා වෙනස් කෝණයකින්. මම දවසක ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රඟපාන්නත් කැමතියි. ඔහු ඇත්තටම ගොඩක් දක්ෂයි. දැන් හැමෝම විවාහ වෙනවා, මේ අවුරුද්දේ මට වෙඩින් තුනකට යන්න තියෙනවා. ලබන අවුරුද්දේ තවත් දෙකක් තියෙනවා. මම ආදරයට ආදරෙයි. වෙඩින්වලටත් මම ගොඩක් කැමතියි.”

මෑතකදී ඇගේ හොඳම මිතුරියක වන, Cold Feet කතා මාලාවේ ඇය සමඟ රඟපෑ Ella Hunt විවාහ වූ අවස්ථාව ඇයට මහත් හැඟීම්බර අත්දැකීමක් විය.

“මම හිතුවා, ‘අනේ දෙවියනේ! අපි දැන් වැඩිහිටියෝ වෙලා! අපි විවාහ වෙනවා! කියලා. ඒක ඇත්තටම ටිකක් පුදුම සහගතයි
මගේ වෙඩින් එකට නම් හැමෝම ආකර්ෂණීය, සරාගී ඇඳුම්වලින් සැරසිලා ආවට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මරු.”

නික්ම යාමට පෙර ඇය තවත් දෙයක් පැවසුවාය. ඇය දිනපොතක් පවත්වාගෙන යන අතර සෑම වසරක් සඳහාම විශේෂ තේමාවක් තෝරාගනී.2026 වසර වෙනුවෙන් ඇය තෝරාගෙන ඇති තේමාව වන්නේ, “ඔබ කරන සෑම දෙයකින්ම සතුට සොයාගන්න.” යන්නයි. මෙම චිත්‍රපටයත්, ඇය මේ වන විට ගත කරන උද්යෝගයෙන් පිරුණු ජීවිතයත් ඒ අදහසට මනාව ගැළපේ.

– British Vogue ඇසුරිනි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රනිල් ‘ලාෆ්’ කියන හැටි අනුරගෙන් අහගන්න

රනිල් 'ලාෆ්' කියන හැටි අනුරගෙන් අහගන්න හඳුන්නෙත්තිගේ 'බොරු බිල්ලා' සහ ධම්මිකගේ ව්‍යාපාරික මෙහෙයුම එදා විපක්ෂයේ සිටියදී රනිල් වික්‍රමසිංහ පාලනයේ ගෑස් මිල...

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වූ "Bing Chun"...

අධ්‍යපනයට වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය

අධ්‍යපනයට ඉතිහාසයේ වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය 2027 අයවැය විවාදයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිදු කළ...

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60 කොළඹ වරායේ රේගු භාරයේ සිරවී ඇති වියළි මිරිස් බහාලුම් (කන්ටේනර්) තොගය සහ 2027 අයවැය...
- Advertisement -spot_img

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60 කොළඹ වරායේ රේගු භාරයේ සිරවී ඇති වියළි මිරිස් බහාලුම් (කන්ටේනර්) තොගය සහ 2027 අයවැය...

පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම – අංගම්මැඩිල්ල

පාරම්පරික මිනිසුන් ජීවත් වූ පුරාණ ගම - අංගම්මැඩිල්ල පොළොන්නරුව සෑම අතින්ම සංචාරකයන්ට වැදගත් ප්‍රදේශයකි. දෙස් විදෙස් හැමෝටම හිතේ හැටියට සංචාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you