2035 දක්වාම ලෝක කුසලාන අහිමි කරගත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්
අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් සහ අදූරදර්ශී පරිපාලන තීරණ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විශ්වාසය බිඳවැටී 2035 වසර දක්වාම ප්‍රධාන පිරිමි ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ. පටු බල අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවා දීමෙන් රටට අහිමි වූ ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය සහ ලාංකේය ක්‍රිකට් ක්ෂේත්රයට අත්වූ ඉරණම පිළිබඳව කතා බහ කරමු.
ශ්‍රී ලංකාව යනු ලෝක ක්‍රිකට් සිතියමේ සුවිශේෂී සලකුණක් තැබූ, 1996 ලෝක ශූරයන් බිහි කළ අභිමානවත් ක්‍රිකට් දේශයකි. දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ක්‍රීඩාංගණ පද්ධතියක් සහ අතිශය උණුසුම් ප්‍රේක්ෂකාගාරයක් හිමි ශ්‍රී ලංකාවට, අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන තරගාවලි සත්කාරකත්වයන් එකින් එක අහිමි වෙමින් පවතී. 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයෙන් ඇරඹි මෙම අඳුරු පරිච්ඡේදය, 2027 කාන්තා ශූරයින්ගේ කුසලානය අහිමි වීම හරහා ගොස් 2035 වසර දක්වාම ප්‍රධාන පිරිමි ICC තරගාවලි සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීම දක්වා දුරදිග ගොස් තිබේ. මෙය හුදෙක් ක්‍රීඩා පරිපාලනයේ බිඳවැටීමක් පමණක් නොව, සමස්ත ජාතියකටම සිදු වූ බරපතළ ආර්ථික හා කීර්තිනාම හානියකි.
මෙම සමස්ත අර්බුදයේ මූලබීජය වන්නේ ක්‍රීඩාවට එල්ල වූ අනවශ්‍ය දේශපාලන හස්තයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘පිරිසිදු කිරීමේ’ සහ ‘ප්‍රතිසංස්කරණය කිරීමේ’ ලේබලයට මුවා වී, වරින් වර බලයට පත් වූ ක්‍රීඩා අමාත්‍යවරුන් විසින් අතුරු පාලක කමිටු සහ පරිවර්තන කමිටු පත් කිරීමට පියවර ගනු ලැබීය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලික නීති රෙගුලාසිවලට අනුව ඕනෑම සාමාජික රටක ක්‍රිකට් පරිපාලනය රජයේ මැදිහත්වීම්වලින් තොර ස්වාධීන ව්‍යුහයක් විය යුතු බව දැන දැනත්, දේශපාලන අධිකාරිය ක්‍රියා කළේ තම පටු බල අරමුණු මුදුන් පමුණුවා ගැනීමටය. පරිපාලනය තුළ දූෂණ හෝ අක්‍රමිකතා පවතී නම්, ඒවා නීත්‍යානුකූලව විමර්ශනය කර දඬුවම් ලබා දීම වෙනුවට, සමස්ත පරිපාලන ව්‍යුහයම අකර්මණ්‍ය කරමින් ICC රැස්වීම්වල නියෝජනය පවා අහිමි වන තැනට රට තල්ලු කිරීම අතිශය අදූරදර්ශී ක්‍රියාවකි.




