අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව – Chinna Chinna Aasai
පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න ඕනෙ කියලා. ටිකෙන් ටික ලොකු වෙනකොට ඒ හීන වෙනස් වෙන්න, බිඳෙන්න පුළුවන්. එතකොට අපි අපිට උරුම ජීවිතේ ප්රශ්න නොඅසාම භාර ගන්නවා. වෙලාවකට හිතෙනව කවදාහරි පැතුව ජීවිතේ මේකද කියලත්. අපිව පහුකරගෙන කාලය ඉගිල ගිහින් බව තේරෙනකොට දැනෙන්නෙ මහ අසරණකමක්. ඒ දැනෙන හැඟීම්, සිතිවිලි කියාගන්න, බෙදාගන්න කෙනෙක් නැති වුණාම අපි තවත් අසරණයි. ජීවිත කාලෙම අනුන් වෙනුවෙන් ජීවත් වුණත්, තමන්ට කවුරුත් නෑ කියන දේ වැටහෙද්දි දැනෙන්නෙ අතරමං වුණ හැඟීමක්. ඒ තනිකම දැනෙනකොට හිතෙන්නෙ කාත් කවුරුත් නොහඳුනන කොහේ හෝ ඈතකට පලා යන්න. ජීවිතේ හොයාගෙන.

පොඩි ළමයෙක් විදිහට ජීවත්වුණ කාලෙ හැමෝටම තියෙනව පුංචි පුංචි ආසාවල්. ළමා කාලෙ සුන්දරයි කියන්නෙ ඒ ආසාවල් වලට ඉඩ දීලා ජීවිතේ විඳින නිසා. වැඩිහිටියො වෙනකොට අපි අපිට තියෙන පුංචි ආසාවල් මරාගන්නව. හිනාවෙන්න, දුව පැන ඇවිදින්න වගේම ආදරේ කරන්නත් කාල සීමාවක් තියෙන බව අදහමින් මොනවදෝ නිෂ්ඵල දේවල් ගොඩක් පස්සෙ හැල්මේ ලුහුබඳිනව. නමුත් නොදන්නව වුණාට අපි තුළ තාමත් අර පොඩි ළමය ජීවත් වෙනව. හුස්ම ගන්නව. මොහොතකට ඒ පොඩි ළමයට ඉඩ දුන්නොත් දැනේවි ජීවත්වෙන වග.

වයස අවුරුදු පනස් අටක් වුණ, විශ්රාමික පාසල් ගුරුවරයෙක් වුණ මාධවන්ට එක දවසක් තමිල්නාඩුවේ ඉඳලා වරණාසියට ඇවිත් අතරමං වෙලා ඉන්න ලීලා කියන මැදිවියේ ගැහැණියව දකින්න ලැබෙනව. ඇත්තටම ඇයට තමන්ගෙ සංචාරක කණ්ඩායම මග ඇරිල තිබුණා. කරුණාවන්ත මනුස්සයෙක් වුණ මාධවන් ලීලාට උදව් කරන්න හිතනව. ඇයට ඇගේ පිරිස සොයාගන්න. අහම්බෙන් මුණගැහුන නාඳුනන දෙන්නෙක්, වරණාසිය පුරා ඒ විදිහට ඇවිද යන අතරෙ ටිකෙන් ටික එකිනෙකාව අඳුනගන්න විදිහ, ඔවුන්ගෙ ජීවිත ගැන බෙදාගන්න විදිහ, තත්පරෙන් තත්පරේට ඔවුන් අතර ඇතිවෙන බැඳීම බොහොම අපූරු එකක්.

සමහර වෙලාවට ජීවිතේ මෙතෙක් නොකීව, හදවතේ ගැඹුරුම තැනක සඟවගෙන හිටිය සිතිවිලි, වේදනා තමන්ගේ නොවන ආගන්තුකයෙක් ඉස්සරහ දිග හරින්න පුළුවන් වීම පුදුමාකාරයි. ඒ ආගන්තුක බවත් එක්ක දැනෙන්නෙ නිදහසක්. එකිනෙකාව දැනගත්තට පස්සෙ අපි තවදුරටත් ආගන්තුකයො නෙමේ. යාළුවො? ආදරවන්තයො? ගෑනියෙකුයි මිනිහෙකුයි එකට ඉන්නව දකිනකොට ලෝකෙ මිනිස්සු එක එක කතා කියාවි. නමුත්, හදවතට දැනෙන බැඳීමකට නමක් තියෙන්නම ඕනෙද?

සමහර වෙලාවට අවුරුදු ගාණක් ජීවිතේ අත්වින්ද නැති දේවල් විඳින බවත්, ජීවිතේ ගැන මේතාක් නොතේරුන දේවල් තේරුම් ගිය බවත් කියලා දෙන්න එකම එක මොහොතකට පුළුවන්. ජීවත් වෙනව කියන්නෙ ඒ මොහොතට. කවදා හෝ සමුගෙන යන දවසක ඒ මොහොත ළඟා කරදුන් මතක හිත සැනසීමෙන් පුරවාවි.




