යතාර්ථය කියල අපි විකෘතියකට රැවටිලා – Backrooms
මිනිස්සු විදිහට අපි කවුරුත් 100% ක්ම perfect නැහැ. මිනිස්සුන්ට තියෙන පසුතැවීම්, මුහුණ දෙන්න වුණ අසාර්ථකවීම් සමහර වෙලාවට බිඳුණු මනුස්සයෙක්ව නිර්මාණය කරනවා. ඔහු හෝ ඇයගෙ මනසෙ පැළපැදියම් වෙන මේ පීඩාකාරී සිතිවිලිවලින් ගැළවෙන එක හරිම අසීරුයි. ගොඩක් වෙලාවට අපි ඇත්ත කියලා විශ්වාස කරන දේවලුත් සැබෑ යථාර්ථයත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි විසින්ම නිර්මාණය කර ගත්ත ලෝකෙක හිරවෙලා ජීවත් වෙනකොට යථාර්ථය අවබෝධ කරගන්න තියෙන ඉඩකඩ සීමිත වෙලා යනව. යථාර්ථය කියලා අපි විකෘතියකට රැවටිලා ඉන්නව වෙන්නත් පුළුවන්. එතකොට අපි විසින්ම නිර්මාණය කරගත්තු ප්‍රශ්න, ආතතියට කොටුවෙලා හැමදාම එකම තැන කැරකි කැරකි ඉන්න වෙනවා. ඒක හරියට පිටවීමක් හොයාගන්න අසීරු එකම විදිහෙ rooms ගොඩක කැරකි කැරකි එහාට මෙහාට යනව වගේ දැනෙන මහ වෙහෙසකාරී අත්දැකීමක්.

1990 අවුරුද්දෙදි Async Research Institute කියන කම්පැනි එකේ පර්යේෂක නරේන් වෝර්න් Backrooms කියන අද්භූත අවකාශයක අතරමං වෙනව. මේක කහපාට කාමර, දිග කොරිඩෝ , විදුලි එළි සහ විකාර පෙනුමක් තියෙන ගෘහ භාණ්ඩවලින් පිරුණ තැනක්. මෙතනින් ගැලවෙන්න උත්සාහ කරනකොට ඔහුට තේරෙනව මෙතන ඉන්නෙ තමන් විතරක් නොවෙන වග. ඒ අතීතයට අයත් සිදුවීමක්.

ගෘහ භාණ්ඩ වෙළඳසල් හිමිකරුවෙක් වුණ ක්ලාක් ජීවත්වුණේ කැලිෆෝනියාවේ සැන් ජෝසේවල. අසාර්ථක විවාහ ජීවිතයක් නිසා මත්පැන්වලට ඇබ්බැහි වුණ ක්ලාක් මේරි ක්ලයින් කියන මනෝ වෛද්‍යවරියගෙන් උපදෙස් ලබා ගත්තා. එක දවසක් රෑ තමන්ගෙ shop එකේ තනිවුණ ක්ලාක්ට අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. වෙළඳසලේ බිත්තියක් ඇතුලෙන් ලිස්සගෙන ගිය ක්ලාක් ඇවිත් තිබුණෙ Backrooms කියන තැනට. කොහොම හරි ආයෙමත් එන්න වාසනාවන්ත වුණ ක්ලාක් මේ ගැන මේරිට කිව්වත් ඇය ඒ කතාව විශ්වාස කරේ නැහැ. ඉතින් ඔහු සූදානම් වෙනව මේක සැබෑවක්ද නැත්තම් මායාවක්ද කියලා ඔප්පු කරන්න. ඔහු තීරණය කරනව ආයෙමත් එතනට ගිහින් මේකෙ ඇත්ත නැත්ත සොයාගන්න. හැබැයි ඒ තනිවම නෙමේ.

යථාර්ථයෙන් එහා ගිය, මිනිස් ඇසට නොපෙනෙන දේවල් සහ මිනිසාගේ පාලනයෙන් තොර දේවල් මිත්යාවන්ය යන අදහස සපුරාම නිවැරදිය යනුවෙන් පැවසිය නොහැකි නමුත් භූතයන්ට, යක්ෂයින්ට වඩා සමහර වෙලාවට අපි බිය විය යුතුවන්නේ අපේම සිතිවිලිවලට. අප තුළම වන අභ්‍යන්තර අන්ධකාරයට. අපි සතු පසුතැවීම්, කළකිරීම්, වේදනා ඇතැම්විට අපිව තව තවත් අගාධයට ඇදලා දාන්නෙ ඉන් පිටත ලෝකයක් ඇත්තේම නැති තරම් යනුවෙන් විශ්වාසයක් ගොඩනැගෙන තරමට. ඒ සිතිවිලිවලට පුළුවන් අපිව විනාශ කරලම දාන්න. එතකොට දෙවියන්ටවත්, භූතයන්ටවත් කරන්න කිසිදෙයක් ඉතිරිවෙන්නෙ නෑ.




