පරම්පරාවෙන් එන රෝග ලක්ෂණ නොපෙන්වන තැලසීමියා
තැලසීමියා පරම්පරාවෙන් පරම්පරාවට යන රුධිරය හා සම්බන්ධ රෝගී තත්වයකි. මෙහිදී සිදු වන්නේ අපේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වී ඇනීමියා හෙවත් රක්ත හීනතාව කියන තත්වයට පත් වීමය. හිමොග්ලොබින් යනු රතු රුධිරාණුවල ඇති ඉතාම වැදගත් සංඝටකයකි. සිරුර පුරාම ඔක්සිජන් ගමන් කරනුයේ මෙම රතු රුධිරාණුවල ඇති හිමොග්ලොබින්වලට සම්බන්ධ වීමෙනි. හිමොග්ලොබින්වල ඇල්ෆා සහ බීටා යනුවෙන් ග්ලොබින් වර්ග දෙකකි. තැලසීමියාවේදී මේ එක් ග්ලොබින් මාර්ගයක් සෑදීම අඩුවේ.
තැලසීමියා වාහක රෝග ලක්ෂණ නැත
හිමොග්ලොබින් නිපදවීම සඳහා අවශ්‍ය කෙරෙන ජාන කට්ටලය අපට මවුපියන්ගෙන් උරුම වේ. මෙම ජාන කට්ටලයේ එක් ජානයක් විකෘති වීමකින් තැලසීමියා වාහක තත්වයක් ඇති වීමට පුළුවන. තැලසීමියා වාහක තත්වය රෝග ලක්ෂණ නොපෙන්වයි. තැලසීමියා වාහක තත්වයේදී හිමොග්ලොබින් යම් ප්‍රමාණයක අඩු වීමක් පෙන්වයි.

මවුපියන් තැලසීමියා වාහකයන් නම්…?
මෙහිදී මව සහ පියා දෙදෙනාම තැලසීමියා වාහක තත්වයේ සිටී නම් දරුවකුට ලැබෙන ජාන කට්ටලයේ ජාන දෙකම විකෘති වීමක් තිබුණොත් තැලසීමියා රෝග තත්වයට ගොදුරු වේ. තැලසීමියා වාහක තත්වය ඇති දෙදෙනකු විවාහ වූ විට ඉන් සියයට විසි පහක පමණ දරුවන් ප්‍රතිශතයක් මහ තැලසීමියා තත්වයට පත් විය හැකි අතර තවත් සියයට 50ක් පමණ දරුවන් තැලසීමියා වාහක තත්වයට ගොදුරු වේ. තවද සියයට 25ක පමණ දරු ප්‍රතිශතයක් සාමාන්‍ය නිරෝගී දරුවන් වේ. තැලසීමියා රෝගී දරුවකුට ජීවිත කාලය පුරාම තමාට අවශ්‍ය ප්‍රමාණයට හිමොග්ලොබින් නිපදවා ගත නොහැකිය. එවිට ඔවුන් සඳහා රුධිරය පිටතින් පාරවිලනය කළ යුතුය. රුධිර පාරවිලනයකින් කළ හැක්කේ රෝගය මර්දනයක් මිස සුව කිරීමක් නොවේ.
තැලසීමියා දරුවකුගේ මුල් අවධිය
මෙවැනි දරුවකු වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට හේතු වනුයේ දරුවාගේ සුදුමැලි බව, කිරි උරා බීමේ අඩුකම,වර්ධනයේ අඩු බව, ක්රියාශීලීභාවයේ මන්දගාමිත්වය යන කාරණා හේතුවෙනි. මෙකී රෝග ලක්ෂණ මුල් මාස 06 පමණ වනවිට හෝ මුල් අවුරුදු දෙක තුළ පෙන්වයි. එවිට රසායනාගාර පරීක්ෂණ මගින් මවගේ පියාගේ තැලසීමියා තත්ව පරීක්ෂාවෙන් රෝගය අනාවරණය කර ගත හැකිය. එතැන් සිට මෙම දරුවන්ට අවශ්‍ය ප්‍රමාණයට රුධිර පාරවිලනය සෑම සති දෙකේ සිට සති හතර දක්වා කාලය තුළ ලබා දිය යුතුය. ලේ අඩුකම නොහොත් රක්ත හීනතාවට අමතරව තවත් සංකූලතා මොවුන් ජීවිත කාලය තුළ පෙන්වයි.

රුධිර පාරවිලනයක් අවශ්‍ය ඇයි?
සිරුරට අවශ්‍ය ප්‍රමාණයට හිමොග්ලොබින් නිපදවීම නොවන විට රතු රුධිරාණු නිසි ප්‍රමාණයට ඇට මිදුළු තුළ නිපද නොවේ. එසේ වුවද අපේ ශරීරයේ ඇති අනෙක් අවයව වන අක්මාව සහ ප්ලීහාව තුළද රතු රුධිරාණු සෑදීමට පුළුවන. එහෙත් මොවුන්ගේ අක්මාව සහ ප්ලීහාව විශාල වී අපහසුතා ඇති කළ හැකි බැවින් නිසි ප්‍රමාණයකට සකසා ගත්තා වූ රුධිර පාරවිලන සැලැස්මක් මගින් අක්මාවේ සහ ප්ලීහාවේ විශාල වීම වැනි ගැටලුකාරී තත්ව මර්දනය කර ගැනීමට පිළිවන.
රෝගීන්ට ඇතිවන වෙනත් සංකූලතා
මීට අමතරව රුධිරය ලබා දීමේදී බොහෝ යකඩ ප්‍රමාණයක් සිරුරට එකතු වෙයි. අපේ සිරුරේ විශාල වශයෙන් යකඩ බැහැර කිරීමේ පද්ධතියක් නැත. එබැවින් මොවුන්ගේ සිරුරට එකතු වන වැඩිපුර යකඩ ප්‍රමාණය විවිධ අවයවවල තැන්පත් වීමට පටන් ගැනේ. අපේ සිරුරේ පැවැත්මට අවශ්‍ය වන විවිධ හෝමෝන නිපදවන පිටියුටරි ග්‍රන්ථිය, තයිරොයිඩ් ග්‍රන්ථිය, අග්න්‍යාශය මෙන්ම හෘදය වස්තුව, අක්මාව ආදි අවයවවලත් මෙම යකඩ තැන්පත් වේ. කලක් යෑමේදී මෙම ග්‍රන්ථි ක්‍රියා නොකිරීම නිසා සංකූලතා ඇති වේ. එමගින් මෙකී රෝගීන්ගේ වර්ධනය අඩු වීම, ද්විතීක ලිංගික ලක්ෂණ වර්ධනය නොවීම, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරී බව අඩු වීම සේම හෘදය අකර්මණ්‍ය වීම, අක්මාව සිරොසිස් තත්වයට පත් වීම ආසාදිත රෝග පහසුවෙන් ඇති වීම ආදි සංකූලතා ඇති වී මොවුන්ගේ ආයු කාලය පවා කෙටි වීමට පටන් ගැනේ.

ඔබත් තැලසීමියා වාහකයෙක්ද?
තැලසීමියා දරුවන් බිහිවීම වැළැක්විය හැක්කේ වාහක යුවළක් අතර වන විවාහය නැවැත්වීමෙනි. ඒ සඳහා තමන් තැලසීමියා වාහකද යන වග කල්තියා දැන ගත යුතුය. ඒ සඳහා රජයේ රෝහල්වල පහසුකම් ඇත. මවුපියන් දෙදෙනකුගෙන් එක් අයකු පමණක් වාහක නම් උපදින දරුවා තැලසීමියා රෝගියකු නොවේ. විවිධ රෝග හඳුනා ගැනීම සඳහා අපි සාමාන්‍යයෙන් පරීක්ෂාවට බඳුන් කෙරෙන සම්පූර්ණ රුධිර පරීක්ෂාව හරහා තැලසීමියා වාහකද යන්න දැන ගත හැකිය. තැලසීමියා වාහක තත්වයේදී පෙන්වන වෙනස්කම යකඩ ඌනතාවෙදිත් පෙන්විය හැකිය. එවිට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු යටතේ යකඩ ඌනතාව සඳහා අවම වශයෙන් මාස 03ක්වත් ප්‍රතිකාර කොට එය එසේ නොවන විටෙකදී තැලසීමියා තහවුරු කෙරෙන විශේෂ පරීක්ෂණය සඳහා යොමු කෙරේ. මෙම පරීක්ෂණය රජයේ විශේෂ රෝහල්වලදී පමණක් සිදු කෙරෙන අතර ඔබ වාහකයකු නම් රෝස පැහැති කාඩ්පතක්ද, තැලසීමියා වාහකයකු නොවේ නම් කොළ පාටැති කාඩ්පතක් සහ එෆ්.බී.සී. පරීක්ෂණය පමණක් සිදු කොට වාහකයකු නොවේ යැයි තහවුරු කර ගත් අයකුට කහපාට දාරයක් සහිත කොළ පාට කාඩ් පතක්ද නිකුත් කෙරේ. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් පාසල් ළමයින් සඳහා 10 වැනි ශ්‍රේණියේ සිට ඉහළට මේ පරීක්ෂණය කිරීම පිළිබඳව නියාමනය කරයි.

රෝග පීඩාව
රෝගීන්ට ජීවිත කාලය තුළ නැවත නැවතත් පරීක්ෂණ සඳහා ලේ ගැනීම්, රුධිර පාරවිලනය කිරීම, තැන්පත් වන යකඩ ඉවත් කිරීම සඳහා හමට යටින් භාවිත කරන එන්නත් යන අවස්ථාවලට මුහුණ දීමට සිදු වේ. රෝගය සුව කරන ප්‍රතිකර්මයක් නොලද හොත් ඔවුන් මේ ආකාරයට ජීවිත කාලය පුරාම මේ පීඩාකාරී තත්වවලට මුහුණ දීමට සිදු වේ. තැලසීමියා රෝගය සුව කළ හැක්කේ ඇට මිදුළු බද්ධයකිනි. දැනට බටහිර රටවල නව ඖෂධ සේම ජානමය ප්‍රතිකර්ම භාවිත කළත්, මෙකී ක්‍රම දෙකම ඉතාම මිල අධිකය. දැනට අපේ රටේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ සමහර ප්‍රධාන පෞද්ගලික රෝහල්වල ඇට මිදුළු බද්ධය සාර්ථකව සිදු කෙරේ. එය තරමක සංකීර්ණ ප්‍රතිකාර ක්රමයකි.
සෑම රෝගයක්ම ඇට මිදුළු පරීක්ෂාව කිරීමට සුදුසුකම් නොලබයි. එයට හේතුව වන්නේ ඔවුන්ගේ වයස සීමාවක් තිබීම, යකඩ නිසි පරිදි පාලනය වී තිබීම සහ ඇට මිදුළු බද්ධයට ගැළපෙන කෙනකු සොයා ගැනීම යන කාරණාය. ඒ නිසාම මේ රෝගී තත්වයට ගොදුරු වීමෙන් වැළකී හිඳීම කළ හැකිය. දැනට වසරකට තැලසීමියා රෝගී දරුවන් 60 දෙනකු පමණ ඉපදෙන අතර ප්‍රතිකාර ගන්නා මුළු රෝගීන් ගණන 2000ක් පමණ වේ. එබැවින් තැලසීමියා වාහක තත්වයේ සිටින දෙදෙනකු විවාහ වී සිටී නම් ඔවුන්ට නිරෝගී දරුවකු ලබා ගැනීම සඳහා නල දරු උපත් වැනි ක්‍රමද භාවිත කළ හැකිය.
කතාබහ
ධාරා අබේනායක




