සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව – Balan: The Boy
සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට ඒ කතාවෙ ඇත්ත නැත්ත නිවැරදිව තහවුරු කරගෙන තමයි ඔහු හෝ ඇය අපරාධකරුවෙක් වෙන්නේ සහ සිරදඬුවම් ලබන්නේ. කතා අවශ්‍ය සිරගෙය ඇතුළට යන්න විතරක් නෙමෙයි. ඉන් පිටත සමාජෙ ජීවත්වෙන්න රැකියාවක්, මුදල්, නිවසක් යනාදී දහසක් දේවල් සමග කතාවකුත් ඕනෙ වෙනවා. ඔබ ආවෙ කොහෙන්ද, කොහොමද? යනාදී වශයෙන් කතාවක් නැත්තං අනන්‍යතාවයක් නැති නිකමෙක් එහෙම නැත්තං සැකකාරයෙක් බවට පත්වෙන්නත් පුළුවන්. ඉතින් පිටත සමාජයෙ ඔළුව බේරගෙන ජීවත්වෙන්නනං කතාවක් ඕනෙමයි. කතාවක් නැතිනං අපිට සිද්ධ වෙනව කතාවක් නිර්මාණය කරගන්න. සමහරවිට එකක් නෙමෙයි කතා කිහිපයක්ම. සිරගෙය තිඹිරිගෙය කරගෙන මේ ලෝකෙට ආව පුංචි කොල්ලෙක්ගෙ කතාව කොහොම එකක් වේවිද?

මේ කතාව ඇරඹෙන්නෙ සිරගතව සිටිය මවක් සහ පුතෙක් එයින් නිදහස් වීම එක්ක. සිරගෙය ඇතුලෙම ඉපදුණ පුතාටත්, මිනීමැරුම් චෝදනාවකට වැරදිකාරිය වුණ මවටත් යන්න එන්න තැනක් තිබුණෙ නැහැ. කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්නනං ඉස්සෙල්ලම අනන්‍යතාවක් ඕනෙ වෙනව, ඊට පස්සෙ කතාවක් ඕනෙ වෙනව. නිකංම නිකං කතාවක් නෙමේ අහන කෙනාගෙ ඇස්වලට කඳුළු එන විදිහෙ කතාවක්. එක තැනක වැඩි කාලයක් රැඳෙන්න බැරි වුණ මේ අම්මයි පුංචි පුතයි එක එක නම් පවසමින්, එක එක කතා කියමින් තැනින් තැනට ගිහිල්ලා ජීවත්වුණා. මොකක්දෝ බයකින් ජීවත්වුණ අම්මට ඕනෙ වුණේ හැම අම්මෙක්ටම වගේ තමන්ට සිදුවුණු වැරදි, අතපසුවීම් තමන්ගෙ දරුවට වෙන්න දෙන්නෙ නැති විදිහට වැඩ කරන්න. නමුත් ඒක හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නෙමේ. තැනින් තැන යන ගමනෙදි මේ දෙන්නා තනිව ජීවත්වෙන මහලු කාන්තාවකගෙ ගෙදරට එන්නෙ ඇයට සේවය කරන්න හිතාගෙන. සාමාන්‍ය අත්තම්මා කෙනෙක්ට වඩා ගොඩක් වෙනස් වුණ මේ මහළු කාන්තාව එක්ක ඔවුන් ජීවත්වෙන්න ගන්නවා. නමුත් ටික දිනකට අම්මගෙයි, පුතාගෙයි ජීවිතවල පැවති සාමය නැතිවෙලා යන්නෙ එක්තරා බිහිසුණු සිදුවීමක් නිසා.

අම්මෙක් කියන්නෙ මහ පුදුමාකාර කෙනෙක්ට. මොන තත්වයක, තරාතිරමක හිටියත් හැම අම්ම කෙනෙක්ම උත්සාහ කරන්නෙ තමන්ගෙ දරුවන්ට හොඳක් කරන්න. ඔවුන්ගෙ ජීවිත වඩාත් සුරක්ෂිතව, යහපත් ඒවා බවට පත් කරන්න. ඔවුන් සමහර දේවල් වසං කරන්නෙත් දරුවන්ගේම යහපතට වෙන්න ඇති. නමුත් කණගාටුවට කරුණ වෙන්නෙ දරුවෙක් මෙලොව එළිය දැක්ක දවසෙ ඉඳලා තමන්ගෙ අම්මගෙ රටාවට, හුරුපුරුදු වලට හැඩගැහෙන එක. සමාජයට මොනතරම් වැරදිකාරයෙක්, අපරාධකාරයෙක් වුණත් දරුවෙක්ට අම්මෙක් සහ අම්මෙකුට දරුවෙක් පේන්නෙ හැමදාමත් නිවැරදි විදිහට. අහිංසක විදිහට. ඒ ආදරේ හැටි. සමාජෙට ගිහින් කියන්න දාහක් කතා තිබුණත්, ලෝකය දාහක් කතා හැදුවත් අම්මා මේ හැමදෙයක්ම කරේ තමන් වෙනුවෙන් වග දරුවො කවදමහරි දවසක තේරුම් ගනීවි.




