විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා – Janhvi Kapoor
ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ ඉන්දීය සිනමාවේ ජනප්‍රියම තාරකාවක් වන ශ්‍රීදේවි සහ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් ඇගේ මව සහ පියා වීම නිසාය. කුඩා කල සිටම ජාන්වී කපූර්ට ජනප්‍රියත්වය අමුතු දෙයක් වුණේ නැත. මුම්බායිහි Ecole Mondiale World School හි අධ්‍යාපනය ලැබූ ඇය, පසුව ඇමරිකාවේ කැලිෆෝනියාවේ Lee Strasberg Theatre and Film Institute හි රංගන පුහුණුව ලබාගෙන සිය වෘත්තීය ජීවිතය සඳහා සූදානම් වූවාය. ඇගේ මව ශ්‍රීදේවි මුලදී ඇය රංගනයට පැමිණීම පිළිබඳ සතුටු නොවූවත් ජාන්වීගේ සිහිනය වූයේ සිනමාව තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගැනීමයි. 2018 වසරේ තිරගත වූ Dhadak චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි ඈ Gunjan Saxena: The Kargil Girl, Roohi, Good Luck Jerry, Mili, Bawaal, Mr. & Mrs. Mahi සහ Devara: Part 1 වැනි චිත්‍රපට තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අතර Gunjan Saxena සහ Mili චිත්‍රපට සඳහා හොඳම නිළිය සඳහාවන Filmfare නාමයෝජනාද හිමිකර ගත්තාය. මේවන විට ජාන්වී කපූර් රංගනයට අමතරව විලාසිතා, සමාජ මාධ්‍ය සහ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රවලද බලපෑම් සහගත චරිතයක් බවට පත්වී අවසන්ය.

ජාන්වී පවසන්නේ ලෝකය ඇය ගැන දන්නේ ඇය ලෝකයට පෙන්වන දෙය පමණක් බවයි. ඇය ගැන හැබෑවටම දන්නේ තමාම පමණක් බව ඇය පවසනවා.
“මම දැන් චිත්‍රපටි තෝරගන්නෙ මගේ රුචි අරුචිකම් ගැන සලකලා බලමින්. ධඩක් චිත්‍රපටියෙ රඟපානකොට ෆිල්ම් එකක රඟපාන්න ලැබීමේ සතුට වින්දා. ඊට පස්සේ ගුන්ජන් චිත්‍රපටය. මට පුදුමාකාර පිටපතක් සහ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකුගේ ආශීර්වාද ලැබුණා.”
මිලී (2022), ගුඩ් ලක් ජෙරී (2022) සහ උලාජ් (2024) වැනි චිත්‍රපටවල කාන්තා ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම අභියෝගයක් වූ බව ඇය පවසනවා.

“ඔයාට එක එක දේවල් තෝරගන්න වෙනවා. හොඳම ක්‍රමය ඒක නිසා. මට නටන්න පුළුවන්, වීරවරිය වෙන්න පුළුවන් කියලා ඔවුන්ට පෙන්වන්න මට ඕනෙ වුණා. ඒ නිසා මම හැමදෙයක්ම කෙරුවෙ ඒ වෙනුවෙන්. ඒත් දැන් මම මගේ තේරීම් ගැන ගොඩක් හිතනවා. Homebound (2025) වගේ කතා. දැන් මම මගේ වෘත්තිය ජීවිතේ එක්තරා අවධියකට ඇවිත් කියලා හිතෙනව. මම Homebound රඟපෑවේ නිෂ්පාදකතුමා එක්ක වැඩ කිරීමේ ඕනෙකම නිසා. නිළියක් විදිහට මට ඒ අත්දැකීම ගන්න ඕනෙ වුණා. ඒ වගේම ඒ චිත්‍රපටිය මිනිස්සුන්ට කිව්ව කතාවට මම කැමති වුණා. මට ලොකු චරිතයක් කරන්න තිබුණෙ නෑ. ඒක අවධානමක් බව මුල ඉඳලම දැනගෙන හිටියත් මම ඒකට කැමති වුණා. මට ආන්ද්‍රා, තෙලන්ගානා, තමිල්නාඩු සංස්කෘති එක්ක ලොකු බැඳීමක් දැනෙනවා. ඒවා මට හුරුපුරුදු මගෙ අනන්‍යතාවයෙම කොටසක් වගේ. මගේ උරුමය සහ මම දැන් භුක්ති විඳින දේවල් ප්‍රේක්ෂකයින් මගේ අම්මට දුන්න ආදරේ ප්‍රතිඵලයක්. මටත් ඒ ආදරේ ලැබෙනවා. ඔයා විනාඩි පහක් මාත් එක්ක කතා කරොත් මම මගේ හදවත එළියට දානවා. මම ඕනෑම කෙනෙකුගෙන් සහ හැම කෙනෙකුගෙන්ම උපදෙස් ගන්නවා. ඊට පස්සෙ මට හොඳයි කියල හිතෙන දෙයක් මම කරනවා.”
අන්තර්ජාලය ඇයට වැදගත් නැත. එය සංවාද සහ විවේචනවලින් පිරී තිබේ.

“සමාජ මාධ්‍ය සංස්කෘතිය ගැන මට තේරෙන විදියට, හැමෝටම ඕනෙ වෛරල් වෙන්න. ඒ නිසා ඔවුන් ඔයා ගැන දේවල් නිර්මාණය කරනව කියන්නෙ ඔයා බිල්ලක් විතරයි. ඔවුන් ඔයා ගැන කියන දේවල් ගොඩක් වෙලාවට පදනමක් නැති ගොතන ලද කතා. ඒවා ගැන ලොකුවට හිතන්න නරකයි.”
විලාසිතා ලෝකය තුළද ඈ නිරතුරු කතාබහට ලක් වන්නීය. පසුගිය වසර කිහිපය තුළ කෑන්ස් වැනි සුප්‍රකට විලාසිතා උත්සව වලදී ඈ නිරතුරු අවධානයට යොමු වුණාය.
“ඉස්සර අම්මා එක්ක උත්සවවලට යනකොට ඒක අපේ ජීවිතවල ආසම දෙයක්. විලාසිතා, ෆොටෝවලට ඉන්න එක.”
ජාන්වී පවසන්නේ ඇය තම කැමැත්ත පරිදි විලාසිතා කරන බවත් රාමුවකට කොටු වී නැති බවත් ය.




