ආදරය සෙක්ස් සහ කෑම අපිව සතුටු කරනවා – Meryl Streep
ඇය ජනප්‍රියත්වයත්, දක්ෂකමත් යන දෙකම උරුම කරගත් රංගන ශිල්පිනියකි. මෙරිල් ස්ට්‍රීප් සිය වේදිකා රංගන දිවිය ආරම්භ කළේ 1970 දශකයේ මැද භාගයේදීය. 1977 දී Julia චිත්‍රපටය හරහා ඇය සිනමාවට පිවිසියාය. The French Lieutenant’s Woman, Out of Africa, The Bridges of Madison County, The Devil Wears Prada, Mamma Mia, Julie & Julia, Into the Woods, Florence Foster Jenkins සහ Little Women ඇය රඟපෑ චිත්‍රපටවලින් කිහිපයකි. තුන්වතාවක් ඇකඩමි සම්මානයෙන් පිදූ ලැබූ ඇය වැඩිම වතාවක් (විසි එක් වතාවක්) Oscar නාමයෝජනා ලැබූ රංගන ශිල්පිනිය ලෙස ඉතිහාසගත වී තිබේ. මේ The Talks ඇය සමගින් සිදුකළ කතාබහකි.
• මිසිස් ස්ට්‍රීප්, ඔයා ගෙදර ඉන්නකොට උයන්න කැමතියිද?
සමහර රාත්රින්වල මම උයන්න කැමතියි. සමහර දවස්වලට උයන්න කැමති නැහැ. මම කෑම කන්න පටන් අරන් “අනේ දෙවියනේ!” කියලා ඒක සින්ක් එකට විසි කරලා, “අපි පීසා ගන්නවා, එච්චරයි” කියලා කියනවා. ඊට පස්සේ මම මගේ කාමරේට ගිහින් නිදා ගන්නවා. මගේ ළමයි පොඩිම කාලේ මට උයන්න කෙනෙක් හිටියා. දැන් මට උයන්න කෙනෙක් නැහැ, අවුරුදු ගාණකින්ම. මම දැන් තනියම උයනවා. කොහොමවුණත් ළමයි පොඩිකාලේ දවස ඉවරවෙලා හැමෝගෙම ගෙදර වැඩවලට අවධානය යොමු කරලා ඩිනර් එක හදන එක අමාරු වැඩක් වුණා.

• ඉතින් දැන් ඔබගේ විශේෂත්වය මොකක්ද?
මෑතක ඉඳලා මම ගොඩක් පැස්ටා හදනවා. ඒක ලේසියි. ඔබට විවිධ රසයන් අත්හදා බලන්න පුළුවන්. මම ළමයි කැමති දේවල් උයනවා. ඊට පස්සෙ එයාලට ඒක ආයෙ ආයෙම ඕනෙ. මගේ දුව දැන් වට්ටක්කා, නැවුම් parsley, tarragon සහ ricotta Salata එක්ක පැස්ටා කන්න කැමතියි. ඉතින් මම වට්ටක්කා තම්බලා, පස්සෙ වට්ටක්කා වතුරට පේස්ට් එක දාලා, රස එනකම් උයනවා. අනිත් හැමදේම නැවුම්ව දාන දේවල්.
• රඟපෑම සහ මාතෘත්වය සමබර කර ගත්තෙ කොහොමද?
හොඳයි, පළමු දේ තමයි විශිෂ්ඨ ස්වාමිපුරුෂයෙක් සිටීම. අවුරුදු ගණනාවකට කලින් මම ඒක හොයාගත්තා. ඒ වගේම මම වාසනාවන්තයි. ඊළඟට ඔයාට ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. හොඳ සංවිධානාත්මක කුසලතා තියෙන්න ඕනේ. මට ව්‍යාපාරයක් නැති වුණත් මම ව්‍යාපාරයක් කරනවා වගෙයි දැනෙන්නෙ. ඒ තමයි හැමදේම සැලසුම් කිරීම. නිරතුරුවම සැලසුම් කිරීම.

• ඔබගේ දරුවනුත් රංගනයට ආව එක ගැන හැඟෙන්නේ කොහොමද?
මගේ දුවලට මේක කරන්න ඕන වීම ගැන මම ආඩම්බර වෙනවා. නමුත් මම බයයි. මොකද නිළියක් විදිහට විවේචන එනකොට එයාලා ඔයාගේ රඟපෑම විවේචනය කරන්නේ නැහැ, ඔවුන් විවේචනය කරන්නෙ ඔබව.! ඒකෙන් ඔයාට හානියක් නොවී තියෙන්නෙ නැහැ. ඒක තමයි මගේ බය. නමුත් මම කවදාවත් ඒක කරන්න එපා කියන්නේ නැහැ. මොකද මම හිතන්නේ රඟපෑම කීර්තිමත් වෘත්තියක් කියලා. මට ඒකෙන් ලැබුණ හැමදේටම මම ගොඩක් කෘතඥ වෙනවා.
• මට හිතෙන්නෙ ඔබ සැමවිටම සතුටින් ඉන්නව කියලා. ඇත්තටම ඒක එහෙමද? ඒ ඔබේ ස්වභාවයද?
මම හැම වෙලාවෙම සතුටින් නැහැ. මම මාධ්‍ය ඉදිරියේ නම් සතුටින් ඉන්නවා. මට හොඳටම කේන්තියෙන් ඉන්නත් පුළුවන්. මගේ හස්බන්ඩ්ගෙන් අහලා බලන්නකෝ. (සිනාසෙයි)
• ඔබව සතුටු කරන්නේ මොනවද?
ඇත්තටම අපිව සතුටු කරන හැම දෙයක්ම සරලයි. ආදරය, සෙක්ස් සහ කෑම.! අනිත් හැමදෙයක්ම බලය, බලපෑම, ශක්තිය. ඒ ඔක්කොම ජීවිතයේ වැදගත් දේවල් අභිබවා යන්න පුළුවන්. නමුත් ඔබට කෑම සහ හිසට සෙවනක් තියේනම්, අවශ්‍යතා ටික ඉටුවෙනවනං ඒ තමයි අපිව ගොඩක්ම සතුටු කරන දේවල්. ඒව හරි සරලයි.

• ඒ දැක්ම ගොඩක් වෙලාවට මිනිස්සු හැදී වැඩුණු ආකාරයත් එක්ක සම්බන්ධයි. ඔබ ඔබේ අම්මා වගේද?
මගේ අම්මා කාමරයකට ගිහින් ඒක ආලෝකවත් කරපු කෙනෙක්. එයා ලේසියෙන් යාළුවෝ ඇති කරගත්තා. එයාගේ උද්යෝගය හැමෝටම බෙදුවා. මට හැම වෙලාවෙම අම්මා වගේ වෙන්න ඕන වුණා. මම එයාට ගොඩක් ආදරේ කළා. අගය කළා. එයා ජීවිතේ හොඳම දේවල් දැක්ක, වැරදි සහ සෘණාත්මක දේවලින් හැකි තරම් ඈත්වෙලා හිටිය කෙනෙක්.
• ඔබ කාටහරි ඊර්ෂ්‍යා කරලා තියෙනවද?
ඔහ්, ඔව්. මම කියන්නේ, ඔව්! ජෙසිකා ලැන්ජ්ට ස්වීට් ඩ්‍රීම්ස් ලැබුණාම මට එයා ගැන ඊර්ෂ්‍යා හිතුණා. ඒක හරිම අපූරු චිත්‍රපටයක්. ඇය ඒකෙ හරිම අපූරුයි. මට ඒක ලැබුණානම් කියලා හිතුණා. නමුත් මට ලැබුණ දේවල් හරිම හොඳයි කියලා මට කියන්න වෙනවා, ඒ නිසා මට කිසි පැමිණිල්ලක් නැහැ.
• සොෆියා ලොරන් වතාවක් කිව්වා ඔබ The Bridges of Madison County චිත්‍රපටයෙ රඟපාන්නෙ ඇයව අනුකරණය කරමින් නිසා ඇය ඔබට වෛර කරනව කියලා.
හොඳයි, මම හිතන්නේ නැහැ සොෆියා මට වෛර කරනවා කියලා. මොකද මම ඇයව මගේ ජීවිතේ පළවෙනි වතාවට මුණගැහුනේ පසුගිය ඇකඩමි සම්මාන උළෙලේදී. ඇය මට අපූරු වැළඳගැනීමක් දුන්නා. ඇය මාව ගොඩක් සතුටු කළා. මම ඇගේ රසිකයෙක්. මගේ සැමියත් එහෙමයි.

• serious drama සඳහා “යන්න කැමති” නිළියක් විදිහට හැදිල තියෙන ප්‍රතිරූපයට ඔබ කැමතිද?
මම හැම වෙලාවෙම හැම විදිහකම දේවල් කරලා තියෙනවා. මුලින්ම පෙනී සිටින චිත්‍රපටය මොකක්ද, මිනිස්සු ඔබව මුලින්ම තේරුම් ගන්නේ කොහොමද වගේ දේවල් වැදගත්. මම රඟපෑ මුල්ම දේවල් කිහිපය නාට්‍ය, ඉස්කෝලෙදි වුණත් මම කිසිම වෙලාවක, සීරියස්, යථාර්ථවාදී නාට්‍යවල හිටියෙ නැහැ. එකක විතරයි හිටියෙ. මම ‘ද ෆාදර්’ එකේ හිටියා. පොඩි දුවගේ චරිතය රඟපෑවා. ඒ කාලෙ අනෙක් ඔක්කොම වගේ comedy dramas.
• ඔබ හොලිවුඩයේ විශිෂ්ටයින් සමඟ වැඩ කරලා තියෙනවා. ඔබේ ප්‍රියතම අධ්යක්ෂවරයා කවුද?
මට කැමතිම අධ්යක්ෂවරයෙක් නැහැ. හරියට මට කැමතිම පාටක් නැහැ, නැත්නම් කැමතිම කෑමක් නැහැ වගේ. මම හැමදේටම කැමතියි. මම වැඩ කිරීමෙන් සතුටක් නොලබපු අධ්යක්ෂවරු ඉඳලා තියෙනවා, නමුත් බොහෝ දුරට මට තේරෙනවා මම මගේ වෘත්තීය ජීවිතය තුළ ඇදහිය නොහැකි තරම් නරක් වෙලා තියෙන්නේ මම කවදා හරි ශ්‍රේෂ්ඨතම අධ්යක්ෂවරුන් කිහිප දෙනෙකු එක්ක වැඩ කරලා තියෙන නිසා කියලා.

• කවදාවත් වැඩ කරන්න අවස්ථාවක් නොලැබුණු වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නවද?
ඔව්. Martin Scorsese ඉඳහිට හරි කාන්තා චරිතයක් ගැන උනන්දු වෙනවනම් මම කැමතියි. නමුත් මම ඒ තරම් කාලයක් ජීවත් වෙයිද කියලා මම දන්නේ නැහැ. මම නැවත වැඩ කරන්න කැමති අපූරු අධ්යක්ෂවරු ගොඩක් ඉන්නවා. මම ස්පයික් ජොන්ස්ට ආදරෙයි. වෙස් ඇන්ඩර්සන් එක්ක වැඩ කරන්න ආසයි.
• ඔබ, මෙරිල් ස්ට්‍රීප්… කවදා හරි චරිතවලට බය වෙලා තියෙනවද?
ඔබට ඔබේ කාර්යය කරන්න බැරිනම් බය දැනේවි. මාධ්‍ය හමුවකදී ඔබට බය වෙන්න පුළුවන්. නොසන්සුන්කමක් දැනෙන්න පුළුවන්. නමුත් ඔබ රඟපෑම කරනකොට බය වෙන්න බැහැ. එතකොට ඒක අසාර්ථක වෙනවා.
• ඉතින් ඔබ කිසිම වෙලාවකවත් නොසන්සුන් වෙන්නේ නැද්ද?
මට මොකක් හරි ගැන හිතන්න වැඩි කාලයක් ලැබෙනකොට මම කලබළ වෙනවා. ඒ නිසා මම හිතාමතාම රැකියාව අතර වැඩි කාලයක් ගත කරන්නේ නැහැ. මම ලොකු විවේකයක් ගන්නවා, ඊට පස්සේ ආයෙමත් වැඩ කරන්න පටන් ගන්නවා.



