Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා
පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වූ “Bing Chun” (බින් චුන්) අයිස්ක්‍රීම් සහ පාන වර්ග පිළිබඳව මේ වන විට රටම කතා කරන ආන්දෝලනාත්මක සත්‍යයක් හෙළිදරව් වී තිබේ. ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සන්නාමයක් ලෙස පාරිභෝගිකයන් මුළා කරමින්, ඉහළ මිල ගණන්වලට අලෙවි කළ මෙම නිෂ්පාදන, මෙරට ආහාර ප්රමිතීන් පවා උල්ලංඝනය කර ඇති බව අධිකරණය හමුවේ තහවුරු වී ඇත.

අධිකරණය හමුවේ හෙළි වූ සත්‍යය කුමක්ද?
කොළඹ මහ නගර සභාවේ (CMC) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් කොම්පඤ්ඤවීදියේ පිහිටි බින් චුන් අලෙවිසැලක සිදුකළ හදිසි වැටලීමකදී ලබාගත් අයිස්ක්‍රීම් සාම්පල නාගරික රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණි. එම පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වූයේ එම අයිස්ක්‍රීම් මෙරට නීතියෙන් නියම කර ඇති ආහාර ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි. ඒ අනුව, අදාළ සමාගමට එරෙහිව චෝදනා 28ක් යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර, එම සියලු චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් සමාගමට රුපියල් 84,000ක දඩයක් නියම කරන ලදී.
සමාගමේ නිදහසට කරුණු සහ සැබෑ අවදානම
සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්වීමත් සමඟ බින් චුන් ශ්‍රී ලංකා ආයතනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් පවසන්නේ මෙම ගැටලුව ඇති වූයේ වැනිලා සහ චොකලට් අයිස්ක්‍රීම් වර්ග දෙකක අඩංගු විය යුතු මේද ප්‍රමාණය (Fat content) සහ මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය (Total solids) නියමිත ප්‍රමිතියට නොතිබීම නිසා පමණක් බවයි. එම නිෂ්පාදන “මිනිස් පරිභෝජනයට නුසුදුසු හෝ විෂ සහිත” බව රස පරීක්ෂක වාර්තාවේ සඳහන් නොවන බව පවසමින් ඔවුන් සිය ප්‍රතිරූපය බේරා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙහි ඇති බරපතළම ප්රශ්නය නම් “අයිස්ක්‍රීම්” (Ice Cream) ලෙස නම් කර යමක් විකුණන්නේ නම්, ඊට අදාළ අවම පෝෂණ සහ මේද ප්රමිතීන් තිබිය යුතු විමය. එම ප්රමිතීන් නොමැතිව රසකාරක සහ වතුර මිශ්‍ර කර අයිස්ක්‍රීම් නමින් අලෙවි කිරීම පාරිභෝගිකයා නොමඟ යැවීමක් සහ බරපතළ වෙළඳ වංචාවකි.




