දුටු ගැමුණු රජුට කඩු හැදූ අඟුල්මඩුව
මෙරට පැවැති කර්මාන්ත අතර ලෝහ කර්මාන්තයට ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර පිත්තල කර්මාන්තයට එහි මූලිකත්වය හිමිවන කර්මාන්තයකි. ඈත අතීතයේ සිට පිත්තලවලින් කළ නිර්මාණ, භාණ්ඩ පැවැති බවට බොහෝ සාක්ෂි තිබේ. පැරැණි වෙහෙර විහාර ඊට කදිම සාක්ෂි සපයයි. පසුකාලීනව නිවෙස්වල ගාම්භීරත්වය උසස් බව කියාපෑමට පිත්තල නිර්මාණ භාවිත කළ බවටද සාක්ෂි තිබේ.
17වැනි ශතවර්ෂයෙන් අනතුරුව පිත්තල කර්මාන්තය පැවැති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇත. කරුණු කාරණා කෙසේ වුවද පිත්තල කර්මාන්තය මෙරට එතරම් ව්‍යාප්තව තිබූ නමුත් වර්තමානය වනවිට එය ක්‍රමයෙන් අභාවයට යමින් පවතින බව එම කර්මාන්තයේ නියැළී සිටින බොහෝ දෙනාගේ මතයයි. අද අප බලාපොරොත්තු වෙන්නේ අපිට බොහෝ ඉතිහාසයකට හිමිකම් කියන අපේ රටේ නිර්මාණ ශිල්පීන්ගේ උදාරත්වය ලෝකයට කියාපාන පිත්තල කර්මාන්තයෙහි ඉපැරැණිම ගමට සංචාරය කිරීමටයි. මෙය හුදෙක් සංචාරයක් පමණක් නොව අධ්‍යාපනය ලබන දරු දැරියන්ටත් ඉතාම වටිනා අධ්‍යාපන චාරිකාවක්ද වනු නොඅනුමානයි.

පිත්තල නිෂ්පාදනයෙහිලා ප්රමුඛ හා ආරම්භක ගම්මානය වන අඟුල්මඩුව දෙස් විදෙස් සංචාරකයන්ට අගනා සංචාරයක් බව මුලින්ම සඳහන් කළ යුතුමය. බෙලිඅත්ත සිට විතාරන්දෙණිය හරහා කිලෝමීටර් දහයක් පමණ සංචාරය කිරීමෙන් අඟුල්මඩුව ගම්මානයට ළඟා විය හැකියි. මෙම සංචාරය අපට සංවිධානය කරනු ලැබුවේ ප්‍රවීණ මූර්ති ශිල්පී ජගත් වන්නිආරච්චි විසිනි.
අඟුල්මඩුවේ අතීත කතාව හරිම රසවත්. එය දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා. වර්තමානයේ මෙම ගමේ පිත්තල කර්මාන්තයේ යෙදිලා ඉන්නේ සීමිත වූ පිරිසක්. ඒ අතර ආරම්භකම පවුලක් ඉන්නවා. ඒ අය මුණගැහිලා අතීත විස්තර දැන ගන්න පුළුවන. ජගත් වන්නිආරච්චි මහතා අදහස් දක්වමින් අපිව කැඳවාගෙන ගියේ ආරම්භක සාමාජික පවුලක් වගේම දැනටත් ක්‍රියාකාරීව පිත්තල කර්මාන්තයේ නියැළී සිටින රෝහණ නවරත්න මහතාගේ නිවස වෙතයි. රෝහණ මහතා සමඟ අප එහි යන මොහොතේදීත් හෙතෙම තම කර්මාන්ත කරුවන් සමඟ පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කරමින් සිටියා. ඉතාම සුහදව පිළිගත් අපිට මෙම කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව සඳහන් කර සිටියේ මෙලෙසයි.

“අපේ පරම්පරාව පිළිබඳ මම අහල තියෙන විදිහට බොහොම ඉතිහාසයක් තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිනකොට ගෝත්‍ර18ක් ආව බවත්, ඉන් එක් කුල ගෝත්‍රයක් පිත්තල කර්මාන්තයේ යෙදුණු අය බවත්, ඒ පිරිස මෙම ගමෙහි අඟුල්මඩුව ස්ථාපිත වුණ බව පැරැන්නෝ කියන්නේ. ඒ අයගෙන් තමයි අපේ පරම්පරාව පැවත එන්නේ කියලා තමයි මගේ දෙමාපියන් අපිට කියලා තියෙන්නේ.”
“දුටුගැමුණු රජතුමා කඩු හැදුවෙත් අපේ ගමෙන් බව කියැවෙනවා. ඒ වගේම තමයි දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ චිත්‍ර ඇන්දෙත් අපේ ගමේ මුල් ආචාර්යවරයෙක්. අනික ඇම්බැක්කෙ දේවාලයේ ලී කැටයම් කළ පැරැණි ශිල්පීන් තිදෙනාගෙන් එක් ප්‍රධාන ශිල්පියකු අඟුල්මඩුවේ කෙනෙක්. රට පුරා තියෙන රත්තරන් සාප්පු බොහොමයක් මෙහෙන් ගිය අයගෙන් ස්ථාපිත වුණ ඒවා. පිත්තල කියල කිව්වම අපිට සිහියට එන්නේ මහනුවර. මොකද පිත්තලවලට වඩා ජනප්‍රිය උඩරට.”

ඒ පිළිබඳවත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළා.
“මහනුවර පිත්තල කර්මාන්තයට ගිය අපේ අයියල තුන්දෙනෙක් එහිදී විවාහ වෙලා නතර වෙලා තියෙනවා තියෙනවා. ඒ අයගෙන් තමයි උඩරට මේ කර්මාන්තය ව්‍යාප්තව ගොස් තියෙන්නේ. පිත්තල කියන්නේ හැමෝම වගේ ප්‍රිය කරන නිවසේ අලංකාරයට තම අභිමානය පෙන්වීමට භාවිත කරන භාණ්ඩයක් කියල කිව හැකියි. අඟුල්මඩුව ගමට එන ඔබට පිත්තල භාණ්ඩයක් හැදෙන අයුරු මුල සිටම දැක බලාගෙන ඒ අත්දැකීම විඳගන්න පුළුවන්. නිවසේ ලස්සනට තබා තිබෙන පිත්තල භාණ්ඩයක් හැදෙන්නේ කොහොමද කියන එක ඔබට හරිම අපූරු අත්දැකීමක් වේවි. වර්තමානයේ පිත්තල භාණ්ඩ හදන්නේ නවීන තාක්ෂණයත් යොදාගෙන හැබැයි එදා පැරැන්නන්ට තාක්ෂණය තිබුනේ නැහැ. නිර්මාණශීලීත්වයක් ඔවුන් විසින්ම යොදාගත් විවිධ ක්‍රම මගින් තමයි පිත්තල භාණ්ඩ හරි අපූරුවට හැදුනේ.”
“මගේ මතකය තියෙන්නේ තාත්තා මේ කර්මාන්තයට යොමු වෙලා හිටපු කාලයෙයි. ඒ කාලෙ විදුලිය තිබුණේ නැහැ. ලාම්පු එළියෙන් වැඩ කළේ. වාත්තු කරන්නේරෑට. එදා තිබුණේ සම්ප්‍රදායික ඉති අතු කර්මාන්තය. පොල් කටු අඟුරු දාලා මයිනහමෙන් පිඹලා අච්චු හදලා ඒවා වෙනම උඳුනක දානවා. ඒවා පොල් එළි වලින් රත් කරලා ඊට පස්සේ පිත්තල වක් කරනවා. අද අපි තෙල්, විදුලිය යොදාගෙන නවීන ක්‍රමයට පහසුවෙන් හදනවා. ඒ කාලෙ වැඩිපුර පිත්තල භාණ්ඩ හැටියට හැදුවේ පන්සල්වලට අවශ්‍ය පහන්, පඩික්කම්, ගණ්ඨාර, කොත් වගේ දේවල්.”

රෝහණ නවරත්න මහතා පවසන්නේ වර්තමානයේ පිත්තල නිෂ්පාදන සඳහා විශාල තරගකාරීත්වයක් තිබෙන බවයි. ඉන්දියාව වැනි රටවලින් ඉතා අඩු මුදලකට පිත්තල භාණ්ඩ ආනයනය කිරීම නිසා දේශීය කර්මාන්තකරුවන් විශාල අර්බුදයකට පත්ව සිටින බවත් බොහෝ දෙනා මෙම කර්මාන්තය අතහැර ගොස් ඇති බවත්ය.

මෙරට ඉපැරැණිම පිත්තල ගම්මානයේද අද මෙම කර්මාන්තයේ නියැළී සිටින්නේ පවුල් කිහිපයකි. මෙම කර්මාන්තයත් මේ ඉපැරැණි ගමත් සංචාරකයන්ගේ ආකර්ෂණයට යොමු වුවහොත් රටටත් මෙම කර්මාන්තයේ නියැළී ශිල්පීන්ටත් හෙට දින සුබදායී දවසක් වනු ඇත. රෝහණ මහතා සඳහන් කරන්නේ විදේශිකයෝ යම් අවස්ථාවලදී පැමිණෙන බවත්, ඔවුන් දැඩි උනන්දුවක් මේ සඳහා දක්වන බවත්ය. සැබැවින්ම මෙම ගම්මානය අපට සම්පතකි. රජ සමයේදී රජවරුන් විසින් කඩු හැදූ මෙම ගම්මානය දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට යොමු කළහොත් සංචාරක ව්‍යාපාරයක් ලෙසද විශාල දියුණුවක් ලබා ගැනීමට හැකිවනු ඇත. කෙසේ වුවද ඔබ මෙන්ම අධ්‍යාපනය ලබන ඔබගේ දරුවන්ද දැක බලා ගත යුතුම සංචාරක ස්ථානයක් ලෙස අඟුල්මඩුව ගම සඳහන් කළ හැකිය.





