දෙවියන්ගේ දේශයට සවාරියක් – Kerala
ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්රීක හරිත පරිසරයත්, මනරම් වෙරළ තීරයන්, මීදුමෙන් වැසුණු කඳුකර ප්රදේශ සහ සුන්දර දිය ඇළි නිසා කේරළය ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ පාරාදීසයක්. ඔබ මලයාලම් සිනමාවට ආදරය කරන අයෙක් නම් කේරලයේ සුන්දරත්වය දකින්නට ලැබී ඇති බව නිසැකයි.

“දෙවියන්ගේ දේශය” (God’s Own Country) ලෙස ප්රසිද්ධ කේරළය එහි ඇති ස්වභාවික සුන්දරත්වය නිසාම, සොබාදහමට ආදරය කරන සංචාරකයන්ගේ අපූරු තෝතැන්නක්. එමෙන්ම මේ ප්රදේශයටම අනන්ය වූ සංස්කෘතිය, ආහාර, ඉතිහාස කතා, නටඹුන් වැනි දෙයින් සමන්විතයි. නිවී සැනසිල්ලේ විවේකය ගත කිරීමට කැමති කැමති අයට අපූරුම නවාතැනක්. කඳුකරයේ සිසිල් දේශගුණයේ සිට මනරම් මුහුදු වෙරළ තීරය දක්වා අමතක නොවන සංචාරයක මිහිර අත්විඳීමට හැකි කේරල සංචාරයකදී ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැන් කිහිපයකි මේ.

• මුන්නාර් (Munnar)
මුන්නාර් යනු කේරළයේ බෙහෙවින් ජනප්රිය කඳුකර සංචාරක ගමනාන්තයක්. තේ වගාවෙන් වැසුණු පුළුල් කඳු බෑවුම්, මීදුමෙන් වැසුණු කඳු මුදුන් සහ සිසිල් දේශගුණය මෙහි විශේෂත්වයයි. නගරයේ කලබලයෙන් ඈත්ව හරිත පැහැ පරිසරයක, සොබාදහමේ සුන්දරත්වය විඳීමට කැමති සංචාරකයන්ට මුන්නාර් අපූරුම තැනක්. මෙහිදී තේ වතු නැරඹීම, කඳුකර මාර්ගවල සංචාරය කිරීම, ඡායාරූප ගැනීමට සහ දේශීය තේ සංස්කෘතිය පිළිබඳව ඉගෙන ගැනීමටත් පුළුවන්. එරවිකුලම් ජාතික වනෝද්යානයද මුන්නාර්වල සංචාරක ආකර්ෂණය දිනාගත් තැනක්.

• අලප්පුළ (Alappuzha)
අලප්පුළ, ඇලප්පි (Alleppey) යන නාමයෙන්ද හැඳින්වෙනවා. මෙතැන ඇළ මාර්ග සහ හවුස්බෝට් සංචාර සඳහා බෙහෙවින් ප්රසිද්ධියට පත් ස්ථානයක්. පොල් ගස්වලින් වටවූ ගංඟාවන්, ගැමි සුන්දරත්වයෙන් අනූන කුඩා ගම්මාන, කුඹුරු සහ නිස්කලංක දොළ පහරවල් මෙම ප්රදේශයේ සුන්දරත්වය වැඩි දියුණු කරනවා. හවුස්බෝට්ටුවකින් ඇළ මාර්ග ඔස්සේ සංචාරය කිරීම, ගම් වාසීන්ගේ සම්ප්රදායික ජීවන රටාවේ සුන්දරත්වය අත්විඳීමට හැකිවීම සහ කේරළයට ආවේණික සාම්ප්රදායික කේරළ ආහාර රස බැලීම මෙහිදී ලබාගත හැකි විශේෂ අත්දැකීම් වේ. විවේකී පවුල් සංචාරයකට හෝ ආදරණීයයන් සමඟ නිවාඩුවක් ගත කිරීමට අලප්පුළ කදිම ගමනාන්තයක්.

• කොචි (Kochi)
කොචි යනු කේරළයේ ප්රසිද්ධම ස්ථානවලින් එකක්. ඉතිහාසය, සංස්කෘතිය සහ නවීන නාගරික ජීවිතය එකට මුසු වූ තැනක්. අතීතයේ කොචිවල තිබූ වෙළෙඳ සබඳතා සහ විදේශීය බලපෑම් හේතුවෙන් මෙය විවිධ සංස්කෘතික ලක්ෂණ, ගෘහ නිර්මාණ ශිල්ප, ආහාර සහ වෙනස්ම ජීවන රටාවක අපූර්වත්වය අත්විඳිය හැකියි. සංචාරකයන් අතර වඩාත් ප්රසිද්ධ ෆෝට් කොචි (Fort Kochi), චීන ධීවර දැල්, පැරණි ගොඩනැගිලි, කලාගාර සහ ඓතිහාසික ගොඩනැගිලි වලින් සමන්විතයි. නගරයේ මුහුදුබඩ පරිසරය විඳිමින් ඇවිදීමටත්, කොචිවලට ආවේණික ආහාර රස බැලීමටත්, කේරළයේ සංස්කෘතික විවිධත්වය හඳුනාගැනීමටත් කදිම ස්ථානයක්.

• වයනාඩ් (Wayanad)
හරිතපැහැ සශ්රීක වනාන්තර, කඳු පන්ති, දිය ඇලි සහ වන සම්පත්වලින් සමන්විත වයනාඩ් සොබාදහමට සමීප වීමට කැමති සංචාරකයන්ගේ ප්රියතම ගමනාන්තයක්. මෙහි හරිත පරිසරය, නිස්කලංක ගම්මාන සහ කඳුකර දර්ශන අපූරු අත්දැකීමක් ලබාදෙනවා. එඩක්කල් ගුහා (Edakkal Caves), පූකොඩ් විල (Pookode Lake) සහ දිය ඇලි වයනාඩ්වල ප්රසිද්ධම ස්ථානයි. කඳු නැගීම, ස්වභාවික පරිසරය ගවේෂණය කිරීම සහ වනාන්තර ආශ්රිත සංචාර සඳහා වයනාඩ් සුදුසුම ස්ථානයකි.

• තේක්කඩි (Thekkady)
පෙරියාර් වනජීවී රක්ෂිතය ආශ්රිතව පිහිටි මෙම ප්රදේශය වනාන්තර, ජලාශ සහ විවිධ වනජීවීන් විශේෂ සඳහා ප්රසිද්ධයි. මෙහිදී නියමිත අවසර සහිත වනජීවී සංචාර, මඟපෙන්වන්නන් සමඟ ස්වභාවික මංපෙත් ගවේෂණය සහ අවට කුළුබඩු වගාවන් නැරඹීම වැනි අත්දැකීම් ලබාගන්න පුළුවන්.

• කෝවලම් (Kovalam)
කෝවලම් කේරළයේ ප්රසිද්ධ වෙරළබඩ සංචාරක ගමනාන්තයකි. රන්වන් වෙරළ තීරයන්, පොල් ගස්වලින් වටවූ වෙරළබඩ පරිසරය සහ මුහුදේ මනරම් දර්ශන මෙම ප්රදේශයේ ආකර්ෂණය වැඩි කරනවා. වෙරළේ විවේක ගැනීම, හිරු බැස යන දර්ශනීය සුන්දරත්වය නැරඹීම සහ වෙරළබඩ අවන්හල්වල දේශීය ආහාර රස බැලීම සංචාරකයන්ට ප්රියජනක අත්දැකීමක්.

• කුමරකොම් (Kumarakom)
වේම්බනාඩ් විල ආශ්රිතව පිහිටි කුමරකොම් යනු ඇළ මාර්ග, තෙත්බිම් සහ පක්ෂි නිරීක්ෂණය සඳහා ප්රසිද්ධ ප්රදේශයක්. ජලයෙන් වටවූ සුන්දර පරිසරය සහ ගම්මානවල සරල ජීවන රටාව මෙහි සුවිශේෂී ලක්ෂණයි. බෝට්ටු සංචාරවල නිරත වීමට, පක්ෂීන් නිරීක්ෂණය කිරීමට සහ ජලාශ්රිත පරිසරයේ නිස්කලංකත්වය විඳීමට අපූරු ස්ථානයක්.

• ත්රිසූර් (Thrissur)
ත්රිසූර් කේරළයේ සංස්කෘතික උරුමය සහ සාම්ප්රදායික උත්සව සඳහා ප්රසිද්ධ නගරයක්. විහාරස්ථාන, සංස්කෘතික ස්ථාන, සාම්ප්රදායික කලා ශිල්ප සහ උත්සව මෙහි අනන්යතාවයයි. ත්රිසූර් පූරම් (Thrissur Pooram) උත්සවය කේරළයේ ප්රසිද්ධ සංස්කෘතික අංගයන්ගෙන් එකක්. එය පැවැත්වෙන කාලයට ත්රිසූර් නගරයට විශාල ජනකායක් පැමිණෙනවා. කේරළයේ උරුමය, සම්ප්රදායන් සහ දේශීය සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් ඇති සංචාරකයන් මග නොහැරිය යුතුම ගමනාන්තයක්.

• බෙකල් (Bekal)
කේරළයේ උතුරු ප්රදේශයේ පිහිටි බෙකල්, ඓතිහාසික බලකොටුව සහ සුන්දර වෙරළ තීරය සඳහා ප්රසිද්ධයි. මුහුදට මුහුණලා පිහිටි බෙකල් බලකොටුව (Bekal Fort) කේරළයට ඓතිහාසික ආකර්ෂණයක් ගෙනදෙන අතර ඡායාරූප ලබාගන්න අය අතර ප්රසිද්ධම ස්ථානයක්. ඉතිහාසය සහ ස්වභාවික සුන්දරත්වය එකට අත්විඳීමට කැමති සංචාරකයන්ට බෙකල් යනු හොඳම තැනක්.

කේරළයේ සංචාරය කිරීමට සුදුසු කාලය
කේරළයේ සංචාරය කිරීමට සුදුසු කාලය තෝරාගන්නා ගමනාන්තය සහ සංචාරක අත්දැකීම් අනුව වෙනස් වෙනවා.
• සැප්තැම්බර් සිට මාර්තු දක්වා
එළිමහන් සංචාර සහ වෙරළබඩ නිවාඩු සඳහා සාපේක්ෂව සුදුසු කාලයකි.
• අප්රේල් සහ මැයි
කඳුකර ප්රදේශවල සංචාරය කිරීමට සුදුසුයි. නමුත් මෙහිදී කාලගුණය තරමක් උණුසුම් විය හැකියි.




