වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ?
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා මැරීන් ඩ්‍රයිව් (Marine Drive) වෙරළ තීරයේ පවත්වාගෙන යනු ලබන අනවසර හෝටල් සහ සංචාරක ආපනශාලා සැප්තැම්බර් 10 වැනි දිනට පෙර ඉවත් කරගන්නා ලෙස වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් මීට පෙර දැඩි නියෝගයක් නිකුත් කෙරිණි. එහි මුල් අදියර ලෙස පුද්ගලයන් 8 දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට අදාළ නිල ලැයිස්තු ද සකස් කර තිබිණි. “සැප්තැම්බර් 10 ට පෙර ඉවත් නොකළහොත් 11 වැනිදා ඩෝසර් දමා කඩා බිඳ දමනවා” යැයි බලධාරීන් එදා මාධ්‍ය ඉදිරියේ සිංහ නාද කළහ. නමුත් අද වන විට එම නියෝගය කුමන අබලි කූඩයකට ගොස් ඇද්දැයි ප්‍රශ්න කිරීමට තරම් පරිසරය නිහඬය.

දේශපාලනඥයන්ගේ සහ ඇතැම් රජයේ ඉහළ නිලධාරීන්ගේ සෘජු අනුග්‍රහය මත, ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ ලේඛන භාවිතා කරමින් අධික වාණිජ වටිනාකමකින් යුත් මෙම වෙරළ කලාපය ආක්‍රමණය කළ බලවතුන් ඉදිරියේ නීතිය දණ ගසා ඇත. බලධාරීන්ගේ ‘තර්ජන’ සහ ‘අවසාන නිවේදන’ දින කිහිපයක් මාධ්‍ය ප්රවෘත්ති මැවීමට පමණක් සීමා වූ තවත් එක් මෙගා නාටකයක් බව මේ වන විට තහවුරු වෙමින් තිබේ. නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්වමින් ජනතාවගේ දෑස් රවටන මේ හිස් කයිවාරුවලින් පැහැදිලි වන්නේ මෙරට දේශපාලන හා නිලධාරී තන්ත්රයේ සුපුරුදු නිරුවතයි. සාමාන්‍ය දුප්පත් මිනිසෙකුගේ කුඩා කඩයක් හෝ ජීවත් වන පැල්පතක් ඉවත් කිරීමට පොලිස් බලඇණි පිරිවරාගෙන වේගයෙන් ක්‍රියාත්මක වන ජේසිබි මැෂින්, බලවතුන්ගේ අනවසර හෝටල් ඉදිරියට පැමිණි විට අකර්මන්‍ය වීම පුදුමයට කරුණක් නොවේ. පුද්ගලයන් 8 දෙනෙකු වැනි සුළු පිරිසකගේ නීතිවිරෝධී ගොඩනැගිලි ටිකක් ඉවත් කිරීමට මුළු රාජ්‍ය යන්ත්රණයටම නොහැකි වීමෙන්ම පෙනී යන්නේ “දේශපාලන හස්තය” සහ “යටින් වන ගනුදෙනු” නීතියට වඩා කොතරම් බලවත්ද යන්නයි.




