ජනතාවගේ බදු මුදල් ගිලින රාජ්‍ය මාධ්‍ය
2027 අයවැය මගින් රාජ්‍ය වියදම් සීමා කරන බවට පුරසාරම් දොඩන අතරතුර, අඛණ්ඩව රටට බරක් වී ඇති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC), ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) වැනි රාජ්‍ය මාධ්‍ය ආයතන නඩත්තු කිරීමට යළිත් මහජන මුදල් පොම්ප කිරීමට පියවර ගෙන තිබේ. දශක ගණනාවක් පුරා මේ ආයතන පිරිහීමට ලක් කළ දේශපාලන පත්වීම් සහ කළමනාකරණ දූෂණ වසන් කිරීමට තවදුරටත් ජනතාව වන්දි ගෙවිය යුතුද?

ආර්ථික අර්බුදයේ ගිලී සිටින පොදු ජනතාවගේ එදිනෙදා ආහාර වේලට පවා බදු ගසමින් රාජ්‍ය ආදායම තර කර ගැනීමට වෙර දරන පාලකයින්, අනෙක් පසින් අන්ත අසාර්ථක රාජ්‍ය මාධ්‍ය ආයතන නඩත්තු කිරීමට මහා භාණ්ඩාගාරයේ දොරටු විවර කර තිබේ. මූල්‍ය අසීරුතා මඟහරවා ගැනීමේ නාමයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC), ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 1000 ට වැඩිය. රූපවාහිනියට සහ ස්වාධීන රූපවාහිනියට මිලියන 400 බැගින් මිලියන 800 ක් වෙන්කර ඇත. සාමාන්‍ය පුරවැසියාට මතුවන ප්‍රධානතම පැනය වන්නේ අප ගෙවන බදු මුදල් වැය වන්නේ මහජන සේවයටද, නැතහොත් දේශපාලනඥයින්ගේ හිතවතුන්ට පඩි ගෙවීමටද යන්නය.
කෝටි ගණනින් පාඩු ලබන සහ අස්ථාවර ‘සුදු අලි’ නඩත්තුව
පෞද්ගලික මාධ්‍ය ආයතන අතිශය තරගකාරී වෙළෙඳපොළක් තුළ දැවැන්ත ලාභ උපයමින් සිටින වටපිටාවක, රටේ වටිනාම සංඛ්‍යාත, 99% ක දීපව්‍යාප්ත විකාශන ආවරණය සහ භෞතික සම්පත් සතු රාජ්‍ය මාධ්‍ය ආයතන ත්‍රිත්වය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. මුදල් අමාත්‍යාංශයේ දත්ත පවා මෙම කඩාවැටීම මනාව තහවුරු කරයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC). මෑතකාලීන මූල්‍ය වාර්තා අනුව රුපියල් මිලියන 166ක දැවැන්ත බදු පෙර අලාභයක් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC). මෙම ආයතනයේ බදු පෙර අලාභය රුපියල් මිලියන 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN). රජය සතු පොදු සමාගමක් ලෙස ITN, වසන්තම් TV, ලක්හඬ සහ වසන්තම් FM නාලිකා පවත්වාගෙන යන මෙම ජාලය 2023 වසරේදී රුපියල් මිලියන 181කට අධික පාඩුවක් වාර්තා කළ අතර, 2024 වසරේදී සුළු ලාභයක් පෙන්වූවද එහි ලක්හඬ ගුවන් විදුලිය රුපියල් මිලියන 19.5ක පාඩුවක් සහ සමස්ත ආයතනය රුපියල් බිලියන 1.2ක ජංගම වගකීම් (Current Liabilities) ගොඩ ගසාගෙන සිටී.
2008-2014 කාලයේ මෙරට අංක එකේ නාලිකාව ලෙස වැජඹුණු ITN ආයතනය පවා 2015න් පසු දැඩි පසුබෑමකට ලක්ව අද වන විට ණය බරින් මිරිකී සිටීම, රාජ්‍ය මාධ්‍ය පරිපාලනයේ අසාර්ථකත්වයට හොඳම උදාහරණයයි.
මේ විනාශයේ සැබෑ වගඋත්තරකරුවන් කවුද?
රූපවාහිනී සංස්ථාව, ගුවන් විදුලිය සහ ස්වාධීන රූපවාහිනිය මේ තරම් පිරිහීමට ලක්වීම අහම්බයක් නොව, දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සංස්කෘතියේ ඍජු ප්රතිඵලයකි. දේශපාලන පත්වීම්වල පාරාදීසයක් වීම. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම තම මැතිවරණ ව්‍යාපාරවලට කඩේ ගිය ආධාරකරුවන්ට රැකියා දෙන ‘පිං පඩි මධ්‍යස්ථාන’ බවට මේ ආයතන ත්‍රිත්වයම පත් කර ගත්තේය. කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැති අතිරික්ත සේවකයින්ගෙන් ආයතන පිරී යාම නිසා, උපයන ආදායමෙන් විශාලතම කොටස වැටුප් හා අතිකාල දීමනා ගෙවීමට වැය වේ.

ආණ්ඩුවේ හොරණෑ බවට පත්වීම
“ස්වාධීන” යන නම ඇතත්, ස්වාධීන මාධ්‍ය භාවිතය වෙනුවට පවතින ආණ්ඩුවේ ප්රචාරක යාන්ත්‍රණය බවට පත්වීම නිසා ප්‍රේක්ෂකයින් සහ ශ්රාවකයින් මේ නාලිකා ප්‍රතික්ෂේප කර අවසන්ය. ප්‍රේක්ෂකයින් නොමැති තැන වෙළෙඳ දැන්වීම් ආදායම කඩා වැටීම පුදුමයක් නොවේ.
අකාර්යක්ෂම පරිපාලනය සහ දූෂණය
කාලීන තාක්ෂණයට හෝ ඩිජිටල් මාධ්‍ය අවකාශයට අනුගත වීමට කිසිදු උනන්දුවක් නොදක්වන පරිපාලන නිලධාරීන්, තම වරප්‍රසාද රැකගනිමින් ආයතන තවදුරටත් ණය බරේ ගිල්වමින් සිටී.
ප්‍රතිසංස්කරණ පොරොන්දු හුදු වචන පමණක්ද?
පාඩු ලබන රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ඒකාබද්ධ කිරීම පිළිබඳව විවිධ අවස්ථාවලදී සාකච්ඡා මතු වුවද, ප්‍රායෝගිකව සිදුව ඇත්තේ ඒවා තවදුරටත් භාණ්ඩාගාරය මත යැපෙන ආකෘතියේම පවත්වාගෙන යාමයි. දේශපාලන අධිකාරියට තම ප්රචාරක කටයුතු සඳහා මෙම නාලිකා අවශ්‍ය වී ඇති බැවින්, ඒවා ස්වාධීන කිරීමට හෝ අතිරික්ත සේවක බර අඩු කිරීමට කිසිදු පාලකයෙකුට සැබෑ වුවමනාවක් නොමැති බව පැහැදිලිය.




