වැඩ 25% යි, තවත් බිලියන 6ක් ඉල්ලයි
රටම පිරිසිදු කිරීමේ මහා සංකල්පයක් ලෙස 2025 වසරේදී මහත් ඝෝෂාවක් මැද ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහනේ අභ්‍යන්තර මූල්‍ය පරිපාලනය කෙතරම් අපිරිසිදුද යන්න මේ වන විට තහවුරු වෙමින් තිබේ. පසුගිය වසර දෙක සඳහා වෙන් කළ රුපියල් බිලියන 11.5ක මුදලින් වැය කර ඇත්තේ 25%ක් වැනි සොච්චම් ප්‍රමාණයක් වුවද, 2027 අයවැය හරහා තවත් රුපියල් බිලියන 6ක් මේ වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත. පෙර වෙන් කළ මුදල්වලින් සියයට 75ක්ම වැඩ නොකර සිරවී තිබියදී, තවත් බිලියන ගණනක් මහජන මුදල් මේ වෙත පොම්ප කිරීම පිටුපස ඇති සැබෑ යථාර්ථය කුමක්ද?

වෙන් කළ මුදල් වැය කිරීමේ බරපතළ මන්දගාමී බව
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වන ප්‍රබලම විවේචනය වන්නේ වෙන් කරන ලද මුදල් ප්‍රායෝගික ව්‍යාපෘති බවට පරිවර්තනය කිරීමේදී පවතින අකාර්යක්ෂමතාවයි. තොරතුරු දැනගැනීමේ පනත (RTI) හරහා The Morning පුවත්පත අනාවරණය කළ දත්තවලට අනුව, 2025 සහ 2026 වසර සඳහා වෙන් කළ රුපියල් බිලියන 11.5ක මුළු ප්‍රතිපාදනයෙන් 2026 මාර්තු අවසානය වන විට වැය කර තිබුණේ රුපියල් බිලියන 2.93ක් පමණි. එනම් වසරකට වැඩි කාලයක් තුළ වෙන් කළ මුදලින් වැය කර ඇත්තේ 25%ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකි. රටේ ආර්ථිකය දැඩි මූල්‍ය විනයක් අපේක්ෂා කරන මොහොතක, මෙලෙස බිලියන ගණනක් භාවිතයට නොගෙන සිරවී තිබීම පරිපාලන දුර්වලතාවක් පෙන්නුම් කරයි.

ආයතනික ව්‍යුහය තුළ කාර්යයන් ද්විත්ව වීම (Duplication)
රාජ්‍ය පරිපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන තවත් ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ හරහා සිදු කරන බොහෝ කාර්යයන් දැනටමත් පවතින රාජ්‍ය ආයතනවල වගකීම් සමඟ ගැටීමයි. කසළ කළමනාකරණය, නගර අලංකරණය, පාසල් නඩත්තුව සහ පරිසර සංරක්ෂණය සඳහා මෙරට තුළ පළාත් පාලන ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන රැසක් ක්‍රියාත්මක වේ. එම ආයතන ශක්තිමත් කරනු වෙනුවට, ජනාධිපති කාර්යාලය යටතේ වෙනම වැය ශීර්ෂයක් යටතේ බිලියන ගණනක් වෙන් කරමින් සමාන්තර ව්‍යුහයක් පවත්වාගෙන යෑම රාජ්‍ය සම්පත් නාස්තියක් ලෙස අමුතුවෙන් පෙන්වා දිය යුතුද ?

අරමුණු පිළිබඳ අපැහැදිලි බව සහ ප්‍රතිඵල මැනීමේ දුෂ්කරතාව
පාසල් 500ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීම සහ ආදර්ශ ගම්මාන කිහිපයක් ආරම්භ කිරීම වැනි සීමිත භෞතික ප්‍රගතියක් රජය විසින් පෙන්වා දුන්නද, ව්‍යාපෘතියේ මූලික හරය වූ “ආකල්පමය සහ සමාජයීය පරිවර්තනය” මැන බැලීමට කිසිදු විද්‍යාත්මක මිනුම්දණ්ඩක් ඉදිරිපත් කර නොමැත. හුදෙක් ප්‍රචාරණ ව්‍යාපෘති, ස්ටිකර් ඇලවීම හෝ සංකේතාත්මක පිරිසිදු කිරීම්වලින් ඔබ්බට ගිය දිගුකාලීන, තිරසාර ප්‍රතිඵලයක් මෙතෙක් සාමාන්‍ය ජනතාවට දැනෙන මට්ටමින් නිර්මාණය වී නොමැති බව කිව යුතුය.




