මගේ චිත්රපටි මමවත් බලන්නෙ නෑ – Preity Zinta
Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්රපට රැසකින්ම ආදරණීය පෙම්වතියගේ චරිතය තුළින් එවකට ප්රේක්ෂක හදවත් හැඟීම්බර කෙරූ ප්රීති සින්ටා බොලිවුඩ් සිනමාවේ නොමැකෙන සලකුණකි. වර්තමානයේ පවා ඇය නව චරිත සහ ශානරයන් අත්හදා බලමින් ප්රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරයි. Lahore 1947 චිත්රපටයේ සනී ඩියෝල් සමඟ රඟපෑ ප්රීති, කුනාල් කෙමු අධ්යක්ෂණය කෙරූ පසුගිය සැප්තැම්බර් මාසයේ තිරගත වුණ Vibe නම් action-comedy චිත්රපටය තුළින් ප්රේක්ෂකයන් හමුවට පැමිණියේ Madam H ලෙසිනි. හාස්යය, ක්රියාදාමය සහ දේශප්රේමය මුසු වූ චරිතයක් ලෙස ඇයව හැඳින්විය හැකි අතර ප්රීති ක්රියාදාම ශානරයට පිවිසෙන පළමු අවස්ථාවද මෙයයි. මේ ETV Bharat ප්රීති සින්ටා සමග සිදුකළ කතාබහකි.

• Madam H වගේ action – comedy ෆිල්ම් එකක රඟපාන්න හිතුණෙ ඇයි? හාස්යය – ක්රියාදාම, නැත්තම් චරිතයේ සුවිශේෂී ගුණයක් ඔබව ඊට පෙළඹවූවද?
මම අවුරුදු ගණනාවක්ම රඟපානව. ඒ වගේම විවිධ චරිත කරන්නත් මට අවස්ථාව ලැබී තියෙනව. අදටත්, චිත්රපටයක් තෝරා ගැනීමේදී මම ප්රමුඛත්වය දෙන කාරණාවල ලොකු වෙනසක් වෙලා නැහැ. කතාව සහ චරිතය මට දැනෙන්න ඕනෙ. ඒ ගැන උද්යෝගයක් තියෙන්න ඕනෙ. Vibe චිත්රපටිය කරන්න කලින් මම ටිකක් සීරියස් තේමාවක් තියෙන චිත්රපටියක වැඩ කරමින් සිටියා. ඒ නිසා මට ඕනෙ වුණේ සැහැල්ලු, විනෝදජනක සහ ප්රේක්ෂකයින්ව විනෝදයට පත් කරන දෙයක් කරන්න. ඒ වගේම, මම සැමවිටම ක්රියාදාම චරිතයක් කරන්න කැමැත්තෙන් හිටියා. මම හාස්යජනක චරිතවලටත් කැමතියි. නමුත් පුදුමයට කරුණ තමයි එහෙම චිත්රපටවල පවා මට ලැබෙන්නේ තරමක් සීරියස් චරිත. ඒකයි මට Madam H විශේෂ වුණේ.
• ක්රියාදාම ජවනිකා රඟපාන අතරතුර ඔබට තුවාල වුණා. රූගත කිරීමේදී ඔබට මුහුණ දෙන්න වුණ අභියෝග මොනවාද?
ඇත්තටම ඒක අභියෝගාත්මක අත්දැකීමක්. මම ක්රියාදාම ජවනිකා රඟපෑව පළමු අවස්ථාව මේක නිසාම මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. ක්රියාදාම දර්ශන රඟපානකොට ඇඟ හොඳින් උණුසුම්ව සහ සූදානම්ව තියා ගන්න එක හරිම වැදගත්. එක වතාවක් මම ලන්ච් එකෙන් පස්සෙ කෙලින්ම ෂූටිං කරන්න ගියාම උරහිස තුවාල වුණා. ඊට පස්සෙ තුවාලෙ හොඳ වෙනකං මාස එකහමාරකට ආසන්න කාලයක් rehabilitation අභ්යාස කරන්න වුණා. මම fitness ගැන ගොඩක් සැලකිලිමත්, නිතර ව්යායාම කරන කෙනෙක් වුවත්, ක්රියාදාම දර්ශන සඳහා ශරීරය සූදානම් කිරීම ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අධ්යක්ෂ පර්වේස් භායි (පර්වේස් ඛාන්) සහ සමස්ථ කාර්ය මණ්ඩලයම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ නිසාම මට මේක සාර්ථකව කරන්න පුළුවන් වුණා. ප්රේක්ෂකයින් තිරය මත දකින දේ පිටුපස ලොකු මහන්සියක් සැඟවෙලා තියෙනවා. මට උදව් කළ සියලු දෙනාටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

• 1990 දශකයේ අගභාගයේ සිට 2026 දක්වා ඔබේ ගමන දෙස ආපසු හැරී බලන විට, ඔබ තුළ සහ චිත්රපට කර්මාන්තය තුළ සිදු වී ඇති වෙනස්කම් මොනවාද?
මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේදීයි. එම කාලය හින්දි චිත්රපට කර්මාන්තයේ විශාල වෙනස්කම් සිද්ධ වුණ යුගයක්. ඒ කාලෙ live sound ක්රමවේදය ආයෙමත් කරළියට ඇවිත්. නළු නිළියන්ට ද ආරම්භයේ සිටම හොඳ පිටපත් ලැබුණා. නිසි පිටපත් (scripts) ලැබීම වැඩි වුණා. සාම්ප්රදායික ගීත සහ නැටුම්වලින් පිරුණු චිත්රපට මෙන්ම, පිරිමි චරිත කේන්ද්ර කරගත් කතාත් ඒකාලෙ බහුලව දකින්න ලැබුණා. අද වෙනකොට මේ ක්ෂේත්රයේ තරඟකාරීත්වය ගොඩක් ඉහළයි. OTT වේදිකා, ක්රීඩා ලීග, ජාත්යන්තර අන්තර්ගතයන් සහ ප්රේක්ෂක රුචිකත්වයේ වෙනස්කම් නිසා ක්ෂේත්රය මුළුමනින්ම වෙනස් වෙලා. ඉස්සර දැන් වගේ ලෝකෙ හැම චිත්රපටියක්ම බලන්න ප්රේක්ෂකයන්ට පුළුවන්කමක් නැහැ. නමුත් අද වනවිට ඒ තත්වය වෙනස් වෙලා. ඔවුන්ට පුළුවන් තමන් කැමති දේ තෝර බේර ගන්න. කොහොම වුණත් එක දෙයක් වෙනස් වෙලා නැහැ. හොඳ කතාවකට හැම තිස්සෙම වටිනකමක් තියෙනවා. චිත්රපටයක ආකර්ෂණීය කතාවක් සහ ප්රබල අන්තර්ගතයක් තියෙනවනං එය ප්රේක්ෂකයන්ව ආකර්ෂණය කරනවා. චිත්රපට නිෂ්පාදන සඳහා වැය කරන මුදල විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, තාක්ෂණය ද අතිවිශාල වෙනසකට ලක්වෙලා තියෙනවා. AI ත් ලොකු වෙනසක් කරලා තියෙනව. නමුත් මූලික වශයෙන් ගත්තම චිත්රපට කලාව කියන්නෙ තවමත් කතාවක් කීම සහ මිනිස්සු එක්ක සම්බන්ධ වීම.
• ඔබේ වෘත්තීය ජීවිතයේ ‘ස්වර්ණමය යුගය’ ලෙස ඔබ හඳුන්වන්නේ කුමන කාල පරිච්ඡේදයද?
මට අනුව, ස්වර්ණමය යුගය කියන්නෙ අතීතයේ තිබුණ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒක මේ මොහොත. ඇත්ත වශයෙන්ම, මම මගේ සාර්ථකත්වයන් දිහා ආපහු හැරිලා බලන්නෙ ලොකු කෘතඥතාවයකින්. මගේ ජීවිතේ සහ වෘත්තීය ජීවිතයේ සෑම අදියරක්ම මට මොනවමහරි උගන්වලා තියෙනව වගේම ලස්සන මතක ඉතිරි කරලා තියෙනවා. එම අත්දැකීම් අද මම කවුරුන්ද කියන දේ හැඩ ගස්සවන්න උදව් වුණා. නමුත් අතීතයේ හිරවෙලා ඉන්න එකට වඩා වර්තමානයේ ජීවත්වෙන එක වැදගත් කියලා මම විශ්වාස කරනවා.

අපට ලැබෙන සෑම මොහොතක්ම විශේෂයි. මොකද හරි ඉක්මන්ට ඒක මතකයක් බවට හැරෙන නිසා. අපි නිතරම අතීතය ගැන හිතමින් හෝ අනාගතය ගැන ඕනෑවට වඩා කනස්සල්ලට පත්වුණොත්, වර්තමානයෙ හැබෑවට ජීවත්වෙන එක අමතක වෙනව. ඒ නිසා මම මගේ ජීවිතය සහ වෘත්තීය ජීවිතය දිහා බලමින්, “මොන කාලෙද හොඳම?” කියලා කල්පනා කරන්නෙ නැහැ. හැම කාලයක්ම මට විශේෂයි. හැම චරිතයක්ම සහ අත්දැකීමක්ම යම් ආකාරයකින් මාව පොහොසත් කරලා තියෙනව. අද මට ලැබෙන වැඩ, අත්දැකීම් සහ ජීවිතය ගලා යන ආකාරය ගැන මම සතුටු වෙනවා. ඉතින් මට අනුව සැබෑ ස්වර්ණමය යුගය කියන්නෙ මේ මොහොත සතුටින් ජීවත් වීමයි. එබැවින්, මගේ ස්වර්ණමය යුගය අද. කවදත් එහෙමයි.
• කුනාල් කෙමු ‘Vibe’ චිත්රපටයේ කතාව රැගෙන ඔබ වෙත ආවම ඔබේ ප්රතිචාරය කොහොම වුණාද?
ඒ කාලෙ Madgaon Express චිත්රපටය අධ්යක්ෂණය කරේ කුනාල් බව මම දැනගෙන හිටියෙ නැහැ. ඒක බලලා තිබුණෙත් නැහැ. කුනාල්, චිරාග් එක්ක ආවෙ කතාව මට විස්තර කරන්න. මම චිරාග්ව ඉස්සර ඉඳල දන්නවා. මුම්බායිවලට ආව මුල්ම කාලෙ ඔහුගේ සහෝදරයා විකී එක්ක මිත්රත්වයක් තිබුණ නිසා. අවුරුදු ගණනාවකට පස්සෙ ආයෙම චිරාග්ව හමුවීම හරි ප්රසන්න අහඹු සිදුවීමක් වුණා. කුනාල් දක්ෂ නළුවෙක් බව මම දැනගෙන හිටියා. නමුත් අධ්යක්ෂවරයෙකු ලෙස ඔහු කතාව විස්තර කරන ආකාරය වෙනස්ම අත්දැකීමක්. ඒක අතිශයින්ම විනෝදජනක බව දැණුනා. ඒකෙ තියෙන action මාව උද්යෝගිමත් කළා. ඉතින් මම ඒකෙ රඟපාන්න තීරණය කළා. නවක අධ්යක්ෂවරුන් සමඟ වැඩ කරන්න මම කැමතියි. වෘත්තීය ජීවිතය පුරාවටම, මම ප්රථම වරට චිත්රපට අධ්යක්ෂණය කරන බොහෝ දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. මට වැදගත් වෙන්නේ අධ්යක්ෂවරයා කවුරුන්ද කියන දේට වඩා කතාව ගැන මගේ කැමැත්ත. Vibe කතාවට මම කැමති වුණා. පස්සෙ කුනාල්ගෙ ස්ටයිල් එක හඳුනගන්න ‘මඩ්ගාඕන් එක්ස්ප්රස්’ බැලුවා.

• Vibe චිත්රපටය දේශප්රේමය දෙස බලන්නේ හාස්යජනක දෘෂ්ටිකෝණයකින්. ඔබේ පියා සහ සහෝදරයා හමුදාවේ සේවය කළ අය බැවින්, දේශප්රේමය යනු ඔබට පෞද්ගලිකව දැනෙන හැඟීමක් වෙන්න පුළුවන්. Madam H චරිතය සඳහා ඔබ වෙනස් ආකාරයකින් සූදානම් වුණාද?
මට වැදගත් වුණේ Madam H ගෙ දේ හැඟීම් වටහා ගැනීම. මෙම චිත්රපටය දේශප්රේමය ගැන කතා කළත්, එය ඉදිරිපත් කර ඇත්තේ සැහැල්ලු හා හාස්යජනක ස්වභාවයකින්. යම් දර්ශනයක් සම්බන්ධයෙන් මට සැකයක් ඇතිවුණාම මම ඒ ගැන කුනාල් එක්ක සාකච්ඡා කළා. අධ්යක්ෂවරයා ලෙස, ඔහුට නිවැරදි අවබෝධයක් තිබුණා. ඒක වැදගත්. නමුත් ආරම්භයේ සිටම එක් දෙයක් පැහැදිලියි. මැඩම් එච් කරන සෑම දෙයක්ම සිද්ධවන්නේ ඇය තුළ රට කෙරෙහි ඇති ආදරය සහ ජාතියට යහපතක් වේ යැයි ඇය විශ්වාස කරන දේ කරන්න ඇය තුළ ඇතිවන පෙලඹවීම. ඇය ගන්නා ක්රියාමාර්ග හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ප්රශ්නාර්ථයක් ඉතිරි කරන්න පුළුවන්. සමහරවිට ඇය ඉතා හොඳ කෙනෙක් වගේ පෙනෙන්න පුළුවන්. මම නිතරම ඒ බව හිතේ තියාගත්තා. මෙම චරිතය දිහා සාම්ප්රදායික දෘෂ්ටිකෝණයකින් බලන්න බෑ. එම රිද්මය සහ ශක්තියම Madam H වෙත ගෙන එන්න මම උත්සාහ කළා. ඒ චරිතය ගැන මම ආසම ඇයට තියෙන හැඟීම් පරාසය. මම බොහෝ චරිත රඟපාලා තියෙනවා, ඒ සෑම එකක්ම මට යමක් ඉගැන්නුවා. නමුත් මැඩම් එච් මට එකවර ගොඩක් දේවල් ගවේෂණය කරන්න ඉඩ දුන්නා. ඇය නිර්භීත, හැඟීම්බරයි වගේම හාස්යජනකයි. සමහර අවස්ථාවලදී ඇය ආක්රමණශීලීයි. රට වෙනුවෙන් ඕනෙ දෙයක් කරයි. ඇගේ ගමන සරල නැහැ. තත්වය අනුව ඇගේ පෞරුෂයේ විවිධ පැති එළියට එන එක තමයි මේකෙ සැබෑ ආකර්ෂණය. මැඩම් එච් ලෙස රඟපෑම මට විනෝදජනක සහ අභියෝගාත්මක අත්දැකීමක් වුණා. ප්රේක්ෂකයින්ටත් ඒ දේවල් දැනේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.




