හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා
හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ චෝදනා මේ වන විට ජාත්යන්තර මාධ්යවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා. තෝමස් මර්කල් මීට පෙර වාසය කළ පිලිපීනයේ පිහිටා ඇති නිවසේ තිබූ විද්යුත් උපකරණවල ළමා ලිංගික අපයෝජන වලට අදාළ සාක්ෂි තිබුණ බවට චෝදනා එල්ල වී තිබුණ අතර ඒ සම්බන්ධයෙන් පිලිපීන බලධාරීන් විමර්ශන සිදුකරමින් සිටිනවා. මෙම චෝදනා ප්රසිද්ධියට පත්ව ඇත්තේ මේගන්ගේ අර්ධ සහෝදරයා වන කනිෂ්ඨ තෝමස් මාර්කල් (Thomas Markle Jr.) විසින් කළ ප්රකාශ හේතුවෙන්.
පිලිපීනයේ සෙබු (Cebu) ප්රදේශයේ පිහිටි තම පියාගේ නිවසේ තිබූ භාණ්ඩ පරීක්ෂා කිරීමේදී සැක කටයුතු ද්රව්ය හමු වූ බවත්, එම භාණ්ඩ අතර පැරණි ජංගම දුරකථන, පරිගණක උපකරණ සහ දත්ත ගබඩා කිරීමට භාවිත කළ හැකි විද්යුත් උපකරණ තිබූ බව වාර්තා වෙනවා. එම උපකරණවල ළමා ලිංගික අපයෝජනයට අදාළ ඡායාරූප සහ වීඩියෝ තිබූ බවට ඔහු පවසා සිටියා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ තම පියාගේ පැරණි ජංගම දුරකථනයක් පරීක්ෂා කිරීමේදී සැකයක් ඇති වූ බවත්, ඉන් පසුව තවත් උපකරණ පරීක්ෂා කළ බවත් සහ අනතුරුව මේ පිළිබඳව පිලිපීන බලධාරීන්ට දැනුම් දුන් බවයි. පිලිපීන අධිකරණ දෙපාර්තමේන්තුවේ උප ලේකම් නිකලස් ටයි (Nicholas Ty) පවසා සිටින්නේ, සෙබු ප්රදේශයේ මිනිස් ජාවාරමට එරෙහි සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා ලිංගික අපයෝජන හා සූරාකෑම් සම්බන්ධ කාර්ය සාධක කණ්ඩායම මෙම සිද්ධිය විමර්ශනය කරන බවයි. එමෙන්ම විමර්ශන සඳහා අවශ්ය අවස්ථාවල සහය පළ කිරීමට කැමති බව FBI ආයතනය ප්රකාශ කර සිටියා. කෙසේවෙතත් තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්රතිචාර දැක්වූ තෝමස් මාර්කල් එම චෝදනා දැඩි ලෙස ප්රතික්ෂේප කර තිබෙනවා.

මේගන් මාර්කල් තම දරුවන් වන ආචී (Archie) සහ ලිලිබට් (Lilibet) ඔවුන්ගේ සීයා වන තෝමස් මර්කල්ගෙන් ඈත් කර තැබීමට ගත් තීරණය පිළිබඳව ප්රසිද්ධියේ අදහස් දැක්වීමත් සමගින් මෙම සිදුවීම කෙරෙහි ජනතා අවධානය තවත් වැඩි වුණා. මේගන් පවසා සිටියේ මීට වසර කිහිපයකට පෙර සිටම තම පියා සම්බන්ධයෙන් බරපතළ චෝදනා පිළිබඳව තොරතුරු ලැබී තිබුණ බවයි. 2025 දෙසැම්බර් මාසයේදී මේගන් තම පියා රෝහලේ සිටියදී ඔහුට ලිපියක් යැවූ බවට තොරතුරු පළවෙනවා. තෝමස් මාර්කල් රෝහල් කාමරයකදී ලිපියක් ලබාගන්නා ආකාරය වීඩියෝ දර්ශනද ඇති අතර එහි මේගන් තම පියා සම්බන්ධ චෝදනා පිළිබඳව දැන සිටි බවත්, තම දරුවන් ඔහුට හමුවීමට ඉඩ නොදෙන බවත් සඳහන් කර තිබූ බව සඳහන්. ලිපිය ගැන විමසූ විට තෝමස් මාර්කල් පවසා සිටියේ එහි ලියා තිබූ දේවල් තමන්ට මතක නැති බවයි. මේගන් මාර්කල් සහ ඇගේ පියා අතර සම්බන්ධය බිඳ වැටී තිබුණේ ඇය හැරී කුමරු සමඟ විවාහ වීමට පෙර සිටමයි. ඔහු ඇයගේ විවාහ උත්සවයට සහභාගී වූයේත් නැහැ. තෝමස් මාර්කල් මෑතක සිට බරපතළ සෞඛ්ය ගැටලුවලට මුහුණ දී තිබෙන අතර ආඝාත තත්ත්වයක් සහ රුධිර කැටියක් සම්බන්ධ සංකූලතා හේතුවෙන් ඔහුගේ වම් පාදය කපා ඉවත් කර තිබෙනවා. මේ වන විට ඔහු ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ පුනරුත්ථාපන මධ්යස්ථානයක සිටින බවයි පැවසෙන්නේ.
අමේලියා ද සිල්වා
(Reuters ඇසුරිනි)



