ගැහැණු පිරිමියාම ආදරෙයි කියනකම් බලාගෙන ඉන්නවා – Mamitha Baiju
මලයාලම් සිනමාව තුළින් රංගනයට අවතීර්ණ වූ ඇය ඉන් ලද ජනප්‍රියත්වය ඔස්සේ කෙටි කලකින්ම කොලිවුඩයටද පා තැබුවාය. මමිතා බයිජු ගේ (Mamitha Baiju) විශේෂත්වය නම් ඇයගේ රංගනයේ වන ස්වභාවික බවයි. Premalu, Dude, Jana Nayagan, Bethlehem Kudumba Unit, A.R.M වැනි චිත්‍රපට රැසක රඟපෑ ඇය ඉන්දීය සිනමාවේ දැවැන්ත තරු වෙන සූරියා, නිවින් පෝලි, විජේ වැනි නළුවන් සමග රඟපාන්නට වාසනාවන්ත වූවාය. ඇයගේ නිහතමානී බව සහ ප්‍රේක්ෂකයන් සමඟ ගොඩනඟාගෙන ඇති සමීප සම්බන්ධතාවයද ඇයගේ ජනප්‍රියත්වයට හේතුවකි.
• 2026 වසර ගැන කතා කරන්න කලින් වසරක සංවත්සරය සැමරුව Dude චිත්‍රපටය ගැන කතා කරන්නම ඕනෙ. නොහිතුව තරමේ විශාල සාර්ථකත්වයක් ලැබුව ඒ චිත්‍රපටයේ කුරුල් (Kural) කියන චරිතය ඔබව එක රැයින් ජනප්‍රිය නිළියක් කළා. Dude චිත්‍රපටයෙ ඔබට වඩාත්ම මතක හිටින අත්දැකීම මොකක්ද? ඒකට හේතුව මොකක්ද ?
Dude චිත්‍රපටියේ මම කැමතිම ගීතවලින් එකක් තමයි “Oorum Blood”. ඒ ගීතය රූගත කරන අතරෙ අපි ගොඩක් විනෝද වුණා. ඇත්තටම අපි ඒක රූගත කරේ චිත්‍රපටියේ රූගත කිරීම් ඉවර වෙන්න කිට්ටුව. ඒ නිසාමද කොහෙද ඒක හරි විනෝදජනක අත්දැකීමක් වුණා. මට අමතක වෙන්නෙ නැති තැන තමයි කුරුල්, අගන්ට (Agan) “Unakenna pa, nee romba cool dude” කියන සමුගැනීමේ දර්ශනය. ඒ දර්ශනයට මම හොඳට සූදානම් වුණා. ඇත්තටම රඟපාන අතරතුරේ මම ඇඬුවා. ඒ නිසා ඒක හැමදාමත් චිත්‍රපටියේ මගේ ප්‍රියතම දර්ශනවලින් එකක් වේවි.

• VaS සහ BKU චිත්‍රපටි සඳහා ගිවිසුම් අත්සන් කරන විට, චිත්‍රපටි දෙකම එකම ප්‍රභේදයකට, එනම් වයස් පරතරයක් තියෙන ප්‍රේම කතා බව සහ එක ළඟ තිරගත වීම නිසා ඒවා එකම ආකාරයේ කතා විදිහට පෙනෙන්න ඉඩ තියෙනව කියල හිතුනෙ නැද්ද ?
මම BKU චිත්‍රපටියේ තිර රචනය ගැන මුලින්ම දැනගත්තේ අවුරුදු තුනකට විතර කලින්. ඒ වෙලාවේත් මට ඒකෙ රඟපාන්න ඕනෙ වුණා. නමුත් ඒ කාලයේදී ඒක සිද්ධවුණේ නැහැ. VaS චිත්‍රපටියට ගිවිසුම් අත්සන් කෙරුව කාලෙ, BKU වෙනුවට Premalu 2 චිත්‍රපටිය හදන්න නියමිත වෙලා තිබුණා. එතකොට BKU මගේ ලැයිස්තුවට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. VaS චිත්‍රපටයේ තිර රචනය ගැන ඇහුවට පස්සෙ ඒක BKU චිත්‍රපටියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බව මට දැණුනා. මගේ චරිතයටත්, චිත්‍රපටියේ සමස්ත පසුබිමටත් මම ඇත්තටම කැමති වුණා. ඒ නිසා මම ඒකට කැමති වුණා. පස්සෙ VaS චිත්‍රපටියේ වැඩ කරනකොට Premalu 2 අවලංගු කරලා ඒ වෙනුවට BKU නිර්මාණය කරන්න ප්ලෑන් කළා. අන්තිමේ චිත්‍රපටි දෙකේම තිරගත වීමේ දවස් එක ළඟ ආවා. ඒක මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමේ. නමුත් ඒක චිත්‍රපටි දෙකටම බලපෑමක් කළා කියලා මම හිතන්නේ නැහැ. වයස් පරතරයක් තියෙන ආදර කතාවක් වීම තමයි මේ දෙකේ පොදු ලක්ෂණය. ඒ හැරුණු විට, චිත්‍රපටි දෙකේ කතාන්දර, චරිත සහ සමස්ත ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස්.
චරිත දෙකම සංවේදීව සහ කල්පනාකාරීව නිරූපණය කිරීම ගැන හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
• නමුත් ඒක අද කාලයේදී තිරය මත නිරූපණය කිරීම හරි අවදානම් සහගතයි. වෙන්කි අට්ලූරි සහ ගිරිෂ් ඒ.ඩී. ඔබව මේකට එකඟ කරව ගත්තේ කොහොමද ?
චිත්‍රපටි දෙකේම තිර රචනා මට ගොඩක් දැනුණා. හේතුව චරිත සහ ප්‍රේම සම්බන්ධතා ගැන කල්පනාකාරීව සහ බුද්ධිමත්ව ලියා තිබීම. චරිත නිරූපණය කරලා තිබුණ සංවේදීබවට මම ඇත්තටම කැමති වුණා. අනිත් එක වයස් පරතරයක් තියෙන ප්‍රේම සම්බන්ධතා කියන්නේ මට අමුතු දෙයක් නෙමෙයි. මම සැබෑ ජීවිතයේදීත් ඒවගේ සම්බන්ධකම් දැකලා තියෙනවා. ඒවා අපේ අවට, සමාජයේ තියෙනවා. මේක සංවේදී මාතෘකාවක් වුණාට, අපි ජීවත් වන ලෝකයේ හැබෑවටම පවතින දෙයක්. ඒ හින්දා මේ කතා තේරුම් ගැනීමටත් ඒවත් එක්ක සම්බන්ධ වීමත් ලේසි වුණා.

• චිත්‍රපටි දෙකේදීම කාන්තාව තමයි ඉස්සෙල්ලම ආදරය ප්‍රකාශ කරන්නෙ. සාමාන්‍යයෙන් ඒක ඉන්දියානු සිනමාවේ දකින්න ලැබෙන දෙයක් නෙමෙයි. ප්‍රේම සම්බන්ධතාව ඉදිරියට ගෙන යන්නේ වීරයා නෙමෙයි වීරවරිය කියන වෙනස ගැන ඔබට සතුටක් දැනුණද ?
ඔව්. පිරිමි කෙනාට තමන්ගේ ආදරය ඉස්සෙල්ලම ප්‍රකාශ කරන චරිත රඟපාන්න මම ඇත්තටම කැමති වුණා. ඒක මේ චරිත දෙකේම මම විශේෂයෙන්ම කැමති ලක්ෂණයක්. මැඩී (Maddy) සහ ඈෂ්ලි (Ashley) දෙන්නම එහෙමයි. සාමාන්‍යයෙන් ඉන්දියානු සිනමාවේ අපි දකින්නේ පිරිමි චරිතය මුලින්ම ඉදිරිපත් වෙනවා, ගැහැණු පිරිමියා ඒක කියනකං බලාගෙන ඉන්නවා. නමුත් ආදරේ එහෙම වෙන්න ඕනෙ කියලා මම හිතන්නෙ නෑ. පිරිමියා හෝ ගැහැණිය වේවා, කවුරු හරි මුලින්ම ඉදිරිපත් වෙන්න ඕනෙ.. සැබෑ ජීවිතයේදීත් මගේ මිතුරියන් ඇතුළු මම වටේ ඉන්න ගොඩක් ගැහැණු එහෙම ඉස්සර වෙනව මම දැකලා තියෙනවා.
• ඔවුන් සමඟ වැඩ කරන්න කලින් සූරියාගේ සහ නිවින් පෝලිගේ ප්‍රියතම චිත්‍රපටි මොනවාද? එවැනි සුපිරි තරු සමඟ එකට වැඩ කරන්න සූදානම් වුණේ කොහොමද ?
සූරියා සර්ගේ චිත්‍රපටි අතරින් එකක් විතරක් තෝර ගන්න අමාරුයි. මොකද මම ඔහුගේ ගොඩක් චිත්‍රපටිවලට කැමතියි. මම කැමතිම ඒවා කිහිපයක් තමයි Sillunu Oru Kadhal, Aadhavan, Ghajini සහ Kaakha Kaakha. ඒව හැරුණම තව ගොඩක් තියෙනවා. නිවින් සර් ගැන කියනවා නම්, මම හිතන්නේ ඔක්කොම පටන් ගත්තෙ Thattathin Marayathu චිත්‍රපටි යෙන්. මම ඒක බැලුවෙ හතර වසරෙදි හරි පහ වසරෙදි හරි. ඒ චිත්‍රපටිය සහ ගීත නිසා කෙනෙකු ගැන මට ලොකු ආදරයක් ඇති වුණ බව මතකයි. ඊට පස්සෙ මම Ohm Shanthi Oshaana, Premam, Oru Vadakkan Selfie, Love Action-Drama ඇතුළු ඔහුගේ ගොඩක් චිත්‍රපටි බැලුවා. කැමරාවෙන් පිටතදී නම්, ඔවුන් ලොකු තරු නිසා ටිකක් අමාරුයි. ඔවුන් දකින විට අපටත් තරු ගැන ඇතිවන ඒ විශේෂ උද්යෝගය, විස්මය දැනෙනවා. නමුත් ඔබ කැමරාව ඉදිරියට ගියාම, “Action” කියනකොට හැමදේම වෙනස් වෙනවා. එතකොට ඔබ ඉස්සරහ ඉන්නෙ සුපිරි තරුවක් බව හිතෙන්නෙ නෑ. ඔබ ඔබට පැවරිලා තියෙන චරිතය රඟපානව විතරයි. ඔවුන් දෙදෙනාම ඉතාමත් පළපුරුදු අය. ඒ නිසා චරිතයට සහ දර්ශනයට අවතීර්ණ වීම ඔවුන්ට ස්වභාවිකවම සිදුවෙනවා. අපි රූගත කිරීම් කරන ස්ථානයට ගියාට පස්සෙ හැමදේම අමතක වෙලා යනවා. ඒ නිසා ඔවුන් දෙදෙනා සමඟම වැඩ කිරීම මට ඉතාමත් සුවපහසු අත්දැකීමක් වුණා.

• Bethlehem Kudumba Unit චිත්‍රපටිය මෑතකදී මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් මලයාලම් චිත්‍රපටිය බවට පත්වුණා. චිත්‍රපටියක මූල්‍යමය සාර්ථකත්වය ඔබට වැදගත්ද? එය ඔබ ඉදිරියේදී තෝරාගන්නා චිත්‍රපටිවලට බලපානවාද?
මම චිත්‍රපටියක් තෝරාගන්නකොට මුලින්ම බලන්නේ චරිතය ගැන. ඒ චරිතය මොකක්ද සහ කතාවට එයින් ලැබෙන දායකත්වය ගැන මම සලකා බලනවා. චිත්‍රපටියේ ප්‍රභේදය, කතාව සහ තිර රචනයත් මට වැදගත්. ඊට පස්සෙ මම කාර්ය මණ්ඩලය, අධ්යක්ෂවරයා සහ අනෙකුත් නළු නිළියන් ගැන සලකා බලනවා. මේ ඔක්කොම මම චිත්‍රපටියක් තෝරාගැනීමේදී සලකා බලන කරුණු අතරට ඇතුළත්. එය වාණිජමය වශයෙන් සාර්ථක වේවිද නැද්ද කියන එකට මම මුල් තැන දෙන්නේ නැහැ. නමුත් නිර්මාණය තිරගත වුණාට පස්සෙ ප්‍රේක්ෂකයන් ඒකට කැමති වෙලා වාණිජමය වශයෙන් සාර්ථක වුණොත්, ඇත්තටම අපි ගොඩක් සතුටු වෙනවා. ඒක ඒකට සම්බන්ධ වුණ හැමෝටම දැනෙන හැඟීමක්. චිත්‍රපටියකට ප්‍රේක්ෂකයන් කැමති වෙන හැමවෙලාවෙම අපි ඒ ගැන කෘතඥ වෙනවා.
• ඔබ Dude චිත්‍රපටියේ ඔබ එක්ක රඟපෑව ප්‍රදීප් රංගනාදන් එක්ක ඔහුගේ මීළඟ චිත්‍රපටයෙ රඟපාන්න සූදානම් වෙලා ඉන්නවා. මේ කතාව කොහොම වේවිද?
අපේ ඊළඟ වැඩේ ටිකක් වෙනස් එකක්. ප්‍රදීප් මේ චිත්‍රපටියේ නිෂ්පාදකවරයායි. මේ වතාවේ අපි දෙන්නා එකට රඟපාන්නේ නැහැ. මේක වෙනස් ප්‍රභේදයකට අයත්, සම්පූර්ණයෙන්ම වෙනස් විදිහෙ කතාවක්. මේ මොහොතේදී මට ඒ ගැන වැඩි විස්තර හෙළි කරන්න බැහැ. නමුත් ප්‍රේක්ෂකයන් මේකට කැමති වේවි කියලා මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා.

• මලයාලම් සහ දෙමළ භාෂාවලින් ඔබ ඉදිරියේදි රඟපාන චිත්‍රපටි මොනවද?
මලයාලම් භාෂාවෙන්, දිනෝජ් (Dinoj) අධ්‍යක්ෂණය කරන Hello, Dear චිත්‍රපටියට මම සම්බන්ධ වෙනවා. ඒකේ මාත් එක්ක සංගීත් ප්‍රතාප් (Sangeeth Prathap) රඟපානවා. දෙමළ භාෂාවෙන්, අධ්යක්ෂවරුන් හයදෙනෙකු විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටියක් තියෙනවා. එහි නම තවමත් රහසක්. ප්‍රදීප් රංගනාදන් නිෂ්පාදකවරයා. මම ප්‍රධාන චරිතය රඟපානවා.
• ඔබ ඉක්මනින්ම හින්දි චිත්‍රපටියකට සම්බන්ධ වන බවටත් ආරංචියක් තියෙනවා. ඒ ගැන අපට බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද ?
මම මුලින්ම හොයන්නේ හොඳ තිර රචනයක්. හොඳ හින්දි තිර රචනයක් මට ලැබුණොත්, මම අනිවාර්යයෙන්ම ඒ ගැන සලකා බලනවා. මට වඩාත්ම වැදගත් වෙන්නෙ කතාව සහ චරිතයයි.
• තමිල්නාඩු මහ ඇමතිවරයාගේ හදාගත් දියණිය විදිහට, ඔහුගේ අවසන් චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑම සුළුපටු දෙයක් නෙමෙයි. ඔබ එතැන් සිට ඔහු එක්ක කතා කරලා තියෙනවාද? ආයෙමත් ඔහුට “Ellaam Pugazhum” ගීතය ගායනා කරලා තිබෙනවාද?
මම විජේ සර්ගේ ලොකු රසිකාවියක්. ඒ නිසා ඒ චිත්‍රපටියේ කොටසක් වෙන්න ලැබීම හින්දා මට දැනෙන්නෙ මම හරිම වාසනාවන්තයි කියලා. චිත්‍රපටිය තිරගත වීමෙන් පස්සෙත් අපි අවස්ථා කිහිපයකදී කතා කළා. ඒ වගේම මම ඔහුට සුබ පතන්නත් අමතක කළේ නැහැ. ඔහු ඉතාම මිත්‍රශීලී කෙනෙක්. කොතරම් විශාල සුපිරි තරුවක් වුණත්, රූගත කිරීම් කරන ස්ථානයේදී ඔහු මාත් එක්ක කතා කළේ හරි සාමාන්‍ය විදිහට. හරියට මගේ වයසේ කෙනෙක් එක්ක, යාළුවෙක් එක්ක කතා කරනවා වගේ. ඒ නිසා ඔහු අසලදී මට පහසුවක් දැනුණා. ඔහු ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්, සුහද පුද්ගලයෙක්. ඔහුව හමුවෙන්න ලැබීම ගැනත්, ඊටත් වඩා ඔහු එක්ක එකම තිරය බෙදාගන්න ලැබීමත් ලොකු වාසනාවක් කියලා මට දැනෙනවා.




