ලංකාවේ සෑම පැය තුනකටම වරක් රිය අනතුරකින් මරණයක්
යුද ගිනි නිවී ගියද, ශ්‍රී ලංකාව අද වන විට මුහුණ දෙමින් සිටින්නේ ඊටත් වඩා බියකරු, එහෙත් කාටත් නොපෙනෙන තවත් එක් ලේවැකි සංග්‍රාමයකටය. ඒ වෙන කොහේවත් නොව, අප දිනපතා ගමන් බිමන් යන මහමගය. අද වන විට රට තුළ සිදුවන විශාලතම මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන ව්‍යසනය බවට මාර්ග අනතුරු පත්ව අවසන්ය. දිනෙන් දින ලෙයින් තෙත් වන අපේ මහා මාර්ගවල බියකරු යථාර්ථය වටහා ගැනීමට නම්, සාමාන්‍ය වචනවලට එහා ගිය නිල සංඛ්‍යාලේඛන දෙස ගැඹුරින් බැලිය යුතුය. ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා පොලිස් රථවාහන අංශයේ දත්ත ඇසුරින් සකසන ලද මෙම ගවේෂණාත්මක විශ්ලේෂණය මඟින් රටේ මාර්ග ආරක්ෂාවේ ඇති බිහිසුණු ඇත්ත හෙළිදරව් කරයි.
ශ්‍රී ලංකාවේ මහා මාර්ග තුළ සෑම පැය තුනකට වරක්ම අනතුරකින් එක් මිනිස් ජීවිතයක් රටට අහිමි වෙමින් පවතී. පසුගිය වසර කිහිපය පුරාම මෙම මරණයේ ගොදුරු බවට පත්වන සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති ආකාරය පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ දත්ත දෙස බැලීමේදී පැහැදිලි වේ. 2020 වසරේදී මාරක අනතුරු 2,242ක් සහ ඉන් ජීවිත 2,363ක් අහිමි වූ අතර, 2021 වන විට එය අනතුරු 2,452ක් සහ මරණ 2,557ක් දක්වා ඉහළ ගියේය. 2022 වසරේදී අනතුරු 2,420ක් සහ මරණ 2,540ක්ද, 2023 වසරේදී අනතුරු 2,231ක් සහ මරණ 2,341ක්ද වශයෙන් වාර්තා විය. එතැනින් නොනැවතී 2024 වසරේදී අනතුරු 2,403ක් සහ මරණ 2,521ක් දක්වාත්, 2025 වසර වන විට එය උපරිම තලයකට ළඟා වෙමින් මාරක අනතුරු 2,597ක් සහ අහිමි වූ මුළු ජීවිත සංඛ්‍යාව 2,746ක් දක්වාත් බියකරු ලෙස වර්ධනය වී තිබේ.

මෙම දත්තයන්ට අනුව පසුගිය වසර 5කට අධික කාලය තුළ පමණක් පුද්ගලයන් 15,068 දෙනෙකු මහමගදී අවසන් හුස්ම හෙළා ඇත. එමෙන්ම, වසරකට සාමාන්‍යයෙන් කුඩා හා විශාල අනතුරු 38,000ක් පමණ සිදුවන බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙන අතර, පසුගිය වසර පහක කාලසීමාව තුළ (2020 – 2024) පමණක් මුළු අනතුරු118,697ක් පොලිස් පොත්වල ලියැවී තිබේ. රථවාහන දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, මෙම අනතුරුවලට වැඩිපුරම ගොදුරු වන්නේ මාර්ගවල ගමන් ගන්නා වඩාත්ම අවදානම් සහගත පිරිස බවයි. ලෝක බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලින් 90%කට වඩා සිදුවන්නේ පාගමන්කරුවන්, යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ මගීන්ටය. පොලිස් මාධ්‍ය අංශයේ නවතම දත්ත පිරික්සීමේදී මරණවලින් වැඩිම පංගුව හිමිවන්නේ යතුරුපැදිකරුවන්ට සහ පසුපස ගමන් කරන්නන්ට වන අතර එය සමස්ත මරණවලින් 43%කි. දෙවනුව වැඩිම අවදානමකට ලක්ව ඇත්තේ පාගමන්කරුවන් වන අතර එය 32%කි. රියදුරන් සහ අනෙකුත් මගීන් මීට ගොදුරු වන්නේ 25%ක ප්‍රතිශතයකිනි. මීට අමතරව, අපේ රටේ පවතින අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හේතුවෙන් පමණක් වාර්ෂිකව අනතුරු 400ක් පමණ සිදුවන බව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නිල වාර්තාවලද දැක්වේ.
මාර්ග අනතුරක් නිසා සිදුවන මානුෂීය ඛේදවාචකයට නොදෙවැනි තවත් දැවැන්ත ආර්ථික විනාශයක් රටට සිදුවන බව බොහෝ දෙනෙකුට අමතක වී ඇත. ආසියානු ප්‍රවාහන නිරීක්ෂණාගාරයේ (ATO) දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් වසරකට සිදුවන සමස්ත ආර්ථික පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 3ක් (USD 3 Billion) පමණ වේ. මෙය ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය නිෂ්පාදිතයෙන් 3%කට සමාන අගයකි. සංසන්දනාත්මකව බැලුවහොත්, මුළු ශ්‍රී ලංකාවම සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කරන්නේද තම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1%ක් වැනි ප්‍රමාණයකි. අනතුරුවලින් මියයන හෝ ආබාධිත වන පිරිසෙන් බහුතරය වයස අවුරුදු 15-45 අතර පසුවන රටේ සක්‍රීය ශ්‍රම බලකාය වීම රටේ අනාගත ආර්ථිකය තවත් අගාධයකට ඇද දමන්නකි.




