මතක සමය – Seasoned
කොෆී ශොප් එක තුළදී තව ටික වෙලාවකින් ඇයට අම්මා මුණුගැහෙනු ඇත. උදුන අසල සිටගෙන සිටියදි ඔරලෝසුවේ හඬ ඇසුණි. පනීර් උණුසුම් තෙල්වලට වැටෙන විට රත් වූ අතර ඈ ඒවා පරිස්සමට අනිත් පැත්ත හැරෙව්වාය. කුඩා හතරැස් චීස් කුට්ටි රන්වන් පැහැයට හැරෙන විට වාෂ්ප ඉහළට නැඟුණි. පනීර් පෑන් එකෙන් ඉවතට ගත් ඇය ඒවා පේපර් ටවල්වලට දමා තෙල් ඉවත් කළාය. තවත් පෑන් එකක නිවිති තැම්බෙමින් තිබුණි. මෘදු රන්වන් පැහැයයට හැරුණ සුදුළූණු වල සුවඳ දැණුනි. ඇය ලිපෙහි දැල්ල අඩු කළාය. නැත්තම් කෑම ඕනෑවට වඩා කරවෙනු ඇත. අනතුරුව පනීර්වලට නිවිති කලවම් කළාය. අම්මා විශේෂ අවස්ථාවන්හිදී පලාක් පනීර් සාදන්නීය. ඉස්සර පවුලේ හැමෝම එකට එක්ව රෑ කෑම ගත්තෝය. රාත්‍රී ආහාරය සෑම සවසකම නැවුම්ව සකසා තිබුණි. රොටි, පනීර්, යෝගට්. ක්‍රමයෙන් ඇයට තේරුම් ගියේ අම්මා යුතුකමට මෙන් කෑම සකසන බවයි. කෑමවල ලුණු වැඩිපුර හෝ අඩුවෙන් ඇති දවස්වල ඈට වෙහෙසක් දැනෙන්නට ඇත. පාසලට දිවා ආහාරය ගෙන යෑමම අරගලයකි
“මට සැන්ඩ්විච් ඕන,”
ඇය කෑගැසුවාය.
“සැන්ඩ්විච්? පරාටා නෙවෙයිද? මම අද පලාක් පරාටා හැදුවා.”
කොළ පැහැති පරාටා ලස්සනට අසුරා තිබුණි. ළමා කාලයේ දී ඇයට අවශ්‍ය වූයේ පීනට් බටර්, ජෙලි, කෙචප් වල ගිල්වූ කුකුළු මස්, කුඩා භාජනයක දැමූ පැස්ටා වැනි දෑ ය.
“මට මේක කන්න බැහැ. බඩ පිරෙන්නෙත් නැහැ.”

ඇයට උවමනා වුණේ ක්ෂණික කෑමකි. එවිට ක්‍රීඩා කිරීමට වැඩිපුර කාලය ඉතිරි වනු ඇත. අම්මාට එය තේරුණේ නැත. අම්මා ඉන්දියාවේ හැදී වැඩී, ආහාර පමණක් නොව රසය සහ මිත්‍රත්වය පෝෂණය කළාය. සෑම කෑමක්ම සම්ප්රදායේ ප්රකාශනයක් විය. ඇය ඒවා ගැන ප්‍රීති වූ අතර, ඒ කෑම අනෙක් අයට ගෙන දුන් ප්‍රීතිය ඇගේ සැනසීම විය. තිරිඟු පිටි, කහ සහ අබ ඇට වලින් සාදන ලද මෘදු, සුවඳැති රොටි, අනුභව කිරීමෙන් පසු බොහෝ කලකට පසුත් රස අමතක නොවෙන රසකැවිලි සැකසීමට ඈ සමත්කම් දැක්වූවාය. පරම්පරා ගණනාවක් තිස්සේ මවගෙන් දියණියට භාර දී, පිළිගන්වන ලද හැම කෑමක්ම.
ඇය ඇගේ මවට රාත්‍රී ආහාරය පිසීමට එක් වරක් උදව් කර ඇති අතර එය ව්‍යසනයකින් අවසන් විය. ඒ රාත්‍රියේ ආහාරය සඳහා බත් හැර වෙනත් කිසිවක් නොතිබූ අතර, පිළිස්සී කැටි ගැසුණු පැණිරස උකු කීර් වල ඉතිරි කොටස් සහ කොත්තමල්ලි සහ අබ ඇට සමඟ මිශ්‍ර කර කළු පැහැයට හැරුණු, හැපෙන සුලු අර්තාපල් ඔවුන්ගේ භාජනවල ඇලී තිබූ අතර පසුව ඒවා පිරිසිදු කිරීමට සිදු විය. ඉන්පසු ඒ ගැන කිසි විටෙකත් කවුරුත්ම කතා කළේ නැත. අවසානයේ, ඇගේ පාසල් දිවා ආහාරය මයික්‍රෝවේව් උදුනේ පිසූ ආහාර බවට වෙනස් වී තිබුණි. ඇගේ සහෝදරයා විශ්ව විද්‍යාලයට ගොස් තිබූ අතර පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහ නිතිපතා සිදු නොවීය. ඇය තමන් වෙනුවෙන් ආහාර පිසීමට ඉගෙන ගෙන තිබුණාය. එක් දහවලක ඇය මුල සිටම ආහාර වේලක් සෑදීමට උත්සාහ කළාය. එදින අම්මා ඈ බැලීමට ආවාය.
“මොකක්ද මේ අවුල?”
ළූණු කපමින් ඇය අම්මා දෙස බැලුවාය.
“මම රෑ කෑම හදනවා.”
අම්මා විමතියෙන් ඈ දෙසත් උදුන දෙසත් බැලුවාය.
“ඔයා ලිප දිහා බලන්න ඕනේ. රස්නෙ වැඩියි.”
“මම දන්නවා ඒක එහෙම වෙන්න ඕනේ. ඒක උතුරනවා.”
“හපොයි, ඔය පිහියෙන් ළූණු කපන්න පුළුවන්ද?”
අම්මා මුළුතැන්ගෙයි තිබූ අපිරිසිඳු තුවා කිහිපයක් ගෙන කුණු කූඩයට දැමුවාය.
“ලාච්චුවේ ළූණු කපන්න හොඳ පිහියක් තියෙනවා. මේ පෑන් එකට යකඩ හැඳි හරියන්නෑ. ලී ඒවා පාවිච්චි කරන්න. උයලා ඉවර වුණාම මේක පිරිසිදු කරන්න.”

ඇය කුස්සියෙන් පිටව ගියාය. ඒ රාත්‍රියේ ඔවුන් නිහඬවම ආහාර ගත්තෝය. අවසානයේ ඇය ගමෙන් ආ අතර ආපසු හැරී බැලුවේ නැති තරම්ය. ඇය ලොව පුරා සංචාරය කරමින්, ඉවුම් පිහුම් කලාව ඉගෙනීමට අයදුම් කරමින් විදේශීය කෑම පිසීමට ඉගෙන ගත්තාය.
ඇය උදුන නිවා දමා, මුළුතැන්ගෙයි තුවාය මත දෑත් පිස දමා, ස්වෙටර් එකක් ඇඳ ගත්තාය. කොෆී ශොප් එකට පැමිණ පුටුවක ඉඳගෙන කැපචිනෝ එකක් ඇණවුම් කළාය. ඇය මේ කැෆේ එකට කැමතිය. මෘදු පියානෝ හඬ සහ නැවුම් කෝපි සුවඳ මුසු වූ එතැන නිස්කලංක තැනකි. කෝපි බඳුනෙන් දුම් දමද්දී ඈ වළාකුලක හැඩය ගත් කිරි සහ ක්‍රීම් දෙස බලමින් අම්මා හා කතා කරන දේවල් ගැන සිතුවාය. අවුරුදු ගණනක් ගෙවී ගොස් තිබූ අතර, නිහඬතාවය පරතරයක් බවට පත්ව තිබුණි. සංවාද, නැති වූ පුරුද්දක් බවට පත්ව තිබූ අතර ජීවිතය වඩාත් සංකීර්ණ වී තිබුණි. දොරට ඉහළින් සීනුව නාද වූ අතර ඇය අම්මා ඇතුළට එන බව දුටුවාය. හිස සහ බෙල්ල වටා ස්කාෆ් එකක් දමා සිටි ඈ අව් කණ්නාඩි දෙකක් පැළඳ සිටියාය. ඇය දුටු වහාම මද සිනහවකින් අම්මා ඈ අසලට ආවාය. ඇගේ කොණ්ඩය අළු පැහැයට හැරී තිබූ අතර, ඈ පුටුවක් ඇද ගත් අසුන් ගත්තාය.
“ඉතිං..”
ඔවුන් එකිනෙකා දෙස බලා සිටියහ. අවසානයේ ඇගේ මව කතා කළාය.
“මම අයියව බලන්න ගියා. එයාගෙ බබා ශෝක්. අඬන්නේ නැහැ.”
“ඔව්! එයා කියුට්. මට සතුටුයි එයාලා අලුත් ගෙදර ගෙදරට පදිංචියට ගිය එක ගැන.”
“ඔයා පොඩි කාලේ පාවිච්චි කරපු බඩු ඔක්කොම මම එයාලට දුන්නා, දැන් කාලේ ඔය වගේ හොඳ තත්ත්වයේ බඩු නෑනේ. ඔය දෙන්නගෙ දේවල් මම ඒකයි පරිස්සම් කරලා තියාගත්තේ .”
සංවාදය නැවතත් ඇණ හිටියේය. ඇය මේසය දෙස බලා සිටිමින්, එහි ලී මතුපිට ඇති රටා ගැන සුපරික්ෂාකාරී වූවාය.
“ගිය සතියේ මම එයාලත් එක්ක රෑ කෑම කෑවා,”
ඇය මවගේ දෑස් දෙස බලමින් පැවසුවාය.
“අනේ.. ඔයාලා දිගටම සම්බන්ධකම් තියාගන්න එක හොඳයි.”
ඒ වචනවල යම් තියුණු බවක් රැඳී තිබුණි. අම්මා කෝපි උගුරක් හෝ පානය කළේ නැත.
“මට තව ටිකක් ඔයාලට කතා කරන්න තිබුණා.”
ඇය පුදුමයෙන් හිස ඔසවා බැලුවාය.
“මමත් එහෙම කළේ නෑනේ.”
“ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට හදාගෙන තියෙනවා.”
ඔවුහු නැවතත් නිහඬ වූහ. ඇය කවුළුවෙන් එළියට බලා සිටියේ සිතිවිලි අතර අතරමංවය.
“අහන්න…”
ඇය කතා කරන්නට පටන් ගත් මොහොතේම අම්මා ‘ඔයා දන්නවනේ’ යැයි කතා කරන්නට පටන් ගත් නිසා දෙදෙනාම හිනැහුණෝය.




