කම්කරු නීති මළගම් යැවූ “මව්බිම” අර්බුදය
රටේ දූෂණ, වංචා සහ අසාධාරණයන් ගැන පෑන මෙහෙයවමින් ජනතාවගේ හඬ බවට පත්වූ මාධ්‍යවේදීන්ට, අද තමන්ගේම කුසගින්න වෙනුවෙන් මහපාරට බසින්නට සිදුව තිබේ. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අයත් ‘සිලෝන් නිව්ස්පේපර්ස්’ (Ceylon Newspapers) සමාගම යටතේ පළවූ ‘මව්බිම’ සහ ‘Ceylon Today’ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් මුහුණ දී සිටින ඛේදවාචකය, මෙරට කම්කරු නීතියේ සහ දේශපාලන බලඅධිකාරියේ නිරුවත පෙන්වන සැබෑ කැඩපතකි.


නීතියට ඉහළින් පියාඹන හයිය අනුරගේද ?
මාස ගණනාවක වැටුප් නොගෙවා, වසර ගණනාවක් තිස්සේ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ සේවක භාරකාර අරමුදල් (ETF) පවා වංචා කරමින්, අවසානයේ සේවකයන්ට ආයතන පරිශ්‍රයට පවා ඇතුළු වීම තහනම් කරන තරමට ටිරාන් අලස්ට හයියක් ලැබුණේ කෙසේද? සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු සේවකයෙකුගේ අර්ථසාධක මුදල් මාස කිහිපයක් පැහැර හැරියහොත් කම්කරු දෙපාර්තමේන්තුව වහාම නඩු පවරා දේපළ තහනම් කිරීමට පියවර ගනී. එහෙත් දේශපාලන බලය, ධනය සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති සබඳතා හමුවේ ඇතැම් හාම්පුතුන් නීතියට ඉහළින් සිටින බවට මාධ්‍ය සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් දැඩි ලෙස චෝදනා කරති. 2026 මාර්තු මාසයේදී ‘මව්බිම’ දිනපතා පුවත්පත හදිසියේ වසා දැමීමත් සමඟ සේවකයන් දැඩි අසරණභාවයට පත් වුවද, පාලනාධිකාරිය ඊට කිසිදු වගවීමක් දක්වා නොමැති බව සේවකයෝ පෙන්වා දෙති. එහි දෙවැනි අදියර ලෙස ‘ඉරිදා මව්බිම’ ද වසා දමා ඇත.

කම්කරු නීතිය බල්ලට ගොස්ද?
මෙරට කම්කරු නීති පද්ධතිය සකස් වී ඇත්තේ සේවකයාගේ අයිතිවාසිකම් සුරැකීමටය. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇතැයි පැවසේ. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මව්බිම ආයතනයට ගොස් විමර්ශන ද ආරම්භ කර තිබේ. එහෙත් විමර්ශන සහ නියෝග කොලවලට පමණක් සීමා වී, මාස ගණනාවක් ගතවීත් සේවකයන්ගේ අතට හිඟ වැටුප් නොලැබෙන්නේ නම් කම්කරු නීතියේ ඇති ඵලය කුමක්ද?

මෙම පූර්වාදර්ශය අතිශය භයානකය
ටිරාන් අලස්ට නීතිය ක්‍රියාත්මක නොවී, සේවකයන්ගේ වැටුප් සහ අර්ථසාධක මුදල් මඟහැර යෑමට හැකි වුවහොත්, අනෙකුත් පෞද්ගලික මාධ්‍ය ආයතන ද එම මාවතම තෝරා ගනු ඇත. හාම්පුතුන් ටිරාන් සරණ ගියහොත්, මෙරට සමස්ත වැඩකරන ජනතාවගේම රැකියා සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇත. ආණ්ඩුව ටිරාන් ළඟ නිහඩය. ජනපතිද ටිරාන් ලග නිහඩය. වත්මන් ආණ්ඩුව ටිරාන් අලස් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් ඔහුව ආරක්ෂා කරන බවට දුමින්ද නාගමුව ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් දැඩි චෝදනා එල්ල කරති. බලයට පත්වීමට පෙර වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ පාලකයන්, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ මන්දගාමී වන්නේ මන්දැයි විපක්ෂය සහ වෘත්තීය සමිති ප්‍රශ්න කරයි. කෙසේ වෙතත්, මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු දේශපාලන චරිතයකට හෝ ආයතනයකට විශේෂ සැලකිල්ලක් නොදක්වා, පවතින නීතිමය රාමුව තුළ මාධ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමට රජය මැදිහත් වන බවයි. නීතියට පටහැනිව ආයතන වසා දැමීමට හෝ සේවක අයිතීන් උල්ලංඝනය කිරීමට ඉඩ නොතබන බව ද ඔහු සඳහන් කර ඇත.




