එක් අඟහරුවාදාවක් – A Tuesday
මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට ලැජ්ජාවක් දැණුනි. විවේක කාලයේදී සීනුව නාද වූ වහාම වැසිකිලිය අසළට ගොස් කෙළවරේම වැසිකිලියට වැදී නොහැඬුවේ නම් මා බැලුමක් මෙන් පිපිරී යනු නිසැකය. කඳුළු නිමක් නැති වග පෙනෙන්නට තිබුණි. පිස දැමූ තරමට, ඒවා තව තවත් ගලා ගියේය. ප්‍රශ්නත් එසේම විය. ඇයි? ඇයි? මට මෙහෙම වෙන්න මම කළ වැරැද්ද මොකක්ද? ඒ දවස පටන් ගත්තේම නරකටය.
උදෑසන මට හොඳටම නින්ද ගොස් තිබුණි. වැඩමුරය අහවර වී තාත්තා ගෙදර එන වෙලාව. මා එය මතක තබා ගත යුතුව තිබුණි. පිටුපසට එල්ල වූ පා පහරකින් මා තිගැස්සී අවදි වුණේ ශාප කිරීම් අසමිනි. අවසානයේ බයිසිකලය ගෙයින් එළියට ගත්විට මට තරමක සැහැල්ලුවක් දැනුණි. ඊට ටික වේලාවකට පසු, පාසලේ ඉදිරිපස ගේට්ටුවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් හිඳිමින් මම අසරණව වටපිට බැලුවෙමි. සමහරවිට පාසලට නොයා ඕනෑම තැනකට ඇවිද යා යුතුව තිබුණ නමුත් කෙසේ හෝ මම එතැනට ඇවිත් තිබේ.

ඉන්පසු මම ඇයව දුටුවෙමි. ඇගේ පිග්ටේල්ස් වලට මම කැමතිය. සමහර දවස්වලට ඈ පෝනි ටේල් එකක් දැමූවත් මම එයට කැමති නොවෙමි. අද සමහරවිට මට ඈ සමග කතා කිරීමට හැකිවේවි. මම ඇගේ පන්තියේම වග ඈ දැන සිටියාය. ඒ දවස අද වනු ඇත. මම ඇය සමීපයට ගමන් කළෙමි. ඇය කවුදෝ සමග ඇවිදිමින් සිටියාය. ඇයට බොහෝ මිතුරන් සිටියි. මට කෝපයක් දැණුනි. වැසිකිළියෙන් එළියට ඒමට කලින් මගේ කමිසය පිරිසිඳු දැයි බැලුවෙමි. නාහෙට නාහන කොල්ලෝ රංචුවක් වැසිකිලියෙන් පිටතට වී සිටියෝය.
“Plumbing troubles?”
එකෙකු හඬනගා විමසූ අතර ඔවුන් හැමෝම මහ හඬින් හිනැහුණෝය.
“හොඳ ඩිනර් එකක් අරන් වගේ”
“ඉන්න… උදේ ඉඳලම ක්ලාස් එකෙන් ගඳක් ආවා. එතකොට ඔයාද ඒ? “
ඒ තවත් එකෙකි. ඉන්පසු ඔවුන් මහ හඬින් සිනාසීමට පටන් ගත්තේ නහය වසාගෙන, බඩේ අත් තියාගෙන, කෙඳිරිගාමින්, අසලින් යන අයව විනෝදයට පත් කරමින්. කළ හැකි කිසිවක් නොවූයෙන් මමද හිනැහුණෙමි. නමුත් මගේ හිත වෙනතක තිබුණි. ඔහු එතන හිටියේය. ඔහුවටා නිරතුරුවම කෙල්ලන් දැවටුණේය. ඔහු, අනෙක් පිරිමි ළමයින් සමඟ කිසි විටෙකත් පහත් ස්වරයකින් කතා නොකළේය. අවුරුදු 40 ක කෙනෙකු මෙන් හඬ නගා ව්‍යාජ උච්චාරණයකින් කතා කරමින් ගුරුවරුන්ට ගොට්ට අල්ලා ශිෂ්‍ය නායකකමත්, ක්‍රිකට් කණ්ඩායමේ මට හිමි තැනත් උදුරගත්තේය. සීනුව නාද වූ අතර කොල්ලන් මට නොයෙක් දේවල් කියමින් සමච්චල් කළෝය. මම නිහඬවම අසුනට ගියෙමි. ඇය දෙස බැලූවිට මගේ වේදනාව දෙගුණ තෙගුණ විය. සමහර විට අසනීප බව පවසා මෙතනින් පිටවීම හොඳය. දහවල් කාලයේදී ගෙදර එන විට තාත්තාත් මාව තේරුම් ගනීවි. ගුරුවරිය පන්තියට ඇතුළු වූ වහාම නිශ්ශබ්දතාවයක් ඇති විය. ඉන්පසු පන්තිය ඇරඹුණි.
“ආයෙ පාචනේ හැදෙන්න කලින් එලියට යන්න තියෙන අන්තිම අවස්ථාව. මල ජරාව!”
කිසිවෙකු මිමුණූ අතර සිනා හඬක් නැගුණි. එවිට මම එය දුටුවෙමි. ඇය අත ඉහළට ඔසවාගෙන, ලැජ්ජාශීලී සිනහවක් ඇතිව ඔහුට අතවැනූ අතර ඔහු ඈට දිව දිගු කළේය. ප්‍රතිචාර ලෙස ඈ හිනැහුණාය. මා ගැහෙන බව දැණුනි. මම මගේ වම් පැත්තේ සිටි කෙනාට හේත්තු වී

“කුරුල්ලෙක් අද මට රහසක් කිව්වා..”
යනුවෙන් මුමුණමින් කීවෙමි. මා අසල සිටි පිරිමි ළමයා ගුරුවරිය දෙස බලා අනතුරුව මා දෙසට හැරුණේය.
“මොකක්ද…. මොකක්ද?”
මම කිසිවක් නොකියා හිනැහුණෙමි. අසල සිටි පිරිමි ළමයා පන්ති කාමරයේ කළු ලෑල්ල සහ මදෙස බලා සිටියදී මම දිගටම සටහන් ලිව්වෙමි. අවසානයේ පිරිමි ළමයා නොඉවසිලිමත් වූ අතර මා දෙසට හැරුණේ,
“මොකක්ද? ඒ මොකක්ද?”
යනුවෙන් විමසමිනි.
“හරිම රසවත් දෙයක්”
“මම ඒ ගැන කතා කරන්නවත් හොඳ නැහැ.”
මම මිමුණුවෙමි. දැන් මම ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම ලබා ගත්තා.
“එහෙනම්, මට කියන්න.”
“මම දන්නේ නැහැ. මම කිව්වා වගේ, මම ඒ ගැන කතා කරන්නවත් හොඳ නැහැ.”
“ඒ අපි දන්න කෙනෙක්ද?”
“සමහර විට”
ඒ මොහොතේ මගේ ඇස් දිලිසුණි.
“එහෙනම්, මට කියන්න. කරුණාකරලා?”
“නමුත් ඔයා වෙන කෙනෙකුට කිව්වොත් මොකද කරන්නේ?”
“කාටවත් කියන්නෑ.. කරුණාකරල මට කියන්න, මම කාටවත් කියන්නේ නැහැ. දිවුරනවා.”
ඔහු දැන් මගේ වම් අතේ එල්ලී සිටියේය. මම ඔහු දෙස බලා කනස්සල්ලක් මවාපාමින්
“හරි.. මම මේක ඔයාට කිව්ව බව කාටවත් කියන්නේ නැහැ කියලා දිවුරන්න. එහෙම කළොත් මට කරදර කන්දක් වැටෙයි.”
“මම දිවුරනවා”
ඔහු මගේ අත අල්ලාගෙන මගේ අත මත අත තබමින් පොරොන්දු විය.
“කරුණාකරලා මට කියන්න.”
“දෙන්නෙක් යාළුවෙලා වගේ….”
මම මුමුණමින්, වහාම කට හරහා සිපර් එකක් වැසෙන ආකාරය අනුකරණය කළෙමි. මා අසල සිටි පිරිමි ළමයා මා දෙස බලා සිටියේය. ඔහුගේ හකු බිමට වැටීමට ආසන්නව තිබූ අතර, ගුරුවරයා කතා කිරීමට පටන් ගත් විට පන්ති කාමරය ඉදිරිපිටට ආපසු හැරුණි.




