සාරා – Between Acts
සින්ක් එක ආයෙමත් හිර වී තිබේ. ජීවිතේ හැටි! අපි එයට වත්කරන ජලයට වඩා සෙමින් වතුර බැස යයි. මම තාත්තාට කෑ ගැසීමට සිතා පසුව ඒ අදහස වෙනස් කරගමි. ඔහු පවසන දේ මම දැනටමත් දනිමි. මේ ගොළුබෙලි ගමනින් වතුර බසින වේගයටත් වඩා ඔහුගේ දේශනය නරකය.
“ඉවසන්න පුරුදු වෙන්න දරුවෝ. දැන් කාලේ ළමයි බලාගෙන ඉන්න විදිහ දන්නෙම නැහැ. ඒක හෙමින් සිද්ධ වේවි. හැමතිස්සෙම වගේ.”
ඊට පස්සේ 1970 ගණන්වල පකිස්ථානයේ ගෙවූ ජීවිතේ ගැන සුපුරුදු අතීතාවර්ජන. ඔහු නොකළ දේවල් ලැයිස්තුවක්. ඔහු තරම් මා දුක් විඳ නැති බව සැබෑවකි. මා එයට කෘතඥ වන නමුත් ජීවිතයේ සමහර දේවල්වලට ඉවසීම අදාළ නොවන වග තාත්තාට නොතේරේ. හරියට මේ කෙහෙල්මල් සින්ක් එක වගේ.
මම නැවත එය දෙස බලමි. වතුර බහින පාටක් නැත. දේවල් වැරදෙන්නේ ඇයි? ජීවිතය මට ඕනෑ අයුරින් ගත වුණේ නැත. දැන් මට වයස තිස් තුනකි. මම තනිකඩය. අවුරුදු එකොලහක්ම නාස්ති වී අවසන්ය. මාව ඉවත් කර දැම්මාට පසු, ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකින් දොට්ට දැමුවාට පසු මම නැවත අම්මලාගේ ගෙදරට ආවෙමි. ලෝකය මාව හිර කරලා තියන්න පුළුවන් නමුත් මම අද මෙයට ඉඩ නොදෙමි. දුරකථනය අතට ගන්නා මම සින්ක් එක පිළිසකර කරන ආකාරයේ වීඩියෝ පිරික්සමි. අම්මාගේ අල්මාරියට දුව ගොස් hanger එකක් ගෙන ආපසු එමි. hanger එක ගලවා සින්ක් එකට යවමි. වේගයෙන්. මොහොතකින් දසතම වතුර විසිරේ. ඒ වතුරට ආපහු සටන් කරන්න තරම් නිර්භීතකමක් ආවේ කොහෙන්ද? මේ අපිරිසිදු වතුර දැන් මට මෙලොව සිටින එකම හතුරාය. මම තවත් මිනිත්තු දෙකක් සින්ක් එකට පිහියෙන් ඇනගෙන සිටිමි. ප්‍රතිඵලයක් නැත. ඉන්පසු මම බෙරිහන් දෙමින් බිම ඉඳගමි. තත්පර කිහිපයකට පසු, දොරට මෘදු ලෙස තට්ටු කරන හඬක් මට ඇසේ.

“සාරා, ඔයා හොඳින්ද?”
අම්මා අසයි.
“ඔව්, අම්මේ”
මම දොර ඇරීමට සූදානමින් පවසමි.
“මේ මෝඩ සින්ක් එක”
අම්මා දොර අසළය. ඇගේ කට කොණක සිනහවකි. ඈ මා දෙස බලන්නේ ලොව සිටින විනෝදජනකම කෙනා මා මෙන් සිතාගෙනය. ඇගේ ඒ බැල්මත් සිනහවත් මම හොඳින් හඳුනමි. ඒ සිනහව අතීතයේ මාව හොඳටම කේන්ති ගැස්සවීය. ඇගේ ලෝකයම මම වීම ගැන මට දැණුනේ තරහකි. හුස්ම හිරවෙන බවකි. නමුත් දැන් වසර ගණනාවක, චිකිත්සාව,තෙරපි, හුස්ම ගැනීමේ අභ්‍යාසවලින් පසු මට ඈ සමග ලොකු තරහක් නොදැනේ. එය දිනුමකි.
“ඇයි ඔයා උදේ පාන්දර මේක කරන්නේ?”
ඇය දිලිසෙන දෑසින් යුතුව ප්‍රශ්න කරයි.
“මූණ හෝදගන්නනේ.. මට පරක්කු වෙනවා”
“හරි”
ඇය පවසයි. මම කුමක් කළත් ඇය මා දැකීමට කැමතිය. නමුත් අද මම වෙහෙසට පත්ව සිටිමි. මහළු කාන්තාව වාඩි වී මා දෙස බලා සිටී.
“ඉතින් ඔයා ඒක හදන්නේ කොහොමද?”
ඇය අසන්නේ හැබෑම කුතුහලයෙනි.
“මම hanger එක පාවිච්චි කළා.”
“ඒකෙ තියෙන ඒවා එළියට ගන්න??”
ඔහ්! මම සම්පූර්ණ වීඩියෝ එකම බැලුවෙ නෑනේ. එහෙන් මෙහෙන් බැලුව විතරයි.
“ඇත්තටම මම එහෙම කළා අම්මේ. මම මෝඩයෙක් නෙමේ.”
ඇය හිස වැනුවාය. මා තවත් කෝප වෙතැයි ඈ බිය වන්නට ඇත.
“ඔයා දන්නවද, මම අවුරුදු විස්සකට කලින් ඔය සින්ක් එකට මුද්දක් දැම්මා”
ඇය මගේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් පවසයි. මෙය අපේ නිවසේ සිදුවන සාමාන්‍ය දෙයකි.
“ඒ මගේ වෙඩින් එකෙන් ලැබුණ අන්තිම රත්තරං කෑල්ල. මගෙ අම්ම ඒක දුන්නෙ. පරම්පරාවෙන් ආව එකක්.”
මම ඊළඟ ජවනිකාව ගැන හිතමින් දුරකථනය දෙස බලා සිටිමි.
“ඔව්, මොකෝ මම නොදන්නෙ. ඔයා මේ ගෙදරටයි මේ සින්ක් එකටයි ඔයාගෙ ඔක්කොම රත්තරන් බඩු ටික විකුණලා දැම්මා.”

මම හිත් පිත් නොමැති සේ පවසමි. ඇය දෙස ඇස් කොනින් බලමින්ම. කොළ පැහැ සල්වාර් කමීසය ඇඳගෙන සිටින ඈ මදෙස බලන්නේ දුක්බර දෑසිනි.
“ඔව්, නමුත් අපි ඒ මුද්ද විකුණුවේ නැහැ. තාත්තා කිව්ව ඒක මගෙ ආසම ආභරණෙ නිසා ඒක තියාගන්න කියලා. ඉතිං මම ඒක තියා ගත්තා.”
බේකිං සෝඩා සහ උතුරන වතුර. ඒක සමහරවිට හරියයි.
“ඒක හොඳයි අම්මේ. මුද්ද නිසා මේක බ්ලොක් වුණා නෙමේනෙ..”
“නෑ, ඇත්තෙන්ම නෑ. ඒ මුද්ද හිරවෙලා ගොඩක් කල්.”
ඇගේ ස්වරය දුක්බරය.
“ඔයාට ආත්තම්ම මතක් වෙනවද? එයා දුන්න මුද්ද මේ”
“මට එයාව මිස් වුණා දුව. ඒත් මට දුකක් නෑ. දවසක මට එයාව ආයෙ මුණ ගැහේවි. “
“එහෙනම් ඔයා ඇයි එහෙම පෙන්නන්නේ?”
“කොහොමද ?”
“ඔයා ගත්ත හැම තීරණයක් ගැනම පසුතැවෙනවා වගේ.”
ඇය සිනාසෙයි.
“ඇත්තෙන්ම මම එහෙම කරන්නේ නැහැ. මම සතුටින් ඉන්නෙ.”
“බොරුකාරි. ඔයායි තාත්තයි එහෙම කරන විදිහ දැකලා මට එපා වෙලා. ඔයා හැමදේම හොඳයි කියලා මවාපානවා. අපි ඒක දකින්න බැරි කමකට නැති ළමයි විතරයි. මම දැන් ළමයෙක් නෙවෙයි අම්මේ. මම ලෝකය දැකලා තියෙනවා. කවුරුත් සතුටින් නැහැ. ඔයාට එහෙම වෙන්න බෑ කියලා මම දන්නවා.”
ඇය මා දෙස වික්ෂිප්තව බලයි.




