ආපසු හැරිය නොහැක – He Didn’t Look Back
මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට තෙමී අවසන් ය. වහලයේ කෙළවරින් වැසි වතුර වැටී ඔහුගේ දෙපා මුලට වැටුණි. සිහින් දිය පහරක් දෙපා අසලින් ගලා ගොස් පාරේ වූ පැල්මක් තුලින් අතුරුදන් විය. ඔහු සිය දෙපා අහකට ගත්තේය. ජේ අහස දෙස බලා සුසුමක් හෙළුවේය. ඔහුගේ බිරිඳ එදින උදයේ කුඩය ගෙන යන ලෙස දෙවතාවක්ම මතක් කළාය. දොර අසල සිටගෙන සිටි ඇය කොණ්ඩය බඳිමින්ම කුඩය ඔහුට දිගු කළේ හිනැහෙමිනි. ඔහු වෙනත් කල්පනාවක සිටියද ඈ හා හිනැහුණි.
ජේට අදත් බස් රථය මග හැරී ඇත. හෙට දිනයට නියමිත වාර්තා වගයක් සකසන්න වුණ නිසා අද වැඩ අහවර වෙනවිට පමා වී තිබුණි. කාලය නොදැනිම ගතවිණි. ඔහු විවාහ වී මාස පහක් ගෙවී ගොස්ය. හැම දිනයක්ම ඒකාකාරීය. හැමදාමත් වැඩ. ඔහු නිවසට එන්නේ හොඳටම හෙම්බත්වූවාට පසුවයි. දැන් ඔවුන් අතර පෙර සේ කතාබහක් සිදු නොවේ. ඈ ගැන දැනෙන ආකර්ෂණයද පහව ගොස් ඇත. කෝපයක්වත් නොදැනේ. තෙහෙට්ටුවම පමණි. නමුත් ඔහුගේ සිත දහසකුත් එකක් සිතිවිලිවලින් බර වී තිබුණේය.

බස් නැවතුම්පොළේ සෙනග පිරී සිටියද එතන පැවතියේ අමුතුම නිහඬ බවකි. මිනිස්සු කුඩ යටට වී දුරකථන තිරය දෙස හෝ වැස්ස දෙස නෙත් යොමා ගෙන සිටියි. කුඩා දරුවෙක් වැස්ස හා සෙල්ලම් කරයි. කොහේදෝ ඈතක ස්පීකරයකින් කිසිවක් නිවේදනය කරනු ඇසුණි. ජේ ඩිජිටල් පුවරුව පරීක්ෂා කළේය. ඊළඟ බස් රථය ප්‍රමාද වනු ඇත. ඒ මොහොතේ ඔහුට කෙටි පණිවිඩයක් ලැබුණි.
“ඔයා බස් එකට නැග්ගද?”
ඔහු මොහොතක් දුරකථන තිරය දෙස බලා සිටියේය. ඇගේ වචන සරලය. හුරුපුරුදුය. හැමදාමත් එක වගේ. ඔහු පිළිතුරක් ටයිප් කර අනතුරුව එය මකා දැම්මේය. නගරයේ ගෙවල් කුලී ඉහළ නිසා ඔවුන්ට නගරයට ඈතින් පදිංචි වීමට සිදුවිය. හැම දවසකම බස්වල එමින් යමින්. හැම රැයකම පමා වෙමින්. සංවාදයක් හෝ නොමැතිව දින ගෙවී ගියේය. අදත් ප්‍රමාදයි. යමෙක් ඔහු අසලින් ඉඳ ගත්තේය. හිස ඔසවා බැලූ ඔහු පුදුමයට පත් විය. ඒ රියා ය.
ලෝකයම නතරවූවාක් සේ දැනුණි. මොහොතකට වර්ෂාවේ ශබ්දය මැකී ගියේය. ඔහුගේ මුව ගොළු විය. ඇයව මේ දකින්නේ වසර පහකට පසුවයි. ඇය ඇගේ බෑගය අහුරාගෙන ඔවුන්ගේ නවාතැනින් පිටව ගොස් වසර පහක්ම ගෙවී තිබේ. රියා ඔහුට පැවසුවේ දෙමාපියන් තෝරා දුන් කෙනා සමගින් විවාහ වන බවයි.
ඔහු නැවතත් ඈ දෙස බැලුවේය. ඔවුන් අතර ඇති අවකාශය වඩාත් කුඩාවනු දැණුනි. ඇය ඔහුව හඳුනාගෙන තිබුණාය. හැඟීමක් මුහුණෙන් නොපෙන්වා ඈ අසුනටම ඇලී සිටියාය. රියා පාර දෙස නෙත් යොමා උන්නාය. ඇය වෙනස්වී ඇත. වසර පහකින් වයසට ගියත් ඒ ඇයමය. අතීතයේදීත් කුමක් කිව යුතුදැයි නොදන්නා විට ඈ සිටියේ මෙවැනිම නිහඬතාවයක ගිලෙමිනි.

ඇගේ දෑත් උකුල මත රැඳී තිබුණි. එවිට ජේ එය දුටුවේය. බ්‍රේස්ලට් එක. ඇගේ විසිවන උපන්දිනයේදී ඔහු ඇයට දුන් තුනී රිදී දම්වැල තවමත් ඇගේ මැණික් කටුව වටා රැඳී තිබුණේය. කාලයත් සමග පැහැය අඩුවුවත් එය වියැකී නොගොස් පෙර සේම පැවතුණේය. ඔහුගේ උගුර තද විය. කුඩා සාප්පුවකින් ඔහු එය මිළට ගත්තේ එය ඕනෑවට වඩා සරලදැයි කල්පනා කරමිනි. ඇය හිනැහෙමින් එය පැළඳගත්තාය. ප්‍රශ්න අනාරාධිතව මතු විය. ඇය කවදා හෝ ඔහු ගැන සිතුවාද? ඇය ඒ ගැන පසුතැවිලි වුණාද? ඈ තවමත් ඔවුන්ගේ අතීතය ගැන සිතනවාද? ඔහුගේ දුරකථනය හැඬවුණි. මේවතාවේ ඔහු එය එළියට ගත්තේ නැත.
ඔහු අසලින් බස් රථයක් නතරවුණි. ජේ සෙමින් නැගී සිටියේය. තම දෙපා ගල්ව ඇතිබව දැණුනි. මොහොතකට, ඔහු සිටගෙන සිටියේය. තීරණයක් ගත නොහැකි අයුරින්. ඇය හා කතා කරන්නේ කෙලෙසද? ආචාර කිරීමක්, පිළිගැනීමක්? දැන් තම ජීවිතය ගැන ඇයට පැවසිය හැක. විවාහය. මහල් නිවාසය. රැකියාව. ඇය ආචාරශීලීව සවන් දෙමින් තමා ගැනත් පවසනු ඇති. නමුත් ඔහුට දුරස්ථ බවක් දැණුනි. මෙය හරස් මාර්ගයක් නොවේ. එය බාධාවක් පමණි. ඉදිරියට ඇවිදගෙන යන විට ඔහුව තෙතබරියම් වුණි. ජේ නැවත හැරී බැලුවේ නැත. වැස්ස තවත් තදින් ඇද හැළුණි. වැහි වතුර ගෙල දිගේ ගලා ගොස්, ඇඳුම තෙත් කළේය. අවට බොඳ වී පෙණුනි. ජේ කුලී රථයක් නතර කර ගත්තේය. අසුනට හේත්තු වී සෙමින් හුස්ම ගත්තේය. කුලී රිය වැසි වතුරෙන් සහ විදුලි එලිවලින් නැහැවුණු නගරය පසුකර ගමන් ගත්තේය. සාප්පු වසා දමා තිබුණි. මිනිස්සු කඩිමුඩියේ නිවෙස් කරා ගියෝය. ඔහු දුරකථනය අතට ගත්තේය. බිරිඳගේ පණිවිඩය එලෙසම තිබුණි.
“ඔයා බස් එකට නැග්ගද?”
“නෑ. මේ එන ගමන්…”
විරාමයක්. නැවත පණිවිඩයක්.
“හරි, මම කෑම ටික මේසෙට ගේන්නම්..”




