NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 06

Hima Mal Renu හිම මල් රේණු – 06

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

නදීරා කතා කරන තුරු මම බලා සිටියෙමි. ඔවුන් දැන් මිතුරන් නොවීමට හේතුව කුමක්ද ? කුමක් හෝ බරපතළ දෙයක් නම් සිදුව ඇති බවට සැකයක් නැත. එයත් අවීශ් ගේ උඩඟු කම නිසා සිදුවූවක් විය හැකිය.

“අවීශුයි තේෂානුයි මොනවා හරි දේකට හොඳටම සණ්ඩු වෙලා තියනවා….ඊට පස්සේ දෙන්නා අතරේ කතාවක්වත් නැහැ….”

“ඉතින් …හේතුව මොකද්ද ……? ”

“ඒක කවුරුත් දන්නේ නැහැ… දෙන්නාගෙන් කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ… ”

“කෙල්ලෙක් නිසා වෙන්නැති….”

උපහාසය මුසුව මම කීවෙමි.

“අපෝ නැහැ…ඒක නම් වෙන්නම බැරි දෙයක්…කෙල්ලෙක් නිසා ඒ දෙන්නා තරහා වෙයි කියලා හිතන එකත් විහිළුවක්… අනික ඉතින් අවීශ් කෙල්ලො පස්සෙ යන ජාතියේ කෙනෙකුත් නෙවේනේ… පේන්නැද්ද… ආඩම්බර කම….හැබැයි කෙල්ලො නම් එයා පස්සෙන් යනවා…. ”

නදීරා එසේ කියා සිනහාසුණාය.

“අපෝ…ඒ කොණ්ඩ කුරුල්ලා පස්සෙනුත් කෙල්ලො යනවද…? ”

නදීරා එයට පිළිතුරක් නොදුන්නේ අප අසළට ආ තෙෂාරලා නිසාය. ඈ මා හිස සිට දෙපතුළ දක්වා අවඥා සහගත බැලමක් හෙළා කට කොණින් පෑවේ ද එවන්ම සිනහාවකි.

“හරි උඩින් නේද යන්නේ…? ”

ඇගේ හඬේ වූයේ මා නොරුස්සනා මුසු බවකි.

“උඩ යන්න මං බැලුමක් නෙවේ….හැබැයි ඉතින්….ඔය බැලූන් වගේ හුළං බිම්බුණ අය නම් උඩ යද්දී ” ඩොග් ” ගාලා පුපුරලා යයි ඒ නිසා පරිස්සමෙන් …”

තෙෂාරාගේ මුහුණ කෝපයෙන් අඳුරුව ගිය අතර ඇගේ දෑස් කෝපයෙන් දිලිසිණ.

“කවුද බැලුම … මමද…? ”

“තොප්පිය හරි නම් දාගන්න…. ”

මුව කොණින් සිනහාවක් නඟමින් මම කීවේ ඇයව තඹයකට හෝ මායිම් නොකරමිනි.

“අහක යන තොප්පි දාගන්න මට ඕන නැහැ….හැබැයි එක දෙයක්….අශූගෙන් ඈත් වෙලා ඉන්නවා….මම දැක්කා ඊයෙත් දුවන් ගිහින් අතේ එල්ලෙනවා…”

“ඉතින්…ඇයි ඔයා ඇවිත් අනික් අතෙන් එල්ලුනේ නැත්තේ…? ”

“මොකක්ද කිව්වේ….? ”

ඈ තර්ජනාත්මක බැල්මකින් මා අසළට තවත් ළං වූවාය.

“මේ…තෙෂාරා…පාඩුවේ ඉන්නවද…අවීශ් ගෙන් ඈත් වෙලා ඉන්න කියන්නේ…මොකද ආරණ්‍යා අවීශ්ගේ කරේ එල්ලෙන්න ගියේ නැහැනේ….අනික එහෙම කියන්න ඔයා එයාගේ කවුද..?”

නදීරා ද මැදට පනිමින් කීවේ ඇයව නිරුත්තර කරමිනි.

“අශූ කියන්නේ මගේ ක්‍රෂ් එක…ඔයා ඒක දන්නේ නැද්ද …? ”

“ඔයාගේ ක්‍රෂ් එක ඔයා පරිස්සමෙන් තියාගන්නකෝ….අනික අවීශ් ඔයාව කෙයාර් කරන්නෙවත් නැහැනේ…”

නදීරා උපහාසයෙන් කීවාය.

“ඒක මං බලා ගන්නම්….මෙයාට කියලා දෙන්න මං කවුද කියලා…”

ඈ නදීරා ටද තර්ජනාත්මකව පැවසුවාය. රොසෙටා ඇයව ඇයව අතින් ඇද්දේ අවීශ් එන බව කියමිනි.

“එයාට කෙල්ලෝ කියන්නේ ටෝයිස් වගේ….එයාගෙන් ඈත් වෙලා ඉන්න තරමට….ඔයාටත් හොඳයි..තේරුණාද….? පස්සේ මම නොකීවා කියන්න එපා…”

“බොහෝ…ම ස්තුතියි….මතක් කළාට…ඔයාත් එයාගේ ටෝයි එකක් වෙන්නැති…නේද …?

ඈ යාමට හැරෙමින්, යළි මා දෙස බැලුවාය.

“වට් ඩු යූ මීන්….?”

“ඇයි තේරුණේ නැද්ද…? පස්සෙ තේරෙයි… ”

රොසෙටා ඇයව ඇදගෙන ගියාය. අවීශ් සමඟ පන්තියට ගොඩ වූ ටිරෝන් මා දෙස බැලුවේ නෙරවා ගත් දෑසිනි. මම ඔහු දෙස බලා මඳහසක් පෑවද ඔහු රවමින් ඉවත බලා ගත්තේ මා මුවේ සිනහාව පුළුල් කරමිනි.

“එයා ට්‍රයි වුණාට….අවීශ් එයාව ගණන් ගන්නෙවත් නැහැ….”

නදීරා ඒ අස්සේ කීවාය. ඉන් මට ඇති කාරියක් නැතැයි මම සිතුවෙමි.

පාසල දැන් දැන් උද්‍යෝගය ඇති කරවන සුලු තැනක් බවට පත්ව තිබිණ. ළමුන් පවා එකිනෙකාට වඩා වෙනස්ය. ගමේ පාසලේ නම් අපි සැවොම එකා මෙන් සිටියෙමු. එක බත් මුල සියලු දෙනම බෙදා හදාගෙන කෑවෙමු. මෙහි එසේ නැත. විවේක වෙලාවට සියල්ලෝ ආපනාශාලාවට දිව යන්නේ එකෙක් පරයා දිනන අදහසිනි. කන දෙයක් වුවද බෙදා හදා ගැනීමක් නැත.

මම අවීශ් ප්‍රිය කළෙමි. ඔහුගේද නුහුගුණ නොතිබුණා නොවේ. නමුත් ඔහු කුතුහළය පිරි ගුප්ත චරිතයක් මෙන්ම අවසානය කුමක් වේදැයි නොදැන කියවන කුතුහළාත්මක නව කතාවකැයි කියාද මට සිතිණ. තෙෂාරාද අමුතුම චරිතයකි. කට කොණින් පාන සමච්චල් සිනහාව නැතිව ඇයට වෙනස් අයුරින් සිනහාසිය නොහැකිදැයි මම බොහෝ විට සිතුවෙමි. එසේ වූවා නම් ඇයත් පියකරු යුවතියකි. ඈ නංගී මෙන් දඟකාර නැති මුත් අහංකාර, උද්දච්ච එකියක වූවාය. ඇගේ සහචරයන් දෙදෙනාද එසේමය. තේෂාන් මා සමඟ ඉතා ඉක්මනින් හිතවත් විය. මම ඔහු ප්‍රිය කළෙමි. ටිරෝන් තවමත් මා කෙරෙහි පසු වන්නේ කෝපයෙනි. මම එය තැකීමක් නොකළෙමි. මම ඔහු දකින විට සිනහාසුණද ඔහු මට රැව්වේය. සිනහාවෙන් රළු මිනිසෙකු වුවද ජය ගත හැකි යැයි මා අසා තිබූ කතාව මුසාවක්ද කියා මට නොසිතුණා නොවේ. නමුත් මම බලා සිටිමි. කිසිවෙකු තරහා කරගැනීම මගේ බලාපොරොත්තුව නොවේ. තෙෂාරාත් ඇගේ මිතුරියනුත් ගසට පොත්ත මෙනි. ඔවුන් තිදෙනම එක සමාන ගති පැවතුම් ඇති අය වූහ. එක ජාතියේ කුරුල්ලෝ එකට වසති යන කියමන සත්‍යයක් විය.

දින කිහිපයක් නිහඬව ගෙවී ගිය අතර රැවිළි, එරවිළි, ගැස්සිලි පිප්පිලි, ඇනුම්පද සමච්චල් සහගත සිනා හැරුණු කොට කිසිවෙකු මා සමඟ කතා බහ නොකළාක් මෙන්ම හිතවත් කමක්ද නොපෑවෝය. නදීරා මගේ හොඳම මිතුරිය බවට පත්ව සිටියාය. තේෂාන්ද මිතුරුය. අන් අයගෙන් යහපත් ප්‍රතිචාරයක් නොවූවද මම තැකීමක් නොකළෙමි. සියල්ලටම කාලය වුවමනාය.

අවීශ් ගේ කොණ්ඩය දකින විට නම් මට ඉසුළුම් නොදුන්නේය. හිස පීරා ගැනීමට පනාවක් ගෙනවිත් දීමට තරම් සිතුණු අවස්ථා බොහෝය. ඉගැන්වීම් කිරීමට පැමිණි ගුරුවරුන් පවා ඔහු පිළිබඳව තැකීමක් නොකළේ එවැන්නෙකු සිටින බවට හෝ නොදුටුවාක් මෙනි. ඔහුද කිසිවෙකු පිළිබඳව තැකීමක් කළා යැයි කියා මම නොසිතමි.

එදින සිකුරාදාවකි. විවේක කාලය එළඹුණ සැණින් ළමුන් සියලු දෙන එක පොදියට පිටතට දිව ගිය අතර මාත් නදීරාත් කළඹලයක් නැතිව සෙමෙන් පිටතට පැමිණියේ විවේක වෙලාවේදී කෑමට ගෙනා බත් මුල අපි උදෑසනම කෑමට ගෙන තිබූ නිසාය. පාසල වටා සක්මනක යෙදී අපි අරමුණකින් තොරව ආපනශාලාව දෙසට ඇවිද ආවෙමු. එය කඩි ගුළක් මෙන් දිස් විය. සිගරට් දුමක් නාසයට දැනුණ නිසා මම වටපිට බැලුවෙමි.

අවීශ් පෙර දින දුටු ස්ථානයේම ඒ අයුරින්ම හිඳ දුම් පානය කරමින් සිටිනු දැක මා සිතේ ඇති වූ කෝපය මට නවතා ගත නොහැකි විය. ඔහුගේ සහචරයන් ද ඔහු පසෙක සිටියේ ඔහු කරන දේ නොදුටුවාක් මෙනි. ඔවුන් කිසිවෙකු එසේ දුම් පානය කරන බවක්ද පෙනෙන්නට නොවීය. ඇසිල්ලකින් අවීශ් අසළට දිව ගිය මම ඔහුගේ අතින් සිගරට් කොටය උදුරාගෙන එය බිම දමා පෑඟුවේ ඔහුටද කිසිත් සිතා ගත නොහැකි වන ලෙසිනි. ඔහු මා දෙස බලා සිටියේ විදහා ගත් දෑසිනි. එහි කෝපයක් සටහන්ව තිබුණාදැයි කියා මට නිසිලෙස පැවසිය නොහැකි මුත් ඔහු පුදුමයෙන් සිටි බව නම් සහතිකය.

“හේයී…හේයී…මේ… මොකද මේ…?”

මගේ උර මතින් අල්ලා මා තමා දෙසට හරවා ගත් ඒ හඬ ටිරෝන්ගේය. මම ඒ දෑත ගසා දමා යළි අවීශ් වෙත හැරුණේ ටිරෝන් නොසළකාය.

“මේක ඉස්කෝලයක් මිසක්…ඔයා රෑ තිස්සෙ යන නයිට් ක්ලබ් එකක් නෙවේ…සිගරට් බොන්න ඕන නම් ඒක ගෙදර ගිහින් කරගන්න…”

අවීශ් විදහා ගත් දෑසින් මා දෙස බලා සිටින විට ටිරෝන් මට යළිත් බාධා කළේය.

“මේ හලෝ…ඔයා කාටද කතා කරන්නේ කියලා දන්නවද…? අනික ඔයා කවුද ඔහොම කතා කරන්න….? අලුතින් ආව මෙයාට මෙතන රූල්ස් ගැනත් කියලා දෙන්න වෙලා වගේ…”

ඔහු උපහාසයෙන් මෙන් එක දිගටම කියවගෙන යන විට මමද ඔහු දෙස එක එල්ලේ බලා සිටියෙමි.

“දැන් ඔයා මැද්දට පැන්නේ ඔයා මෙයාගේ යාළුවා නිසාද …?”

“ඔව්…අපි මෙයාගේ යාළුවෝ තමා දන්නවාද …? නිකන් යාළුවෝ නෙවේ බොක්කේ යාළුවෝ ….”

මම අවීශ් දෙසට නැවත හැරුණෙමි.

“මෙයාලා ඔයාගෙ යාළුවොද…? ”

මම එසේ ඇසුවේ එයට ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. ඔහු නිහඬව මා දෙස බලා සිටි අතර ඒ සිතේ කුමන සිතුවිල්ලක් තිබුණාදැයි කියා මට සිතා ගත නොහැකි විය. මා සිටියේ උතුරා හැළෙන කෝපයෙනි.

“මෙයාලා…ඔයාගේ බොක්කේ යාළුවෝ වෙන්නැති අවීශ්….නිකන් කන්න බොන්න හම්බෙන නිසා….හැබැයි ඒ යාළුකම තියෙන්නේ පෙනහළු වල නම්…ඔයා කරන දේ බලාගෙන සද්ද නැතුව ඉන්නේ නැහැ නේද…? ඔය පෙනහළු දෙක ලෙඩ වෙද්දී යාළුකම් කොහේ තියේද දන්නේ නැහැ… ඇත්තම යාළුවෝ නම් ඔයාට අනුබල දීගෙන බලන් ඉන්නේ නැහැනේ….ඔයා හිතනවද මෙයාලා හැමෝම ඔයාගේ යාළුවෝ කියලා…? වරදක් කරනවා දැක දැක ඒක නොදැක්කා වගේ අහක බලන් ඉන්නේ බොක්කේ යාළුවෝ වෙන්න බැහැ… මෙයාලා යාළුවෝ නෙවේ… මිනිමරුවෝ….තව කෙනෙක් විනාශ වෙන්න ඇරලා…ඒවට උල්පන්දම් දීලා… ඒ දිහා ඇස් කන් ඇරන් බලන් ඉන්න අයට කියන්නේ යාළුවෝ නෙවේ… හතුරෝ… බලන්න ඔයා දිහා…ෂර්ට් එකේ භාගයක් එළියේ…බොත්තම් දාන් ඉන්නේ භාගෙට…අත් කොට ෂර්ට් එකෙත් අත් නවාගෙන….”

මම එසේ කියමින් කම්සයේ අත් දිගහැරියෙමි.අවීශ් එයට විරුද්ධත්වයක් නොපෑවේය.

“කොලර් එක උස්සන්…රබර් කෑලි දෙකක් දාන් ඉස්කෝලේ එන්නේ කඩේ යනවා කියලා හිතාගෙනද…? බලන්නකෝ ඔයාගේ බොක්කේ යාළුවන්ගේ පිළිවෙළ…කොණ්ඩ කපලා…ෂර්ට් යට කරන්…ෂූස් දාලා ඉස්කෝලෙට එන්නේ…ඒ බොක්කේ යාළුවෝ ඔයාට කියලා තියනවද කවදාහරි ඔහොම ස්කූල් එන්න එපා කියලා…නැහැනේ …? ”

ඔහු වටේ සිටි සහචරයන් සියල්ලෝ බිමට යොමා ගත් හිස් වලින් යුතුව නිහඬව සිටියෝය.

“මෙයාලා කවුරුත් ඔයාගේ යාළුවෝ නෙවේ අවීශ්…එයාලට කවදාවත් හොඳ යාළුවෝ වෙන්න බැහැ….බොක්කේ යාළුවෝ පෙනහළු ලෙඩ වුණ දාට ඔයාව දාලා ගිහින්…හොඳ යාළුවෝ නම් ඔයාගේ වැරදි පෙන්නලා දීලා…නිකන් නෙවේ කනට දෙකක් ගහලා…අන්න එහෙමයි ඇත්තටම බොක්කේ යාළුවෝ…මෙයාලා තමන්ගේ වාසියට පාට වෙනස් කරන කටුස්සෝ… එයාලා කැමති ඔයාට නෙවේ…ඔයාගේ සල්ලි වලට…ඔයාලගෙ තාත්තට තියන පිළිගැනීමට…නැතුව ඔයාට ඇති දේකට නෙවේ…ඔයා දුප්පත් වුණා නම්…ඔයා රබර් සෙරෙප්පු දෙකක් දාන් ස්කුල් එද්දි මේ කවුරුවත් ඔයාව පිළිගනියි කියලා හිතනවද…? නැහැ…එහෙනම් ඔයාව හළලා…ඔයාව පාගලා…ඔයාව කොන් කරලා…ඔයාට ස්කූල් එන එකත් එපා කරවලා…දැන් එහෙම නොකරන්නේ ඔයාගෙ සල්ලි බලේට…ඔයාට මොනවා වුණත් මෙයාලාට ගානක් නැහැ…ඔයා ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි…ඔයාගේ තාත්තට සල්ලි තියනවනේ….මේ වගේ යාළුවො සෙට් එකක් ඔයාට අපේ ගමේ පොල්පිති වලිනුත් කපලා දෙන්න පුළුවන්…ඔය කොණ්ඩෙ රැව්ල කපන් පිළිවෙළකට ස්කූල් එන්න…යාළුවෝ නැත්නම් තනියම ඉන්න…ඒත් මේ වගේ අවස්ථාවාදී අයව ළං කර ගන්න එපා…”

බොහෝ දෙනෙකු අප වටා සිටින බව මා දුටුවේ ආපසු හැරී නදීරා ගේ අත අල්ලා ගන්නට සැරසෙන මොහොතේදීය. නදිරා ගේ දෑස් වල වූයේ තැති ගැන්මට පත් බවකි. මම ඇගෙ අතින් අල්ලා ගෙන පන්ති කාමරයට එන විට එය මුළුමනින්ම හිස්ව තිබිණ .

“අනේ ආරණ්‍යා ! මම බයේ ගැහි ගැහී හිටියේ….ඔයා කොල්ලෙක් වුණා නම් අද ඔතන හොඳ වලියක්…”

පන්තියට පැමිණි සැටියේ නදීරා කිවේ දිගු හුස්මක් අදිමිනි.

“හොඳ වෙලා…වට එහෙම නොවුණේ…”

මම එය විහිළුවට ගෙන කීවෙමි. විවේක කාලය අවසන් වන සීනුව නද වන විට ළමුන් එකා දෙන්නා පන්තියට ඇදෙන්නට වූ මුත් අවීශ් ඔවුනතර නොවීය. ටිරෝන්ද බිමට යොමා ගත් හිසින් එහි ඇතුළු වනු මම දිටිමි. අවීශ් පැමිණියේ කාල පරිච්ඡේදය ආරම්භ වීත් මොහොතකට පසුවය.

පාසල අවසන්ව එක පෙළට යන ළමුන් අතරේ මාත් නදීරාත් සිටියේ අවසානයටමය.

“අපි….දෙන්නා අන්තිමටම යමු…”

එසේ යෝජනා කළේ නදීරාමය. ඈ බියෙන් සිටියේ ටිරෝන් හෝ අවීශ් මට දොස් පවරනු ඇතැයි කියාය. නමුත් එවැන්නක් නම් සිදු නොවිණ. තේෂාන් අප එන තුරු ගේට්ටුව අසළ නැවතී සිටියේය.

“මම බලන් හිටියේ ඔයා එනකල් ආරණ්‍යා …”

ඔහු කියන විට මම උනන්දුවෙන් ඔහු අසළට ළං වූයෙමි.

“ඇයි තේෂාන්…?”

“අද ඔයා කළේ නම්…නියම වැඩක්… මාත් අහන් හිටියේ…”

“මෙච්චර කල් මොකුත් නොකියා හිටියේ මොකද එහෙනම්…ඔයාත් බොක්කේ යාළුවෙක්ලු නේද..? ”

අත රැඳි පොත් කීපය ළැමැදට තුරුළු කොට ගනිමින් මම කීවේ සරදම් සහගත හඬකිනි.

“අපිත් බොක්කෙන් තමා හිටියේ…ඒකනේ දැන් මේ බෙලෙක්කෙන් සළකන්නේ…”

ඔහු විහිළුවක ස්වරයෙන් පැවසුවද එහි වූයේ යම් ශෝකී බවක් කියා මට සිතිණ.

“ඇයි…මොකද වුණේ..? ” මම කුහුළින් විමසුවෙමි.

“මාත් ඔයා වගේම තමා…ඊට වඩා දේවලුත් කිව්වා…දැන් මා එක්ක තරහා වෙලා ඉන්නේ.. ඌව හදන්න ගියා කියලා තමා… උඹ කවුද මට ඇඩ්වයිස් දෙන්න ඇහුවා…අන්තිමට මගේ අම්මා තාත්තාත් ඇදලා අරන් තමා මා එක්ක රණ්ඩු වෙලා කතා නොකර ඉන්නේ…මට මොකද…කතා කරපු දවසකට කතා කරනවා…මගේ තරහක් නැහැ…”

තේෂාන් ගේ දෑස් වල කඳුළක් දිලිසෙන හැටි මම දුටුවෙමි. ඔහු සැබෑවටම අහිමි වූ මිතුදම කෙරෙහි දුක් වෙනවා ඇත. නැත්නම් මෙසේ සිත් වේදනාවක් ඇති කරගත් යුතු නොවේ.

“එක හොඳ යාළුවෙක් හරි හිටපු එක ගැන මට සතුටුයි තේෂාන්…”

ඔහු නිහඬවම සමුගෙන යන්නට යන විට මම දිගු සුසුමක් හෙළමින් නදීරා සමඟ විත් රථයට නැගුණෙමි.

Latest news

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you