NovelsRath Dothaluරත් දෝතළු - 73

රත් දෝතළු – 73

-

spot_img

රත් දෝතළු – 73

මා සිතූ සේම විශාකා මහත්මිය දොස් පැවරුවේ විනීෆ්‍රීඩා මහත්මියටය. ඈ නම් හිතක් පපුවක් නැති ගැහැණියකය.

“දරුවෝ අද මෙහෙම හරි ඉන්නඑක ගැන සතුටු වෙන්න… ළමයි ගැන තියා තමුන්ගේ කසාඳ මනුස්සයා ගැනවත් නොබලා රට වටේ රවුම් ගහපු කෙනා… පේනවද කතා කරන ලස්සන… තමුන් අම්මා කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්ගේ යුතුකම් හරියට ඉෂ්ටකළා නම් දරුවෝ අද මෙහෙම තීරණ නොගන්න තිබුණා… සමාජ සේවේ කරන්න කලින් තමන්ගේ ගෙදර අඩුපාඩු බැලුවද… දරුවෝ හැදුණේ දෙතැනක… හස්බන්ඩ්ට තේ කෝප්පයක් හදලා නොදුන්න… කෑම ටිකක් උයලා නොදුන්න කෙනා එනවා මට චෝදනාකරන්න… ළමයි දෙන්නා ඩිග්‍රී ගන්නකොට… සමාජේ ඉහළට යනකොට දුවගෙන ඇවිත් නම දාගත්ත කෙනා… දැන් එනවා මේවා මගේ වැරදි කියන්න… මුං දෙන්නා ඔහොම හරි ඉන්නේ මං නිසා… තමුන් මොනවද පවුල වෙනුවෙන් කරලා තියෙන්නේ…?”

“මං ආවේ ඕවා අහගන්න නෙවේ…”

“ඔව්… අහගන්න නෙවේ… කියලා යන්න වෙන්නැති… මං එදත් කිව්වා… තමුන්ට මේ පැත්ත පළාතේ එන්න එපා කියලා… රිචී මෙන්න මෙයාව අරන් යන්න… මෙයාගේ ලැජ්ජාව නැත්තටම නැතිවෙලා තියෙන්නේ…”

සුළු මොහොතක නිහඬ බවක් එහි පැතිරුණු අතර විශාකා මහත්මියගේ වේගවත්ව තබන අඩි හඬ කෙමෙන් කෙමෙන් නෑසී ගියෙන් ඔවුන් පිටව ගිය බව දැන මම විනිෆ්‍රීඩා මහත්මිය වෙත එන විට ඈ සිටියේ හඬමිනි.

“අනේ ඇයි මේ මැඩම් අඬන්නේ…?”

ඈ ළඟ දණගසාගත් මා ඇගේ අතකින් අල්ලාගනිමින් ඇසුවේ ඈ කෙරෙහි උපන් ශෝකයෙනුත් අනුකම්පාවෙනුත් යුතුවය.

“මගේ හිතට හරි වේදනාවක් දැනෙනවා ළමයෝ… මං ඒ දෙන්නාව බැලුවේ මගේ දරුවෝ වගේ… ඒත් අද මට අහන්න වෙලා තියන දේවල් පේනවනේ…”

“අඬන්න එපා මැඩම්… මැඩම් වැරදි දෙයක් කරලා නෙවේනේ…”

ඇගේ සිත සනසනුවස් මම කීවෙමි. ඈ යහනට ගියේ සිත් වේදනාව බලවත් වූ නිසා වන්නට ඇත. ඊටත් පැයකට පමණ පසුව අහස් නිවසට පැමිණියෙන් පුදුමයක් මා සිතේ ඇතිවූයේ ඔහු මේ අවේලාවේ පැමිණියේ මන්ද කියාය.

“තාත්තා ආවද අරවින්දි…?”

විනීෆ්‍රීඩා මහත්මියගේ කාමරයට එබී බැලූ අහස් විත් මා විමසුවේය.

“ඇවිත් ගියා සර්…”

“අරයා සුදු මම්මාට බැන්නලු නේද…?”

මම කිසිත් නොකීවෙමි. මට එයට කිසිත් කිව නොහැකිය.

“සර්…”

පිටව යන්නට ආපසු හැරුණු අහස් හැරී මදෙස බැලීය.

“ඇයි අරවින්දි…?”

“විශාකා මැඩම් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගන්න එපා… එහෙම වුණොත්… විශාකා මැඩම් ඒකටත් මැඩම්ට දොස් කියයි…”

ඔහු කිසිත් නොකියා මා සමීපයට විත් සිය බර අතක් මා හිස මත තබන විට මා දෑසින් කඳුළු ගලා යන්නට විය.

“ඇයි මේ ඔයා අඬන්නේ…?”

මම වහා වහා කඳුළු පිසගතිමි.

“මං දන්නේ නැහැ සර්… ඒත්… මට දුකයි…”

“ඒ ඇයි…?”

“මේ සිද්ධවෙන දේවල් ගැන…”

“හ්ම්ම්… මට තේරෙනවා…. ඒත් මං මේ ගත්ත තීරණේ වෙනස්කරන්නේ නැහැ…”

“මං දන්නවා සර්…”

“මාත් දන්නවා අරවින්දි…”

“ඒ මොකක්ද සර්…?”

“ඔයා මට ආදරේ කරනව කියලා…”

මා හුස්ම සිරවූ සෙයකි.

“ඒත් බැඳීමකට හිරවෙලා ජීවත්වෙන්න මට බැහැ…”

ඔහු එසේ කියා මා අසලින් නික්ම යන විට මම දිගු හුස්මක් ගතිමි.
————————————————————————————————————————————————————-
සති අන්තයේ අහස් කාර්යබහුලව සිටියේ සම්මුඛ පරීක්ෂණය නිසාය.

“ඔය එකක්වත් හරි නොගියා නම් හොඳයි…”

විනීෆ්‍රීඩා මහත්මිය මා හා පැවසුවේ නොමනාපය මුසුවය.

“ඒත් මැඩම් හුඟක් අය කෝල් කරල තිබුණා කියලා රාඝව සර් කිව්වා…”

“සල්ලිවලටනේ…”

“සල්ලි විතරද මැඩම් දෙන්නේ…?”

“කෑෂ් වලින්ම ලක්ෂ දහයක් දෙනවලු… ළමයා හම්බෙලා මාස හයක් යනකල් එයාව බලාගනියි… හැමදේම එක්ක…”

“ඒකත් මැදෑ නේද මැඩම්…”

“අනේ මන්ද ළමයෝ… එයාලගේ ජීවිතවලට බලපෑම් කරන්න අපිට බැහැනේ… දැන් පොඩි ළමයිනුත් නෙවේනේ… එකපාරක් ජීවිතේ ගැලවුණේ අනූනවයෙන්…”

ඈ එයින් අදහස්කළේ රොසෑන් බව මට වැටහිණි. එදින සඳු දිනය විය. අහස්ද එදින නිවසේ සිටි අතර ඔහු මා කාර්යාලයට කැඳවූයේ අත්‍යාවශ්‍ය කටයුතු කීපයක් කරගැනීමට ඇතිබව පවසමිනි. කිරීමට අවශ්‍ය දේ මට පැවරූ ඔහුද සිය කාර්යයේ නිරත වූයේ නිහඬවමය. පැයක් දෙකක් පමණ මෙසේ නිහඬවම ගෙවී ගියේ අප අතර කතාබහක් නොවීමය. ආගන්තුක හැඟීමක් මා සිතට දැනෙන්නට විය. බැඳීමකට සිර වී ජීවත් වන්නට අකමැති බව පැවසුවද ඔහුද මට ආදරය කරන බවක මා සිතට දැනිණි. එම හැඟීම මා හද ගැස්ම පවා වේගවත් කරවන්නට සමත් විය. ඔහුගේ මේ නිහඬ බවට හේතුවත් ආදරයම විය හැකියැයි මම විශ්වාස කළෙමි.

“එක්ස්කියුස් මී…”

දොර අසලින් ඇසුණු එම හඬින් අපි දෙදෙනම හිස ඔසවා බැලීමු. රොසෑන්ද දුටු මා සිතේ එක්වරම ඇතිවූයේ තිගැස්මකි. මම වහා බැලුවේ අහස් දෙස වුවද ඔහු මුහුණේ කිසිදු හැඟීමකින් තොරව ඈ දෙස බලාසිටි අතර අමිහිරි සිදුවීමක පෙර නිමිත්තක් මා මනස පුරා ඇඳෙමින් තිබිණි.

“තමුන් මොකද මෙහෙ…?”

අහස්ගේ හඬ රළු වී තිබූ අතර කිසිදු ළතෙත් බවක් එහි නොවූයෙන් මා වටහාගත්තේ ඔහු කෙතරම් නම් ඇයව පිළිකුල් කරනවාද කියාය. මා මෙතෙක් කරමින් සිටි කාර්යය පවා මට කරන්නට නොහැකි බවක් දැනිණි.

“අහස්… මං ආවේ ඔයා මීට් වෙන්න… අද ඔයා ඔෆිස් ආවේ නැහැ කිව්වා… ඉතින් මං මෙහෙ ආවා…”

තොඳොල් හඬකින් ඈ කීවේ අහස් හැරුණු කොට තවත් අයෙක් මෙහි සිටින බවද නොදුටුවාක් මෙනි. අපුළක් මා සිතේ හටගැනිණි.

“කවුද තමුන්ට එන්න කිව්වේ…?”

“අනේ අහස්… කවුරුවත් කියන්න ඕනද…? ඔයාව අල්ලගන්න හරි අමාරුයිනේ… ප්‍රසිඩන්ට් මීට්වෙන එකවත් මෙච්චර අමාරු නැහැ…”

ලාලිත ගමනින් ඇතුළට ආ රොසෑන් අනවසරයෙන්ම අහස් ඉදිරියේ වූ අසුන ඇද හිඳගත්තේ කකුලක් පිට කකුලක් දමා ගනිමින් ඉතා සරාගී ඉරියව්වක් මවාපාමිනි. ඔහු නෙත් කොණින් හෝ ඇගේ අඩ නිරුවත් දෙපා දෙස බැලුවා කියා මම නොසිතමි. ඈ තම නිරුවත පෙන්වා ඔහුව දැලේ දාගැනීමට තැත්කරන මායම්කාරියක සේ මට පෙනිණි.

“තමුන් වගේ කෙනෙක්ට ප්‍රසිඩන්ට් වුණත් දැලේ දාගන්න බැරිකමක් නැහැ කියලා මං දන්නවා…”

අවඥාසහගත හඬකින් ඔහු කීවේය. එහි උපහාසය මෙන්ම පිළිකුළකුත් ගැබ්ව ඇති බව මට වැටහුණද මේ උමතු ගැහැණිය එය නොවැටහුණාක් මෙන් කොක් හඬලා සිනහසුණේ එය විහිළුවක් සේ සළකා මෙනි.

“අනේ අහස්… මං ඒක ප්‍රශංසාවක් විදියට බාරගන්නම්…”

“මේ අහනවා… තමුන් මෝඩයෙක් වුණාට තමුන් වගේ මෝඩ ගෑණියෙක්ව ප්‍රශංසා කරන්න මං මෝඩයෙක් නෙවේ… තමුන් එක්ක හුරතල් වෙන්න මට වෙලාවක් නැහැ… පව් නොදී මෙතනින් යනවා…”

ඔහුගේ හඬේ වූයේ පාලනය කරගත් කෝපයක් වුවද එම හඬ තර්ජනාත්මක විය.

“අනේ අහස්… මං ආවේ ඔයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න… ඔහොම ඇඟට ගොඩවෙන්න එපා අනේ…”

“මේ අහනවා රොසෑන්… මට තමුන්ගේ ඇඟට ගොඩවෙන්න තියා… කෙස් ගහකටවත් ළංවෙන්න වුවමනාවක් නැහැ… ඒක මං තමුන්ට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන නැහැනේ… ඒ තියා මට තමුන් එක්ක කතා කරන්නවත් කිසිම වුවමනාවක් නැහැ…”

“අනේ… අහස්… මං දන්නවා… ප්ලීස් මං කියනදේ ටිකක් අහන්න…”

“මට තව අහන්න දෙයක් නැහැ… තමුන්ට තව මොනවද මට කියන්න තියෙන්නේ…?”

එවිට රොසෑන් මා දෙසට බැල්මක් හෙළනු මම නෙත් කොණින් දුටුමි.

“අපි දෙන්නට විතරක් නිදහසේ කතා කරන්න බැරිද…?”

“තමුන්ටයි මටයි මොන නිදහසේ කතාද… කියන මඟුලක් කියලා යනවා තෙපරබාන්නේ නැතුව…”

ඒ හඬ පෙරට වඩා උස් වූ අතර රොසෑන් තැතිගත් බවක් නොපෙනුණද මම බිය වූයෙමි. මම අසුන මතින් නැඟී සිටියේ දෙදෙනාට කතා කිරීමට ඉඩ හැර පිටතට යෑමටය.

“ඔයා කොහෙද යන්නේ… ඔහොම ඉඳන් මගේ වැඩේ ඉවර කරන්න… එක එකාගේ දේවල් අහන් ඉන්න මට අමාරුවක් නැහැ…”

මම යළිත් හුන් තැනම හිඳගතිමි.

-හෙටත් හමුවෙමු-

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you