රත් දොතළු – 72
කිසිවෙකු විසින් මිදුලේ විදුලි පහන් දල්වන ලද්දෙන් රාඝවගේ මුහුණ මට පැහැදිලිව දිස් විණි.
“අහස් සර්ට වැරදි දෙයක් කරන්න ඕන වුණා නම් ඉතින් ප්‍රසිද්ධියේ මෙහෙම කරන්නෙ නැහැනේ… අහස් සර් මේ දේ කරන්නේ තමන්ගේ හිතට එකඟව යම් අරමුණකින්නේ… එදා සර් කියපු දේවල් මාත් අහන් හිටියේ… අහස් සර් කියන්නේත් ඇත්ත… දෙන්නෙක් විවාහවෙන්නේ ඇත්තටම ආත්මාර්ථය නිසා… එකිනෙකාට සහයක් වුවමනා නිසා… තව කෙනෙක්ව ආයුධයක් නැත්නම් ආධාරයක් විදියට පාවිච්චියට… ආදරයක් තිබුණා නොතිබුණා මේකනේ ඇත්ත… වයසට ගියාම කවුද බලන්නේ කියලා හිතලා… නැත්නම් අම්මා තාත්තාගේ වුවමනාවට… එහෙම නෙවේද…?”
රාඝව ඊට හිස සැළීය.
“ඇත්තම කිව්වොත් අපි හැමෝම දෙන්නෙකුගේ ආශාවන් වල හැඟීම වල ප්‍රථිඵල නෙවේද…? දරුවෙක් ඕනමයි කියලා හිතලා අරමුණකින් දෙන්නෙක් එකතු වෙනවාද… දරුවන් එන්නේ අහම්බෙන්… බොරුවට ආදරේ කියලා පෙන්නලා කෙල්ලෝ අනාථකරලා පැනලා යන කොල්ලෝ ඉන්න රටක අහස් සර් ගැන අපි ආඩම්බරවෙන්න ඕන…”
“ඔයා කියන දේත් හරි තමා අරවින්දි… මට පුදුමයි ඔයා වගේ කෙනෙක් එහෙම හිතන එක…”
“මම වගේ කෙනෙක් කිව්වේ රාඝව සර්…?”
“ගමක හැදුණු වැඩුණු කෙනෙක්… සාම්ප්‍රදායික ගැහැනු ළමයෙක්…”
“අද කාලේ කවුද සර් සාම්ප්‍රදායික විදියට හිතන්නේ… ඔය කෙල්ලෝ කොල්ලෝ හොටෙල් රූම් වලට යන්නේ සම්ප්‍රදාය ගැන හිතලද…?”
රාඝව එයට උස් හඬින් සිනහසුණේය.
“ඇයි සර් හිනාවෙන්නේ… මං කිව්වේ බොරුද…?”
“සොරි අරවින්දි… මට හිනා ගියා… ඔයා නම නොකියා අදහස් කළ කෙනා කවුද කියලා මං දන්නවා…”
“නැහැ සර්… මං එහෙම එක්කෙනෙක් කියලා අදහස් කළේ නැහැ… ක්ලාස් යනවා කියලා රූම් එකකට යන එකත් දැන් සම්ප්‍රදායක් වෙලා…”
“ඒක නම් ඇත්ත අරවින්දි… දැන් වැඩිපුරම රූම් රෙන්ට් කරන්නේ ස්කූල් ළඟ… ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් ළඟ… වටේම රූම් ෆොර් රෙන්ට්… මේවට අම්මලා තාත්තලාත් වගකියන්න ඕන…”
“පාසල් විෂය නිර්දේෂයට සර් ලිංගික අධ්‍යාපනය වගේම ආදරය කියන විෂයකුත් ඇතුල් වෙන්න ඕන… මේ දෙක පටළගන්න නිසා තමා ගැටළුව… අවබෝධයක් නැතිකම…”
“ඒක ඇත්ත… ඒත් ගොඩාක් පේරන්ට්ස්ලා ඕකට විරුද්ධයි…”
“එයාලා හිතනවා ඇති ළමයි රූම් යන එක නම්බුකාරයි… ලිංගික අධ්‍යාපනයට වඩා කියලා… ඒකයි…”
“ඔව්…ඔව්… අනිවා…අපි දැන් මාතෘකාවෙන් පිට යනවා… අපි කතා කළේ අහස් ගැන…”
ඔහු පෙර කතාබහට පිවිසෙමින් කීය.
“ඔව්… සර් ඇත්ත… ඕකේ අහස් සර් නොහිතුව පැත්තකුත් තියනවා…”
රාඝව නළල රැළිනංවා මදෙස බැලීය.
“ඒ මොකක්ද අරවින්දි…?”
පසුපසින් ඇසුණු එම හඬින් මම තිගැස්සී ගොස් හැරී බැලීමි. අහස් අප කතාබහට සවන් දී සිටියේ කොයි මොහොතේ පටන්ද කියා මම නොදනිමි. ලැජ්ජා මුසු හැඟීමක් මා සිතේ ඇතිවන විට මට වුවමනා වූයේ මෙතනින් පැන දුවන්නටය.
“අහස් සර්…”
“උඹ මොකටද අපේ කතාව මැද්දට පැන්නේ… බලපන්… ඒ ළමයා කියන්න ගියදේත් කියන්න දුන්නේ නැහැ…”
“මං දැන් ආවේ මෙතන්ට… ඒ එත්දි තමා මට ඒක ඇහුණේ… මටත් දැනගන්න ඕන ඒ මොකක්ද කියලා…”
දෙදෙනා අසල මා අසරණ වූ බවක් මට හැඟිණි.
“ඇත්තටම මොකක්ද අරවින්දි ඒ…? මටත් දැන් කුතුහළයක් තියෙන්නේ…”
රාඝව කියනවිට මම හිස ඔසවා බැලුවේ අහස් දෙසය. ඒ දෑස් මා වෙත දැල්වී ඇති බව දැක මා සිත දියවී යනබවක් මට දැනිණි. දෙදෙනාම මා දෙස බලා
සිටියේ මම කතා කරන තුරුය.
“මේකනේ සර්… අපි හිතමු ඉන්ටර්වීව් එකෙන් කෙනෙක් සිලෙක්ට් වුණා කියලා…”
“ඔව්… ඉතින්…?”
රාඝව වහා ඇසුවේය.
“ඒත් සර්… හැඟීමක් දැනීමක් නැතුව ඔය කියන විදියට ඒ වගේ සමබ්න්ධයක් ඇතිකරගන්න පුළුවන්ද…?”
දෙදෙනා එකිනෙකා වෙත නිහඬ බැළුම් පා කරන අතරේ පිළිතුරක් ලැබෙන තුරු නොසිටි මා වහා ගෙතුළට දිව ආවෙමි. අලුත් වූ අසරණ හැඟීමකින් මෙන්ම මහත් ලෝභකමකින් සිත පිරීයනවිට මට වුවමනා වූයේ කාමරයට වැදී තනිවීමට වුවද විනිෆ්‍රීඩා මහත්මිය “තේ බොමුද? ” කියා අසනවිට මම මුළුතැන්ගෙයට පැමිණියෙමි. සිත ඉබාගාතේ සැරිසරන විට මම තේ සෑදුවේ පුරුද්දට මෙනි. විහඟ කීවේ සැබෑවක් යැයි කියා දැන් දැන් මටද සිතේ. අහස් යනු අහසක්මය. අත පොවනු බැරි දුරක සිටින ඔහු කෙරෙහි මා සිත බැඳුණේ මාද නොදැනුවත්වමය. මම දැන් ඔහුට ආදරය කරන බව මම දනිමි. මිරිඟුවක් බව දැන දැනම මම ඔහුට ආදරය කරමි. අහස් පැමිණි බව දැක මම තිගැස්සී ගියෙමි. දෑස් කඳුළෙන් බොඳව තිබූ බැවින් වේගයෙන් ඇසිපිය සළමින් මම එය සඟවා ගන්නට වෙර දැරීමි.
ඔහු පැමිණියේ වතුර බොන්නටය. මම වීරුවක් ගෙන ඔහුට දුනිමි. ඔහු වුවමනාවෙන් මදෙස බලන විට මම ඒදෑස් මඟ හැරියෙමි.
“දැන් තේ බොන්න යනකොට වතුර බොන්නේ සර්…?”
“වතුර ටිකක් බීලා ඉන්නවා… අරවින්දි ඔයා අඬනවද…?”
ඔහු අසනවිට මම තිගැස්සුණෙමි. කෝප්ප වලට තේ වත්කර මම ජෝගුව සෝදා තැබුවෙමි.
“මම අඬන්නේ මොකටද සර්… තේ නිවෙනවා… මං මේක අරන් යන්නම්… සර් එන්න… සර්ට නම් ඉතින් නිවුණු තේ බීලා හුරු වුණාට මැඩම්ලා පව්…”
සැහැල්ලු හඬකින් එසේ පවසා මම වහා ඔහු මඟහැර ආලින්දයට ආවද මා සිත මත නම් වූයේ මහා ගින්නකි.
————————————————————————————————————————————————————-
සුපුරුදු පරිදි විශාකා මහත්මිය පැමිණියේ කුණාටුවක් ලෙසිනි. විනිෆ්‍රීඩා මහත්මිය එයින් කිසිදු කැළඹීමකට පත් බවක් හෝ නොපෙනිණි. මා රිච්මන්ඩ් වික්‍රමසූරිය මහතා දුටුවේ පළමු වතාවටය. අහස් මෙන්ම උස් සිරුරකින් යුත් හෙතෙම දේහ්ධාරී මනා පෙනුමකින් යුත් අයෙකු වූ සේම ඉතා නිහඬ අයෙකු බවද මට ඉතා ඉක්මනින් දැනගන්නට ලැබිණි. අහස්ටද පිහිටා තිබුණේ ඔහුගේ ගතිගුණ යැයි කියා මට සිතිණි. ඔවූන් පැමිණි මොහොතේම මම වහා ඉවතට ගොස් විශාකා මහත්මියගේ ඇස නොගැටෙන මානයකට වී සිටියේ විනීෆ්‍රීඩා මහත්මිය මට කතාකළහොත් ඇසෙන මානයේය.
“මොන විළි ලැජ්ජා නැති වැඩක්ද මේ කරලා තියෙන්නේ…”
විශාකා මහත්මියගේ උස් හඬ මුළු නිවස පුරාම රැව් දිණි.
“තමුන් මෙතන්ට ඇවිත් බෙරිහන් දෙන්නේ මේ කොහේ කියලා හිතාගෙන්ද විශාකා…?”
විනිෆ්‍රීඩා මහත්මියද උස් හඬින් කීවාය.
“මෙතන ඉන්නේ තුන්දෙනයි… බෙරිහන් දෙන්න ඕන නැහැ… මගේ කන් හොඳට ඇහෙනවා…”
“කිව්වත් වගේ හිමින් කතාකරන්න විශාකා…”
ඇගේ සැමියාද කියනු මට ඇසිණි.
“හිමින්… සේරම එකතුවෙලා වෙන්නැති මෙහෙම ප්ලෑන් එකක් ගැහුවේ… ෂිට්.. මං කොහොමද දැන් ලෝකේ මිනිස්සුන්ට මූණ දෙන්නේ…? ලැජ්ජාව…”
“විශාකා… ලැජ්ජ නැතිවෙන්න දෙයක් මෙතන වෙලා නැහැ… අනික තමුන්ට මූණ දෙන්න බැරි කොයි මිනිහටද… ඉන්නේ එක්කෙනයිනේ… නේද…?”
විනිෆ්‍රීඩා මහත්මියගේ උපහාසයෙන් පිරුණු හඬ ඉදිරියේ මට විශාකා මහත්මියගේ රතු වුණු මුහුණ මැවී පෙනිණි.
“ඔයා… ඔයා මේ මොනවා කියනවද මංදා… මං මේ කතාකරන්නේ රටේ මිනිස්සු ගැන…”
“රටේ මිනිස්සු හැමෝම තමුන්ව දන්නේ නැහැනේ… අනික රටේ මිනිස්සු එක්ක නෙවේනේ තමුන් ජීවත්වෙන්නේ… තමුන්ට ඉන්නේ එක මනුස්සයයිනේ… එයාට ප්‍රශ්නයක් නැත්නම් තමුන් නටන්න ඕන නැහැනේ… ගෙදර මිනිහට නැති අමාරුවක් රට්ටුන්න්ට තියෙන්නෙ විදියක් නැහැනේ… තමුන්ගේ කාන්තා සමිතියේ ඉන්න උන්ද තමුන් උසිගන්නවලා එව්වේ… එතන උන් පත්තිනි අම්මලා කියලද හිතන් ඉන්නේ… ගෙවල්වල් මිනිස්සුන්ව දාලා නයිට් ක්ලබ් ගානේ වෙන මිනිස්සු එක්ක නටන උන් ගැන මොකටද තමුන් වදවෙන්නේ…?”
“මට ඕවා වැඩක් නැහැ… ඔයා තමා හුරතල් කරලා එයාව නරක් කළේ…”
“විශාකා…”
විනිෆ්‍රීඩා මහත්මිය උස් හඬින් කළ කෑගැසීම නිසා මමද බියවූයෙමි.
-හෙටත් හමුවෙමු-