මම මගේ වේදනාව සාමාන්‍ය කොට සැළකුවා – Lupita Nyong’o
කෙන්යානු – මෙක්සිකන් සම්භවය සහිත නිළියක වන ලුපිටා නියොන්ගෝ සිය රංගන හැකියාව නිසාම කීර්තිය අත්පත් කරගත් අයෙක්. 2013 වසරේ තිරගත වූ 12 Years a Slave චිත්‍රපටයේ පැට්සි නම් වහල් තරුණිය ලෙසින් සිදු කළ රඟපෑම උදෙසා ලුපිටා හොඳම සහය නිළිය සඳහා වන ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවේ වෘත්තීය ජීවිතයේ මුල් අවධියකදී ඇකඩමි සම්මාන දිනා ගත් අප්‍රිකානු නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙකු බවට පත් වෙමින්. ඇය හැඳින්වෙන්නේ සුන්දරත්වයට සීමා තිබෙන හොලිවුඩයට අභියෝග කළ අයෙක් ලෙසින්. සම්මුඛ සාකච්ඡා වලදී වර්ණභේදවාදය වැනි කරුණු පිළිබඳව ඇය විවෘතව අදහස් පළ කරනවා. රංගනයට අමතරව ඇය කලාත්මක විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සිය වේදිකාව භාවිතා කරන කතුවරියක්, නිෂ්පාදකවරියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ද වෙනවා.

මේ වෙනවිට ලුපිටා නියොන්ගෝ ගැන ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. ඒ ඇය සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Odyssey චිත්‍රපටයට සම්බන්ධ වීමත් සමගින්. හෝමර්ගේ වීර කාව්‍යය පාදක කරගත් මෙම චිත්‍රපටයේ හෙලන් ලෙසින් රඟපාන්නේ ලුපිටායි. මෙය ලොවපුරා මතභේදයට දුන් කාරණාවක් වුණා.
Odyssey චිත්‍රපටය එළඹෙන ජූලි 17 වැනිදා තිරගත වීමට නියමිතයි. Matt Damon, Anne Hathaway, Zendaya, Charlize Theron, Tom Holland, Robert Pattinson, Mia Goth වැනි විශිෂ්ට නළු නිළියන් රැසක් සමගින් වැඩ කරන්නට ලැබීම අපූරු අත්දැකීමක් බවයි ඇය පවසන්නේ. ක්‍රිස්ටෝපර් නෝලන්ට චරිතයක් සඳහා තමාව අවශ්‍ය වී ඇත යන ආරංචිය ලුපිටාට අදහා ගැනීමට නොහැකි විය. ඔවුන් හමුවූ විට, ඔහු ඇයට පිටපත ලබා දුන් අතර, ඇය එය එක හුස්මට කියවූවාය. ඇය වහාම ඒ සඳහා කැමති වුණි.

“ඔහු මගෙ චරිතෙ මොකක්ද කියන්නත් කලින් මම ඔහුට ඔව් කියලා ඉවරයි… ඔඩිසි කියන්නේ මොකක්ද කියලා මට ඇත්තටම අදහසක් තිබුණේ නැහැ. ඉතින් මම වහාම ඒ ගැන පොත් හොයාගෙන කියෙව්වා. පොත් හොයාගත්තා කියන්නේ ඔඩිසි කියෙව්වා සහ ඉලියඩ් ඕඩියෝ බුක් එක ඇහුවා. ඕඩ්‍රා මැක්ඩොනල්ඩ් කියවන ඒ audiobook එක තමයි මම අහලා තියෙන හොඳම audiobook එක.”
ලුපිටා Zeus සහ Leda ගේ දියණිය වන Helen ගේ චරිතය සේම ඇගේ සහෝදරිය Clytemnestra ලෙසින්ද රඟපායි. ඉතිහාසය හෙලන්ව විස්තර කර තිබෙන්නේ මනුලොව සුන්දරතම ස්ත්‍රීන්ගෙන් කෙනෙකු ලෙසයි.
“ඒ චරිතය මට භාර දීම ගැන මගෙ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා”
ක්‍රිස්ටෝපර් නෝලන් යනු සිය චිත්‍රපට වටා අභිරහසක් පවත්වා ගැනීමට කැමති අයෙක් ලෙස ප්‍රකට නිසාමදෝ ලුපිටා ඒ ගැන හෙලිදරව් කරන්නේ අඩුවෙනි.
“මම ඒකට කැමතියි…. කරන්න තියෙන්නෙ මුකුත් නොකිය ඉන්න එක විතරයි. කවුරුත් දැන ගන්න කැමති රහසක හිමිකාරි වෙන්න මම ආසයි.”
නෝලන් වැනි අධ්‍යක්ෂවරයෙකු සමඟ වැඩ කිරීමේ අමතක නොවෙන අත්දැකීමකි.

“ඔහු එක විදිහක ප්‍රහේලිකාවක්. නමුත් ඔහු එක්ක වැඩ කරන්න අමාරු නෑ. නළු නිළියන්ට ලොකු සහයෝගයක් දෙනවා. ඔහු ගැන මම වැඩියෙන්ම කැමති දේ තමයි නළු නිළියන්ගෙ අදහස්වලටත් ඉඩ දෙන එක. මේක මට ලොකු අභියෝගයක් වුණත් ඔහු අපට අපේ චරිත වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ කරන විශ්වාසය වගකීම ඇති කෙරෙව්වා.”
හෙලන් ලෙස ඇයව තේරුවේ නෝලන්ය. එය බාහිර පෙනුමට අමතරව රංගන කුසලතාවද අත්‍යවශ්‍ය වූ චරිතයකි. ශක්තිය සහ සමබරතාවය හෙලන්ගේ චරිතයට ඉතා වැදගත් විය. ලුපිටා එය වෙහෙසකින් තොරව කරනු පෙනේ. ඒ සඳහා විශාල විනයක් සහ පුහුණුවක් අවශ්‍යය. “නැව් දහසක් දියත් කෙරූ මුහුණ” (The face that launched a thousand ships) නිරූපණය කිරීම කෙබඳුදැයි ඇසූවිට ඈ පවසන්නේ සුන්දරත්වය යනු රඟපෑමට හැකි දෙයක් නොවන බවයි.

“මට චරිතයක් හැබෑවටම කවුද කියලා දැනගන්න ඕන. සුන්දරත්වයෙන් ඔබ්බට, පෙනුමෙන් ඔබ්බට තියෙන්නේ මොකක්ද?”
ලොව සුන්දරම ස්ත්‍රියකගේ චරිතය රඟපෑමට තෝරා ගනු ලැබීම නිසා ලුපිටා ඇති තරම් විවේචනවලට, අපහාසාත්මක කතාවලට මුහුණ දුන්නාය. හෙලන්ගේ සුන්දරත්වය මෙතරම් යැයි පවසන අයට ඈ මතක් කර දෙන්නේ “මෙය මිථ්‍යා කතාවක්” බවයි.
“අපේ නළු නිළියන් ලෝකය නියෝජනය කරනවා. මම විවේචන ගැන වදවෙන්න කාලෙ නාස්ති කරන්නෙ නැහැ. මම ඒකට සම්බන්ධ වුණත් නැතත් මිනිස්සුන්ගෙ විවේචන කියන දේ නතර වෙන්නෙ නැහැ. ඔඩිසි හා සම්බන්ධ වෙන්න ලැබීම ශ්‍රේෂ්ඨයි.”
දශකයකට පමණ පෙර ලුපිටා ’12 Years a Slave’ චිත්‍රපටයේ පැට්සි චරිතය නිරූපණය කරන විට ඇයට වයස අවුරුදු 29 කි.
“මම ඇගේ වේදනාව මා සමඟ රැගෙන යන්නේ බරකට වඩා සුන්දර ආකාරයකට. මම මෙතැන ඉන්නෙ ඒ අතීතය නිසා.”
ඔස්කාර් ජයග්‍රහණයෙන් පසු ඇයට නිරතුරුම වහල් කාන්තාවන්ගේ චරිත ලැබුණි. එය පුදුමයට කරුණක් නොවන බව ඇය පවසයි.
“මේක මුදල් විසින් කලාව පාලනය කරන කර්මාන්තයක්”




