රත් දෝතළු – 99 (අවසන් කොටස)
තවත් හඬන්නට කඳුළු නැත. යළිත් නම් නොහඬමියි මම මටම දිවුරාගතිමි. විනිෆ්‍රීඩා මහත්මියත් විහඟත් ආලින්දයට වී නිහඬව බලා සිටිනු මම දුටිමි. විහඟ ඔහුට සුපුරුදු අත් රහිත සැහැල්ලු ටී ෂර්ටයකිනුත් කොට කලිසමකිනුත් සැරසී සිටියේය. මම ඔහුගේ දෑස් මඟ හැරියෙමි.
“අරවින්දි… පුතා එක්ක කතා කළාද…?”
විනිෆ්‍රීඩා මහත්මිය විමසුවාය.
“මං කතා කළා… ඒත් එයා නෙවේ වචනයක් වත් කතා කළේ… මං වැරදි ඇති… ඒත් මැඩම් වචනයක් හරි කතාකරන්න තිබුණා… ගහක් ගලක් වුණත් උණුවෙයි… ඒත්…”
යළිත් හඬ බොඳව යන විට මම නිහඬ වූයේ හැඬෙනු ඇතැයි මට බිය නිසාය.
“අරවින්දි…”
මා පසුපසින් ඇසුණු අහස්ගේ කෝපයට පත් හඬින් මම තිගැස්සී ආපසු හැරුණේ බියෙනි. ඔහු රෝද පුටුව පදවාගෙන මා සමීපයට විත් නැවතී මා දෙස බැලුවේ කෝප දීප්ත දෑසිනි. එවන් බැල්මක් මා දැක තිබුණේ රොසෑන් පැමිණි දාය. මා දෑස් බිමට නැඹුරු වූයේ ඉබේමය.
“තමුන් හිතාගෙන ඉන්නේ තමුන් කවුරු කියලාද…?”
ඒ හඬ රළු වුවද ඔහු එසේ හෝ මා ඇමතීම පිළිබඳව සතුටක් මා සිතේ ඉපදිණි.
“මේ විදියට හිතුණාම එන්නයි… හිතුණාම පැනලා දුවන්නයි… කටට එන හැමදේම කියවන්නයි… තමුන් කවුරු කියලාද හිතන් ඉන්නේ…?”
“මං කවුරු කියලා හිතාගන්නද සර්…? සර්ගේ වැඩකාරියක් වුණා නම් මේ කොහේ හරි වැටිලා ඉන්න තිබුණා… අඩුම තරමේ සර්ව උදේ හවා හරි දකින්න පුළුවන්… සර් ඉස්සරහා මං කවුද සර්… පයට පැඟෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ…”
සුසුමක් හෙළමින් මම කීවේ ඔහු දෙස එක එල්ලේම බලමිනි. ඒ මුහුණේ ඇඳී තිබූ සාවඥ සිනහව දැක මා සිත අලුතින් පෑරිණි.
“අනේ…” යි කෙඳිරිල්ලක් නික්මුණේ විනීෆ්‍රීඩා මහත්මියගේ මුවිනි. ඈ කෙරෙහි මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි. ඇයත් මාත් අතර පෙර සසරේ කුමක් හෝ ආත්මීය බැඳීමක් තිබෙන්නට ඇත.
“පේනවද සුදු මම්මා මෙයාගෙ කට… දෙන්න උත්තර නම් ලස්සනට ගළපනවා… බොරු කරලා මදිවට…”
ඔහු කළ එම චෝදනාවෙන් රිදුණු සිතින් මම වහා ඔහු දෙස බැලීමි.
“මම මොකක්ද සර්ට කළ බොරුව… ඇයි ඔහොම චෝදනා කරන්නේ… මං කවදාවත් සර්ට බොරුවක් කළේ නැහැ…”
“බොරු කළේ නැහැ…? තමුන් කළේම බොරුව… ආදරේ කළා කිව්වා… ආදරේ නිසයි දාලා ආවේ කිව්වා… ඒ සේරම බොරු… ආදරයක් තිබ්බා නම් දාලා යනවද… දාලා ගියත් නිකමට හරි හොයලා බලනවා නේද… තමුන් එහෙම කළාද…? මං තමුන් ගැන වද වුණ තරමටවත් තමුන් මං ගැන වදවුණේ නැහැ… හිතුවේ නැහැ… කෙහෙල්මල් ආදරයක් ගැන කියනවා… අර නිරූට කතා කරලා හරි අහන්න තිබුණානේ… මේ මාස ගාණටම එක කෝල් එකක් දුන්නද… මට නෙවේ තමුන්ගේ අම්මා වගේ බලා ගත්තු සුදු මම්මාටවත් කෝල් එකක් දුන්නාද… හැමදේම සුදු මම්මාට කිය කියා කරපු කෙනා ගෙදරින් යනකොටවත් කිව්වද… මේ මනුස්සයා මොන ගින්දරකින්ද හිටියේ දන්නවද… ආදරේ නිසාලු… අනේ බම්බු ආදරේ…”
ඔහු කියනා සියල්ල සත්‍යය විය හැකි මුත් මා ඔහුට ආදරය නොකළා යැයි කරන චෝදනාව නම් නිවැරදි නොවේ.
“මම කතා නොකළේ මට ඒකට හිත හදාගන්න බැරි නිසා… මිසක් සර්ට ආදරේ නැති නිසාවත් සර් ගැන නොහිතපු නිසාවත් නෙවේ… තත්පරයක් තත්පරයක් ගානේ මට සර්ව මතක්වුණා… මං මැරී මැරී ඉපදුණා අහස් සර්… සර්ට මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ සර්…”
මට යළිත් හැඬිණි. ඒ මා කෙරෙහි උපන් ආත්මානුකපාවෙන් නම් නොවේ. ඔහු කෙරෙහි උපන් ශෝකයෙනි.
“තමුන්ට තිබුණා නේද එකපාරක් හරි ඇවිත් මාව මුණගැහෙන්න… තමුන් එහෙම කළාද…? දැන් මට චෝදනා කරනවා මගේ හිත කළු ගලක් කියලා… මගේ හිත කළු ගලක් නම් අරවින්දි… තමුන්ගේ හිත කළු ගල් පර්වතයක්… තමුන් දන්නවද… සිහිය ඇවිත් හොස්පිට්ල් එකේ ඇඳට වෙලා මං දවස් ගතකළේ තමුන් කොයි මොහොතේ හරි මං හොයන් දුවන් එයි කියලා… මට වැරදුණා…”
ඔහුගේ හඬේ වූයේ ශෝකයකි. සිත වඩ වඩාත් වේදනාකාරී හැඟීමකින් පිරීගියා සේම දෑස් තෙමාගෙන කඳුළු ගලා යන්නට වූයේ හිත් පිත් නැතිසේය. මම කෙතරම් රුදුරු සිත් පිත් නැත්තියක්ද කියා මට වැටහෙන්නට විය. මා වින්දාටත් වඩා දැඩි මානසික ශාරිරික පීඩාවකින් ඔහු පෙළෙමින් හිඳ ඇත.
“තමුන්ගේ හිතේ ආදරයක් තිබිලා නැහැ… එහෙම නම් මාව දාලා යන්න හිතන්නේවත් නැහැ… තමුන් බයේ පැනලා ගිහින්… බයගුල්ලියක් වගේ හැංගුණා… මං තමුන්ට ආදරේ කළා කියලවත් තමුන්ට දැනුණෙ නැත්ද…?”
ඒ වදන් මා තිගැස්මට පත්කළේය. මම දෑස් විදහා ඔහු දෙස බලාසිටියේ අදහාගත නොහැකි යමක් සවන් වැකුණ කලෙක මෙනි.
“මො…මොනවා… අහස් සර්…?”
මට ඔහු ඉදිරියේ දණ බිම එබුණේ ඉබේමය.
“තමුන්ට දැනුණේ නැත්ද මං තමුන්ට ආදරේ කරනවා කියලා… ආදරයක් නොතිබුණා නම් මං තමුන්ව මං ළඟටවත් ගනියි කියලාද තමුන් හිතන්නේ… එහෙම හැඟීමක් දැනීමක් ආදරයක් නොතිබුණා නම් මං දැන් මෙහෙම රෝද පුටුවක් ඉඳියිද…?”
මම ඔහුගේ දෙදණ අතර හිස තබාන ඉකිබිඳිමින් හැඬුවෙමි.
“මං ඔයාට ආදරේ කරන්න ගත්තේ එදා මගේ ඔෆිස් එකට ඇවිත් මා එක්ක රංඩු කරපු දවසෙමයි අරවින්දි…”
පෙර ඔහුගේ වූ රළු බව පලා ගොසිනි. ඔහු එසේ පැවසුවේ වෙනස්ම හඬකිනි. ඔහුගේ අතක පහස මා හිස මතට දැණෙන විට මම හිස ඔසවා ඔහු දෙස බැලීමි. ඔහු මවෙත නැඹුරුව සිය දෝතට මා මුහුණ මැදි කරගත්තේය.
“මට සමාවෙන්න අහස්… සර්…”
මම කෙඳිරුවෙමි.
“වැරදි කරලා එහෙම ලේසියෙන් සමාව ඉල්ලුවට සමාව ලැබෙන්නේ නැහැ…”
ඒ හඬ යළිත් රළු විය.
“සර් දෙන ඕනම දඬුවමක් මං භාරගන්නවා සර්…”
ඔහුගේ මුවේ ඇඳුණේ සාවඥ සිනහවකි.
“අනේ පුතේ ඒ ළමයා දැන් ඔය විඳපු දඬුවම මදෑ…”
විනිෆ්‍රීඩා මහත්මිය කීවේ අනුකමපා මුසු හඬකිනි.
“නැහැ සුදු මම්මා… මෙයා තවම හරියට දඬුවම් වින්දේ නැහැ… මට විඳවන්න ඇරලා පැනලා දිව්වා…”
අහස් නැවත කීවේ නොසතුටෙනි.
“සර් කියන ඕනෑම දඬුවමක් මං විඳින්නම්…”
“තමුන්ට මුළු ජීවිත කාලෙම මාව බලාගන්න වෙයි…”
ඔහු එසේ කීවේ ව්හිළුවට නොවන බව මට වැටහිණි.
“සර් ගාව ඉන්න පුළුවන් නම් මං ඒ දඬුවම සතුටින් විඳින්නම් අහස් සර්…”
ඔහු එවිට උස් හඬින් සිනහසුණේ මා පුදුමයට පත්කරමිනි.
“මේ අබ්බගාත මාව මුළු ජීවිතකාලෙම බලාගන්න ඔයාට පුළුවන්ද…? මෙයා ආයේ කොයි මොහොතේ පැනලා යයිද කවුද දන්නේ නේද සුදු මම්මා…?”
විහඟ එසේ කීවා නම් මට දරාගන්නට හැකිය. නමුත් අහස්ගේ වචන පපුවට අනින පිහිතුඩවල් මෙන් රිදුම් දුණි.
“අනේ ඇති ළමයෝ… මේ ළමයට මහන්සි ඇති…”
“මහන්සි අපිටනේ සුදු මම්මා… මේ පිස්සු හෝන්තුව හොයලා හොයලා…”
විහඟ වහා කීවේ අලුතින් උපන් කෝපයෙනි.
“ආයේ හිතුණාම පැනලා යයිද දන්නැහැ…”
අහස් යළිත් කීය.
“නැහැ සර්…. මං ආයේ පැනලා දුවන්නේ නැහැ… දාසියක් වෙලා හරි… මං සර් ළඟින් ඉන්නවා…”
“නැහැ අරවින්දි… ඔයා මට දාසියන් නෙවේ… දාහකින් හොයා ගන්න බැරි විදියේ රත් දෝතළු මලක්…”
මවෙත නැඹුරු වූ ඔහු මා නළලත මෘදුව සිපගනිමින් කීය.
“මාව ඒ තරම් වටිනවද සර්…?”
“ඔව් අරවින්දි… මට ඔයාව ගොඩාක් වටිනවා… මේ ගෙවුණු දවස්… සති… මාස ගාණටම මට ඔයා මං ළඟ නැති අඩුව දැණුනා… මට ඕන ඔයා හැමදාම මං ළගට වෙලා ඉන්න… මගේ වයිෆ් වෙලා… අපි මැරි කරමු අරවින්දි…”
එය මට ඇසුණේ සිහිනයකින් මෙනි. ඔහු එය කීවේ සැබෑවටමය.
“ඒ… ඇත්තක්ද අහස්…?”
“ඔව්… අරවින්දි… මට ඔයාව ඕන…”
“මටත් අහස්…”
පහත් හඬින් මම කෙඳිරුවෙමි.
“මළ කෝළම්…”
විහඟ නැඟිට ඉවත ගියේ මවාගත් නොමනාපයක් පළකරමිනි. අහස්ගේ උස් සිනා හඬ නිවස පුරා රැවිදුණි.
————————————————————————————————————————————————————-
අපි විවාහ වුණෙමු. ඊට පෙර මා කළ දේ නම් නිලූපා සොයුරිය අමතා සියල්ල පැවසීමය. එතුමිය අපට ආශිර්වාද කළාය. අහස්ගේ පාදය කෙමෙන් කෙමෙන් සුව විය. දැන් ඔහු පෙර සේම හොඳින් ඇවිදියි. විහඟ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යන නිසා අහස් නිතරම කාර්යාලයට නොයන්නේය. ඔහු අප සමඟ නිවසේ වැඩි කාලයක් ගෙවන්නේ පහුගිය කාලයේ අඩුපාඩු පිරිමැසිය යුතු බව පවසමිනි. නිර්මාණි නැවත පැමිණියේ තෙමසකට පමණ පසුවය. ඈ යළිත් වරක් මවක වන්නට යන බව පැවසුවේ මා බැලීමට නිවසට පැමිණි විටය. මමද ඒ වන විටත් දෙමසක ගැබිණියකව සිටියෙමි. අහස් සිටියේ සතුටිනි.
“ඔන්න මේ පාර දුවෙක්… නිරූගේ පුතාට අපේ දුවව බන්දමු…”
ඔහු කියන විට අපි එකතුව උස් හඬින් සිනහසුණෙමු.
-අලුත් කතාවකින් ඉක්මනින් මුණගැසෙමු-