ලිවීම සහ දිවීම දෙකම මට ගැළපෙනවා – ශ්‍රේෂ්ඨ ජපන් නවකතාකරු හරුකි මුරකමි
බ්‍රිතාන්‍ය ගායක හැරී ස්ටයිල්ස් (Harry Styles) ලොව පුරා අතිශයින් ජනප්‍රිය කලාකරුවෙකි. ගායනයට අමතරව ගීත රචකයෙකු සහ නළුවෙකු ලෙසින්ද කටයුතු කරන ඔහුව ලෝකය දැන හඳුනගන්නේ සුප්‍රකට One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින්. පසුව තනි ගායකයෙකු ලෙස සාර්ථක වූ ඔහු Sign of the Times, Watermelon Sugar, As It Was වැනි ගීත හරහා රසික ආදරය දිනා ගත්තා. සංගීතයට අමතරව, ඔහු විලාසිතා ලෝකයේත් කැපී පෙනෙන චරිතයක් වන අතර, නව පරපුරට බලපෑම් කළ කලාකරුවෙකු ලෙසින්ද සැළකේ. එමෙන්ම හැරී මැරතන් දිවීමටද කැමතියි.

හරුකි මුරකමි (Haruki Murakami )ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමි කරගත් ජපන් නවකතාකරුවෙක් සහ කෙටිකතා රචකයෙක්. යථාර්ථය හා මායාව සම්මිශ්‍රණය වූ ඔහුගේ කෘති තුළින් ගැඹුරු දාර්ශනික අදහස් පැවසෙනවා. Norwegian Wood, Kafka on the Shore,1Q84 වැනි කෘති තුළින් ලොව පුරා විශාල පාඨක ප්‍රජාවගේ ආදරය දිනාගත් මුරකමිගේ ලිවීම් තුළ ජෑස් සංගීතය, තනිකම, මතකය සහ මිනිස් අභ්‍යන්තර ලෝකය යන තේමා සුලබව දැකිය හැකියි. සරල නමුත් ගැඹුරු භාෂා භාවිතය නිසා හරුකි මුරකමි හැඳින්වෙන්නේ නූතන සාහිත්‍යයේ අද්විතීය සලකුණක් වශයෙන්.

මේ කතාබහ විශේෂ එකක් වෙන්නේ හැරී ස්ටයිල්ස් සමග කතාබහට එක් වෙන්නේ හරුකි මුරකමි වීම නිසා. හරුකි මුරකමිද දක්ෂ මැරතන් ක්‍රීඩකයෙක්. හැරී ස්ටයිල්ස් පවසන්නේ තමාගේ ලෝකයේ වීරයෙකු හා මෙලෙස කතාබහ කරන්නට ලැබීම ඇදහිය නොහැකි දෙයක් බවයි. මුරකමි යනු ඔහුගේ ජීවිතයට බලපෑමක් සිදුකෙරූ කතුවරයෙක්. 32 හැවිරිදි ගායකයා සහ ලොව පුරා අලෙවි වාර්තා තබමින් අලෙවිවන කෘතිවල හිමිකරු වෙන 77 හැවිරිදි ලේඛකයා ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට සූදානමිනි.
“ඔබ ළඟ මට දෙන්න මොනවහරි උපදෙසක් තියෙනවද කියල මම කල්පනා කරනවා. මිනිසෙක් විදිහට, ලේඛකයෙක් වගේම ධාවකයෙක් විදිහට ?”
හැරී එසේ අසද්දී මුරකමි හිනැහෙමින් පවසන්නේ එය අසීරු ප්‍රශ්නයක් බවයි. මේ කතාබහ ඔවුන්ගේ ජීවිත ගැන බොහෝ දෑ හෙළිදරව් කරනු ඇත. මැරතන් තරඟ 25කට වඩා අවසන් කර ඇති මුරකමි, මදක් කල්පනා කර පවසන්නේ

“මිනිසුන්ට වැදගත් වන්නේ තමා තුළ ඇති ප්‍රතිවිරෝධය හඳුනා ගැනීම. මම ලියන විට, මට හැම වෙලාවෙම මා තුළම ප්‍රතිවිරෝධයක් ඇති බව දැනෙන අතර ඒ නිසාම මට මාව ප්‍රකාශ කිරීමට උවමනායි. එය තේරුම් ගැනීම උදෙසා. මගේ මේ වයසේදී පවා මම තවමත් කල්පනා කරනවා. මම තුළ ඇතිවෙන මේ අවුල් සහගත තත්ත්වයට හේතුව මොකක්ද? ඔබ තුළ අපහැදිලි දෙයක් තිබේ නම්, ඔබට එය එලෙසම ඉදිරිපත් කළ නොහැක. ඔබට එවැනි දෙයක් ඇතැයි නොසිතන වෙනත් පුද්ගලයින් සමඟ බෙදා ගැනීමෙන් එය ධනාත්මක දෙයක් බවට පත් කළ යුතුය. ඔබ තුළ ඇති එම ප්‍රතිවිරෝධයන් කලාව බවට පත් කරන්න.”
හැරී – ධාවනය පිළිබඳ ඔබේ පොතේ මම සැබවින්ම ආදරය කරන දේ තමයි සෞඛ්‍ය සම්පන්නව සිටීමෙන් දිගු කලක් කලාකරුවෙකු ලෙස ජීවත් වීමට හැකි වන බවත්, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීම නිසා විශිෂ්ට කාර්යයක් කළ හැකි බවත්ය. ඒ අදහස වෙනුවෙන් මම ඔබට බොහෝම ස්තුතිවන්ත විය යුතුයි.
හරුකි මුරකමි: පොතක් ලිවීම එතරම් අපහසු නැහැ. නමුත් ඔබ දිගටම ලිවීමට උත්සාහ කරනව නම්, ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඒක බල ගැන්වෙන්නෙ විඳ දරා ගැනීමෙන්. මම මගේ නව යොවුන් වියේ ඉන්නකොට, සංගීතඥයන් බොහෝ දෙනෙක් ගොඩක් තරුණ වයසෙදි මිය ගියා. ජිම් මොරිසන්, ජිමි හෙන්ඩ්‍රික්ස්. මම හිතන්නේ ඔවුන්ට ඉවසීමෙන් ඉන්න බැරි වුණා. උද්වේගකාරීව ජීවත් වෙන්න, තරුණ වියේදී මිය යන්න. නමුත් මට එහෙම උවමනා වුණේ නැහැ. මට ඕනෙ වුණේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න. මොකද මම අසාමාන්‍ය පොත් ලියන සාමාන්‍ය මනුස්සයෙක්.

හැරී – ඔබට මැරතන් දුවන්න ඕනෙ නම් ඒ සඳහා ලොකු විනයක් උවමනයි. ඕනවට වඩා වේගයෙන් යන්න බෑ. දිවීම සහ ලිවීම එකිනෙක පෝෂණය කරන බව ඔබට දැනිලා තියෙනවද?
මුරකමි – දිවීම සහ ලිවීම කියන දෙකම මට ගැළපෙනවා. ධාවනය කියන්නෙ වේගය විතරක් නෙමේ. මම බෝල සම්බන්ධ ක්‍රීඩාවලට කැමති නෑ. ඒක මම මගෙම ආත්මය සමඟ තරඟ කිරීම වගේ දෙයක්.
හැරී – අපි ජීවත් ඒ වගේ උත්සාහයක් ගැනීම එච්චර ඇඟට ගුණ නැති කාලයක. නමුත් ඔබ නිර්භීතයි. ඔබ ලිංගිකත්වය සහ පුරුෂාධිපත්‍යය ගැන ලියන විට, චරිත සියල්ලම ලිංගිකත්වය ගැන විශේෂඥයින් නෙමෙයි. ඔවුන්ට විවිධාකාර දෘෂ්ටින් තියෙනවා. ඔවුන්ට අහිංසක බවක්, අවදානම වගේම ලැජ්ජාවත් තියෙනව. ඒක නිසැකවම පුරුෂාධිපත්‍යය ගැන මගෙ අදහස් වෙනස් කරා. ඒක ඔබ ලේඛනයෙදි දැනුවත්ව කළ දෙයක්ද, නැත්තම් සොයා ගත්ත දෙයක්ද කියල මම කල්පනා කරා.
මුරකමි – මම සාමාන්‍ය මිනිහෙක්. හැම වෙලාවෙම. මම යෞවනයෙක් කාලේ, මගේ විසි ගණන්වලදි කිසිම දෙයකට විශේෂයෙන් දක්ෂ වුණේ නැහැ. නමුත් විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තට පස්සෙ මුදල් හම්බ කරන්න හරි, කම්පැනි එකක වැඩ කරන්න හරි ඕනේ වුණේ නැහැ. මම ටෝකියෝවල පුංචි jazz club එකක් හදා ගත්තා. මම හිතුවෙ නෑ මම ලේඛකයෙක් වෙයි කියලා. නමුත් පොත් කියවන්න ආස කළා. අවුරුදු 29 වෙනකොට ලිවීමේ උණ වැඩිවෙලා තිබුණෙ. ඉතින් මම පොතක් ලිව්වා. නවකතාකරුවෙක් වුණා. ආසාව නිසා. කොහොම වුණත් මම තවමත් මගේ බිරිඳත් හැමදේමත් එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය මනුස්සයෙක්. සම්මුඛ පරීක්ෂණයකට ආවම මට සමහර විට අපහසුවක් දැනෙනවා, මොකද ඔවුන් මම විශේෂයි කියලා සිතනව. ඒ ඇයි? මගේ පොත්වල චරිත සාමාන්‍ය මිනිස්සු පමණයි. මම නිර්මාණකරුවෙක් කියල මම හිතන්නෙ නැහැ. මම ලබන්නෙක් පමණයි. සංගීතය අහන්න, පොත් කියවන්න කැමතියි. මම කියවන්නෙක් ,අසන්නෙක් විතරයි. සමහර සංගීත භාණ්ඩ පුහුණු වෙන්න උත්සාහ කළා. ඒත් පුහුණුවට අකමැති නිසා මට ඒක කරන්න බැරි වුණා. ඒක කම්මැලි වැඩක්.
හැරී – ඔහ්, ඒක හරි. Tour එකක් මැද ගොඩක් වෙලාවට මම හිතුවෙ මම ලෝකෙට දෙන දේ පිළිබඳව මට විශ්වාසයක් නැහැ කියලා. මිනිස්සු මට ගොඩක් දේවල් දෙනව. නමුත් මගෙන් ලැබෙන්නෙ මොනවද කියන ප්‍රශ්නය හිතේ තිබුණා. මම දුවනකොට මට ගොඩක් හිතන්න වෙලාව ලැබෙනවා.
මුරකමි – මම දුවනකොට දුවනවා විතරයි. ගොඩක් හිතන්නෙ නැහැ.
2010 දී විශ්ව විද්‍යාලයේ නීතිය සහ සමාජ විද්‍යාව හැදෑරීමේ සැලසුම් විස්තර කරමින් X Factor වේදිකාවේ ගැටවරයෙක් ලෙස සිටගෙන සිටියදී, හැරී ස්ටයිල්ස් බේකරියක අර්ධකාලීන රැකියාවක් කළ සාමාන්‍ය කොල්ලෙක් පමණක් විය. ඔහු ගායනයට දක්ෂ බව විශ්වාස කලේ මව පමණි.

හැරී – වසර ගණනාවක් පුරා, මට ආරාධනා ලැබුණ හැම දේකටම එපා කියන්න සිද්ධ වුණා. යාළුවෙකුගෙ උපන්දිනයක්, ට්‍රිප් එකක් වුණත්. මම ඇත්තටම බිසී නිසාද, නැතිනම් ඔව් කියන එක ලේසි නිසාද කියල තේරෙන්නෙ නැහැ. ඔබේ ජීවිතයට සෘණාත්මක බව ගේන අයගෙන් ඈත් වෙන්න ඔබටම සීමා දාගත්තම ධනාත්මක දේවලුත් මිස් වෙනවා. electronic music කියන්නෙ හොඳ දෙයක්. තනු නිර්මාණය එහෙම. ස්ටේජ් එකේ ඉන්නකොට මම දේශනාවක් කරනව වගේ දැනෙනවට මම ආස නැහැ. හැමෝම සංගීතය විඳිමින් එකම හැඟීමක් වෙනවට මම කැමතියි. සමහර අලුත් අත්දැකීම්වල, ලොකු උත්තේජනයක් තියෙනවා. ගොඩක් අය ඉන්නවා. හරිම ඝෝෂාකාරීයි. ඉතින් ඒ සියල්ල වෙනුවෙන් දිවීම මගේ නිදහස වුණා. මට තනියම ඉන්න ලැබෙනවා. දුවනකොට මම සිංදු අහනවා. වැඩිපුර electronic music අහන්න ගත්තම ඒක මෝහනයක් වගේ දැනුනා. අනේ මම මේ දේ තුළ ඇත්තටම අතරමං වෙලා වගේ. ඒකෙන් කාලය ගෙවිලා යන්නේ වෙනස්ම විදිහකට. දුවන අතරතුර ඔබ නිර්මාණශීලී වන බව ඔබට හැඟෙනවද, නැතිනං කිසිම දෙයක් නොසිතා ඉන්න කාලයක්ද?
මුරකමි – සංගීතයේ බලපෑම භාවනාවේදීත් දිවීමේදීත් එක හා සමානයි කියල මට දැනිලා තියෙනවා. මම දුවනකොට වැඩිපුරම සංගීතයට සවන් දෙනවා. ආපහු ඇවිත් මේසය ඉදිරිපිට වාඩිවෙලා හිතන්න ගන්නවා. දුවනකොට එක්තරා අන්දමක හිස් බවක් දැනෙනවා. මා තුළට යමක් පැමිණෙන නමුත් ඒක මොකක්ද කියන්න මම දන්නෙ නැහැ. ඒ හිස්බව මගේ එක අරමුණක්. එය අලුත් අදහස් ගලා එන්න උත්තේජනයක්.
හැරී : නවකතාකරුවෙක්, සංගීතඥයෙක් හෝ චිත්‍රපට නිෂ්පාදකයෙක් කියන්නෙ නිරීක්ෂකයෙක්. නමුත් ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම් මිනිස්සු ඔබව නිරීක්ෂණය කරනවා. ඒක ඔබ දන්නවා. මිනිස්සු ඔබ වෙනස් කෙනෙක් විදිහට දකින එක. දුවද්දි මට සැහැල්ලුවක් දැනෙනව. එතකොට අපිත් නිරීක්ෂකයො. වඩාත් සාමාන්‍ය ලෙස නිදහසෙ ඉන්න පුළුවන්. ඔබට කිසිවක් අවශ්‍ය නැහැ, සපත්තු දෙකක් විතරයි වුවමනා.
මුරකමි – ආහ්, මට ඒක ලොකුවටම දැනෙන්නෙ නැහැ. නවකතාකරුවෙක් විදිහට. ඔබේ රැකියාවේදී වගේ ලොකු නිරීක්ෂණයක් මට අවශ්‍ය නැහැ. ලේඛකයෙක් විදිහට මට අවශ්‍ය හැමදේකම රැඳිලා ඉන්න පුළුවන්. කිසිවෙක්ව මුණ නොගැසී වුවත්.
හැරී – මම ඔබේ don’t feel sorry for yourself, only assholes do that කියන ප්‍රකාශයට කැමතියි. ඒ වගේම ඔබ උදේ ආහාරය ගැනීමට වාඩි වී සිටීම හෝ බියර් පානය කිරීම කවි වලින් විග්‍රහ කරන අන්දමත් අපූරුයි.
මුරකමි – මම, මා ඉදිරිපිට ඇති එදිනෙදා දේවල් අගය කරනවා. එය ඔබ ලෝකය දකින ආකාරය වෙනස් කරනවා.
හැරී – ඔබ රිය පදවනකොට ඔබට නොපෙනෙන දේවල් බිම් මට්ටමේදී පෙනෙන්නට ගන්නවා. මට මග හැරුණු බොහෝ ප්‍රදේශ තිබුණා. ඒ වගේම One Direction එකේ අපි හෝටල්වල වැඩි කාලයක් ගත කළා, මම ඇත්තටම නොගිය රටවල් තියෙනවා. මම දැන් සංචාරය කරනකොට දුවනකොට ඒ දේවල් අත්විඳින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකට. සාමාන්‍යයෙන් දුවන්න කලින් මම මට හොයාගන්න ලැබෙන ලොකුම ක්‍රොසන්ට් එක කනවා. ඒ කාලෙ මම ඇඟ ගැන හිතුවෙ නැහැ. නිතරම තුවාලත් වුණා. දැන් මට අමාරු දවසක වුණත් නැගිටල දිව්වම දැනෙන්නෙ ලොකු තෘප්තියක්. මම සාමාන්‍යයෙන් වතුර ගොඩක් බොනවා. (හැරී පවසන්නේ ලන්ඩනයේ වීදි හරහා දිව යන ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීමේ අවධානම එතරම් නොසිතිය යුතු බවයි.) මොකද අපි දුවන ගමන් ඉන්නෙ. මාව දකින අය විපරමින් බලනව. අනේ ඒ එයා කියනවා. එයාලා උනන්දු වෙනකොටත් මම එතනින් ගිහින් ඉවරයි.

මුරකමි – මට නම් එක්තරා ආකාරයකින් දිවීම ගොඩක් හුදකලා දෙයක්. තනිව සිටින නමුත් වෙලාවකට අනිත් දුවන අය එක්කත් දුවනවා. දිවීම පිළිබඳ මගේ පොත බොහෝ භාෂාවලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා ලෝකයේ කොහේ ගියත් මම දුවනකොට ගොඩක් අය මාව අඳුනගෙන කතා කරනවා. යන ඕනෑම තැනක, මට මිතුරෙක් ඉන්නවා.
හැරී – ඒ පොතේ පළමු ඡේදයේ ඔබ කියා සිටින්නේ මහත්මයෙක් ඔහු පෙම් කළ කාන්තාවන් ගැන හෝ ඔහු ගෙවූ බද්ද ගැන කතා නොකරන බව ප්‍රසිද්ධ කියමනක් කියලා. එහෙනම් ඔබ පිළිගන්නවා ඔබ එය ද නිර්මාණය කර ඇති බව. නමුත් ඇත්තටම මිනිසුන් නිරෝගීව සිටින ආකාරය ගැන කතා නොකළ යුතු බව.
මුරකමි – හාස්‍යජනක හැඟීමකින් දිවීම ගැන පොතක් ආරම්භ කිරීම අපූරුයි. ඔබ පැවසූ සාමාන්‍ය පුද්ගලයා යම් ආකාරයක අද්භූත චරිතයක් නොවෙයි. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඔබ ගැන මගේ ප්‍රියතම දේ නම් මම ඔබ පිලිබඳව ඇත්තටම කිසිවක් නොදැන සිටීම. ඔබ මිනිසුන්ට ලබා දුන් දේවල් හැරෙන්න. ඉතින් ඔබ අප සමඟ බෙදා ගැනීමට තෝරා ගත් දේට වඩා ඔබටම තබා ගැනීමට තෝරා ගත් දේවලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔබ ගී පද රචනා කරනවා නේද? ඒක නියමයි. මම නිතරම කල්පනා කරනවා, නිර්මාණශීලිත්වය කියන්නේ මොකක්ද කියලා? මම අවුරුදු 45ක් විතර පොත් ලියමින්, යමක් නිර්මාණය කරමින් ඉන්නවා, නමුත් නිර්මාණශීලිත්වය කියන්නේ මොකක්ද කියලා මම තාම දන්නේ නැහැ. මා තුළ යමක් තියෙනවා, නමුත් මට එය කැමැත්තෙන් ග්‍රහණය කරගන්න බැහැ. මොකද, අහ්, ඒක මට එනවා. මම ලිවීම අවසන් කරද්දිම, එය නැති වෙලා යනවා. ඒක නැවත එනකම් මම බලාගෙන ඉන්නවා. නමුත් බලා සිටීම පහසු දෙයක් නෙවෙයි. සමහර විට එය හරිම අමාරුයි, මොකද ඒක ආපහු එයිද කියලා ඔබට විශ්වාස නැහැ. නමුත් ඔබට බලා ඉන්න සිදු වෙනවා.
හැරී – ඔව්. ඒ බලා සිටීම තරමක් කම්මැලියි. ඒ නිසා සමහර විට එය සහ ධාවනය අතර ඇති සම්බන්ධය ඔබ භුක්ති විඳින දෙයයි. නිර්මාණශීලීත්වය ස්පර්ශ කළ නොහැකි දෙයක් වීමත් සමඟ, එය ආත්මීයයි. නමුත් එවිට ඔබට ආරම්භයක් සහ අවසන් රේඛාවක් තියෙනවා. නිර්මාණශීලීත්වයට අවසානයක් නැහැ. musician කෙනෙක් විදිහට මටත් එය බලපානවා. නමුත් දිවීම යනු ඔබ සමඟ තරඟයක්.




