රුපියල් දහය, ජේ.ආර්. සහ කම්කරු දිනය
තවත් මැයි දිනයක් අහවර විය. එයත් වෙනදා මෙන්ම රතු, නිල්, කොළ පාට සන්දර්ශනයකින් අවසන් විය. ලංකාවේ කම්කරුවෝ යනු එක් එක් දේශපාලන පක්ෂවල පසුපස යමින් කෑ කෝ ගසන්නෝද? උද්ඝෝෂණ, වැඩ වර්ජන, වීදි සටන් හා ජීවිත පූජා කිරීම් මැදින් ගලා යන ලෝක කම්කරු ව්‍යාපාරයට අද සිද්ධ වී ඇත්තේ හාම්පුතුන්ව නඩත්තු කරන දේශපාලන පක්ෂවල හොරණෑ වන්නටය.
මුල් නිමිත්ත
1886 මැයි 4 වැනිදා ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් ”හේමාකට් අරගලය” ලොව ප්‍රථම කම්කරු සටන ලෙස ආදර්ශයකොට ගෙන ඇත. එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවෝ එකොළහක් මරුමුවට පත්වූහ. තුවාල ලැබූ කම්කරුවන් ගණන 130ක් වෙති. අත්අඩංගුවට පත් කම්කරුවෝ ගණන සියයකට අධිකය. අප අද සමරන කම්කරු දිනයේ අතීත කතාව එබඳුය. එතැන් සිට කම්කරුවෝ කොපමණ ප්‍රමාණයක් මේ වන විට මිය ගොස් ඇත්ද? ගුටිකා ඇත්ද? අත්අඩංගුවට පත් වී ඇතිද? පැය අටේ අයිතිය දිනා ගත්තද ඒ පැය අටට සාධාරණ වැටුපක් ලැබේද? ඒ වැටුප ක්‍රමාණුකූලව ගෙවනු ලබද්ද? තවමත් කම්කරුවෝ වහල් මෙහෙයෙන් ගැල වී ඇත්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු වෙනුවට අප තවමත් කම්කරු දිනය, මැයි දිනය, වැඩ කරන කම්කරුවාගේ දිනය ලෙස අදහනුයේ සමරනුයේ බලය රැක ගන්න, බලය ලබා ගන්න වෙර දරන පක්ෂ දේශපාලනයේ තොරම්බල් නොවේද?
මෙරට ආරම්භය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේදීය. එයද හුදු සැණකෙළි ස්රූපයෙනි. කම්කරු ඉතිහාසය ලියන විදිහට මෙරට පළමු මැයි රැලිය පවත්වා ඇත්තේ 1933 වසරේදීය. එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් කෙළවර වී ඇත.
මුද්‍රණ වැඩවර්ජනය
ලංකා ඉතිහාසයේ පළමු සංවිධිත කම්කරු අරගලය ලෙස හැඳින්වෙන්නේ එච්.ඩබ්ලිව්. කේවා සහ සමාගමේ මුද්‍රණ කම්කරුවෝ කළ වැඩ වර්ජනය වෙති. ඒ 1893දීය. එය අසාර්ථක වැඩ වර්ජනයක් වී ඇති මුත් එයත් සමඟ ”මුද්‍රණ කම්කරුවන්ගේ සංගමය” නමින් වෘත්තීය සමිතියක් පිහිටුවා ඇති අතර එය මෙරට පිහිටවූ පළමු වෘත්තීය සමිති ව්‍යාපාරය වේ. ඒ ඉතිහාසයේ ලියා ඇති කතාය.
කරත්තකරුවෝ
එහෙත් ලංකා ඉතිහාසයේ මුල්ම සාර්ථකම වැඩ වර්ජනය වී ඇත්තේ කරත්තකරුවන් දිනයත් කළ මහා වැඩ වර්ජනය වේ. එය වැඩවර්ජනයක් හරහා විශිෂ්ට ජයක් ලැබූ මෙරට ප්‍රථම වැඩවර්ජනයයි. ”කරත්තයක් දක්කාගෙන යන අවස්ථාවේ බෝන් ලීයේ හෝ කරත්තය උඩ වාඩි වී යෑම තහනම් කරමින් කොළඹ නගර සභාව විසින් කරත්තකරුවන්ට පැන වූ රෙගුලාසියට විරුද්ධව මෙම වර්ජනය දියත් කර තිබිණි. ඒ 1906 අගෝස්තු 13 වැනිදාය. ඊට අමතරව කොළඹ වරායේ කම්කරුවන් 5,000ක් 1920 මාර්තු 20දා කළ වැඩවැරුම මෙරට වෘත්තීය සටන් ඉතිහාසයේ ප්‍රථම විශාලතම වැඩ වර්ජනය වී ඇත. එහෙත් කම්කරු ව්‍යාපාරය වාමාංශික පක්ෂ හයිජැක් කළාට පසුත් ඉන්පසු ධනේෂ්වර පක්ෂ ඩැහැගැනීමෙනුත් පසු සිදුවූයේ එකම සන්තෑසියය. එනම් කම්කරුවා පක්ෂ වහලකු වීමය. අදටත් එය එසේමය.
පළමු වෙඩිල්ල
මෙරට කම්කරු ඉතිහාසය තුළ කම්කරු සටනක් අතර තුර මුල්ම ජීවිතය පරිත්‍යාග කළේ ගෝවින්දන්ය. ඒ 1940 ජනවාරි 12 වැනිදාය. මුල්ඔය වතුකම්කරු සටන අතරතුරය. ”වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කාලය මිඩංගු කළ ජෙගනාදන්ගේ සහ ඔහුගේ බිරියගේ ස්ථාන මාරුව අවලංගු කිරීමත්, දෛනික වැටුප ශත 16කින් වැඩි කිරීමත් ඇතුළු ඉල්ලීම් මුල්කරගෙන මෙම අරගලය දියත් වී තිබිණි. පොලිසිය වෙඩි තබන්නේ ඒ විරෝධය අතරතුරය. ගෝවින්දන් මිය යන්නේ එහිදීය. එය මෙරට ප්‍රථම කම්කරු බිල්ලය. එදා සිට අදටත් වතු අයිතීන් දිනා ඇත්ද? අදත් වතු අයිතීන් ඉල්ලා කොතරම් අරගලද? එහෙත් ඒවා හුදු සටන් පාඨවලට එහා නොයන තැනක ගාල් වී වතුවලම හිර වී නැතිද? අතීත වැඩවර්ජන ගැන එබී බැලුයේ ඒවා තුළ යම්කිසි ජීව ගුණයක් කම්කරුවාට ඉතිරි කළ බැවිනි. මෙරට ඉතිහාසය තුළත් කම්කරුවා සිය අයිතීන් වෙනුවෙන් සටන් කළ බව ඉඟි කරන්නටය. ඒ අතීතය දිගේ එන විට ඉන් පසු කම්කරුවා කොතරම් සංවිධානාත්මක වුවද ඊට එරෙහි මර්දනයද ඊට වඩා ශක්තිමත් විය. පාලනය අනුව මර්දනය විවිධ හැඩගත් අතර ප්‍රතිඵලය කැත අවලස්සන හැඩයක් ගත්තේය.
රුපියල් දහය සහ ජේ.ආර්
දිනකට රුපියල් දහයකින් වැටුප් වැඩිකර දෙන ලෙස ඉල්ලා 1980 ජූලි 05 වැනිදා ක්‍රියාත්මක කරන ලද වැඩ වර්ජනය මෙරට ඉතිහාසයේ අමතක නොවන වැඩ වර්ජනයකි. එය එතරම් විශේෂ වනුයේ එය කළ ස්වරූපය අනුව නොව එය පාලනය කළ විදිහ අනුවය. ඉතිහාසය තුළ පාලකයන් විසින් කම්කරුවන් විශාල ප්‍රමාණයක් රැකියාවෙන් දොට්ට දැමූ අවස්ථාව එයයි. එය පාලනය කළේ ජේ.ආර්. ජයවර්ධන රජය විසිනි. එම රජය වර්ජනයට එක් වූ සේවකයන් 40,356 දෙනකුගේ රැකියා අහිමි කළ අතර පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානිකර ගත්හ. උද්ඝෝෂණවලට ලයිසන් ප්‍රහාර මෙන්ම මැර ප්‍රහාරද දියත් විය. දේදුවගේ සෝමපාල නම් කම්කරුවා ජීවිතයෙන් වන්දි ගෙවනුයේ ඒ මැර ප්‍රහාරයකිනි. විවෘත ආර්ථික රටාව හඳුන්වා දුන් ජේ.ආර්. කම්කරු සටන් පාලනයටද නව මුහුණුවරක් හඳුන්වා දුන්නෙ එලෙසය. එදා ඒ කම්කරු සටන්වලට තිඹිරිගෙය වූ වැල්ලවත්ත රෙදි මෝල තිබූ තැන අද ඉතිහාසය වළලා දමා දැවැන්ත ෂොපිං මෝල් ඉදිවී ධනපති නිවාස සංකීර්ණද ඉදිවී ඇත. ඉන්පසු ඕනෑ තරම් වැඩ වැරුම් විය. කොතරම් අරගල වැඩවර්ජන කළාද ඒවා හුදු සංකේතාත්මක විරෝධතා මිස ප්‍රතිඵල ගෙන දෙන ඒවා නොවීය. ඒවායෙන් ඉතිරි වූ ප්‍රතිඵලත් කටුකය.
රොෂෙන් චානක
2011 වසරේ මහින්ද රාජපක්ෂ රජය විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් රටපුරා පැතිරුණු කම්කරු සටනද මෙරට කම්කරු සටන් අතර සලකුණකි. එම පනතට විරුද්ධව කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක පිරිස් විසින් පැවැත් වූ උද්ඝෝෂණයක් මැඬපැවැත්වීමේදී රොෂේන් චානක රත්නසේකර නම් තරුණයා වෙඩි වැදී මිය ගියේය. එය ලොකු දේශපාලන සටන් පාඨයක් විය. මෙය රාජපක්ෂ දේශපාලනය තුළ ඉතිරි කළ අවැඩක් කියන්නට හොඳ සාධකයක් විය. එහෙත් එදා එය කරපින්නා ගත් රොෂේන්ලා උසි ගැන්වූ අය ඒ මිනියට කර ගැසූ අයම එම පනත නැවත ගෙන ඒ නම් මොන තරම් සරදමක්ද? බලය ඇති අය කම්කරුවාව පාලනය කරන තරමටම බලය නැති අය කම්කරුවා පාවිච්චි කරති. මේ රාමුව තුළ කම්කරුවා යනු රූකඩයක් වී ඇත. පෞද්ගලික ආයතනවල වෘත්තීය සමිති තහනම්ය. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනු තබා ඒ ගැන කිසිත් නොදන්නා කම්කරුවෙක් පෞද්ගලික ආයතන නිර්මාණය කරගෙන ඇත. ඒ අයට මැයි දිනය අදාළ නැත. ඔවුන් එදිනටද වැඩය. අතිකාල ඇමට දමා කම්කරුවා බැඳ තැබීම පාලකයෝ අපූරුවට කර ඇත. පැය අටේ සටන පැය දහ අට වුවද ජීවිතය ගැට ගසාගන්නට කම්කරුවෝ වෙහෙසෙති. ඇත්ත එයය. තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාධීනව බලමුලු ගැන්වෙනු වෙනුවට අරගල තෝරා ගැනීම කම්කරුවෝ අතහැර ඇත. අරගල කර දොට්ට වැටෙන එක කම්කරුවකු වෙනුවෙන් ඒ හිඩැස පුරවන්නට එළියේ විරැකියාවෙන් පෙළෙන සියයක් සිටිති. දහදෙනෙක් කළ වැඩ පස්දෙනෙක් ඉවත් වුවද ඉතිරි පස්දෙනා දහයගේම වැඩ කරන්නට ලෑස්තිය. අවශ්‍ය වැඩිපුර කීයක් හරි පමණය. අද කම්කරුවා එදාට වඩා වහලෙකි. ජීවන අරගලය විසින් කම්කරු අරගල හෑල්ලු කර ඇත. ඒවා දේශපාලන මැයි දිනවල සටන් පාඨ පමණක් වී ඇත. පාලන තන්ත්‍රයද කම්කරු අයිතිවාසිකම් අහකට කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ උපදෙස් සහ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන රොබෝවරු වී ඇත. ”එක් කර්මාන්තයක් සඳහා එක් වෘත්තීය සමිතියක්” වැනි සටන් පාඨ අද වන විට බොල් වූ හිස් වදන්ය. මැයි දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කළේ 1956දීය. එතැන් පටන් ඒ දිනය දේශපාලන හයිකාරකම පෙන්වන තම පාක්ෂිකයන් සමඟ බලය රැක ගන්නා බලය අල්ලන බල ව්‍යාපෘතිවල තවත් දවසක් වී ඇත.
කම්කරු තරගය
මැයි දිනය රාජ්‍ය අංශය බැංකු හා වෙළෙඳ අංශ සඳහා නිවාඩු දිනයක් වුවද එදිනත් වැඩ කරන කම්කරුවෝ සිටිති. ඒ වැඩ කරන කම්කරුවා වෙනුවෙන් සමරන කොන්ත්‍රාත්තුව අද දේශපාලන පක්ෂ සියතට ගෙන ඇත. හොඳම මැයි රැලිය සාර්ථකම මැයි පෙළපාළිය කෙසේ හෝ සෙනඟ අද්දවා පෙන්වීමේ වික්‍රමය කිරීමට හැම පක්ෂයක්ම වෙහෙසෙනු පෙනේ. කම්කරුවන්ටද ඒ ඒ මත අනුව ඒ ඒ කෝව තුළ කරක් ගැසිය හැකිය. ඒ සියල්ල අතර කියන්නට වුවමනා අප අද භුක්ති විඳින අයිතිවාසිකම් හා ගරුත්වයන් වෙනුවෙන් මිනිසුන් සටන් කළ දිවි පිදූ ඉතිහාසයක් ඇති බවය. ඒ ඉතිහාසය උසිගන්වනුයේ තව දිනා ගන්නට බොහෝ දේ ඇති බවය. පැය අටේ වැඩ දිනයක් දිනා දෙන්නට එදා මිනිසුන් කොයි රටක හෝ කොයියම් තැනක හෝ දිවිපිදූ බව අමතක නොකළ යුතුය. සෙනසුරාදා වරුවක් නිවාඩු ලබන්නට එදා පිරිසක් බොහෝ කැපකිරීම් කර ඇති බව අමතක නොකළ යුතුය. එදාට සාපේක්ෂව අද තත්ත්වය වෙනස්ය. කම්කරුවාද වෙනස්ය. එසේ නම් අරගලත් වෙනස් විය යුතු නැද්ද? වසරක් පාසා කම්කරුවාගේ මැයි දිනය බල කරනුයේ එය හිතන්නටය. පක්ෂය පාට හාම්පුත්තු අපට හිතන්නට ඉඩ නොදෙන්නේද එයමය.




