කුමෝගේ පාරාදීසය – At 8:57 I was in Heaven
කුමෝ සිටියේ සිය දෑත් අතරේ උණුසුම් කෝපි කෝප්පය තබා ගෙන, හිරු උදාව නරඹමිනි. දිගු රාත්‍රී වැඩ මුරයකට පසුව නින්දට යෑම අවැසි වුවත් ඇය මේ බලා සිටින්නේ ලියුම්කරු පැමිණෙන තෙක් ය. ලියුම්කරු ඩේවිස් ඉක්මනින්ම පැමිණෙනු ඇත. ලියුම් පිරී තිබූ ඔහුගේ බෑගය පිපිරෙන්නට ආසන්නය. කුමෝ කිහිප වතාවක්ම එය මසා දෙන්නට ඉදිරිපත් වුවත් ඔහු එයට කැමති නොවීය. ඩේවිස් ඇගෙන් පිළිගත් එකම දේ වතුර බෝතලයක් පමණි. එය බීගෙන, බීගෙන යන ඔහු අනතුරුව ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරයි. ඇයට සුබ දවසක් යනු හොඳ නින්දක් ලැබිය හැකි දවසකි.
ලියුම් එන තුරු බලා සිටීම කුමෝට සාමාන්‍ය දෙයකි. ඇගේ සහෝදරියන් ඇයට නිතර ලිව්වාය. ඔවුන්ගේ නිහඬ බව ඇය තරහ ගැන්නුවද, කුමෝ ඔවුන්ට පිළිතුරු ලිව්වේ කලාතුරකිනි. ඔවුන් එවූ සෑම ලිපියක්ම ඇය කුඩා පෙට්ටියක පිළිවෙලට අසුරා තැබුවාය. නමුත් දැන් තත්වය වෙනස් වී ඇත. හය මාසයක් තිස්සේම ඔවුන්ගෙන් ලිපියක් නොවීය. මිකා සහ හොනෝකා කාර්යබහුල බව කුමෝ දැන උන්නාය. ඔවුන් දෙදෙනාම හමුදාවේ සේවය කළෝය. ජීවිත වෙනුවෙන් සටන් කරමින්, දින ගණනාවක් ඇවිදිමින්, පුහුණුවීම්වල නියැලෙමින් ජීවත් විය. හොනෝකා පැවසුවේ තමාට ලිවීමට අපහසු බවයි. පෑන අතට ගත්විට දෑස් බොඳවන බවත් දෙඅත් වෙව්ලන්නට ගන්නා බවත් ඇය සඳහන් කළාය. නමුත් මිකාට ලිවිය හැක. ඉතින් මාස හයක ප්‍රමාදයට හේතුව කුමක්ද?

කුමෝ දිගු වෙලාවක් මේ ගැන කල්පනා කළාය. සමහරවිට ඔවුන් පෙර නොවූ අන්දමට කාර්යබහුල වෙන්නට ඇත. සමහර විට භයානක යමක් සිද්ධ වී තිබෙන්නටත් පුළුවන. ඔවුන් ජීවතුන් අතර බව ඇය සිතුවාය. සමහර වෙලාවට ඇය පවුලේ උදවිය නොමැතිව ජීවත්වෙන අයුරු කල්පනා කළාය. එම සිතිවිල්ලෙන් පවා ඇයට දැනුනේ ක්ලාන්ත ගතියකි. තමාටත් ඔවුන් සමග එක්විය හැකිනම්? කුමෝ වෛද්‍යවරියක් ලෙස පුහුණුව ලබා ගත්තාය. ඇයට අවියක් අතට ගැනීමේ උවමනාවක් නොවිණි. හොනෝකා සහ මිකා ආයුධ යනු මෙවලමක් බව පැවසුවත් මිකාට දැනුනේ ඒවා මිනිසුන් මරා දැමීමට මිසක වෙනත් දෙයක් සිදු කල නොහැකි දේවල් පමණක්ම ලෙසයි. ඇය මිනිස්සු සුවපත් කළාය. රුධිරය දැකීම ඈව බියට පත් කළේ නැත. තුවාල සාමාන්‍ය දේවල් විය. නමුත් සමහර වෙලාවට ඇය පැකිළුණි. වෛද්‍යවරියකට සියළු රෝගීන් බේරාගත නොහැක. සමහර වෙලාවට ඇයට වරදකාරිත්වයක්, බියක් දැණුනි. සියල්ලන් බේරා ගැනීමට හැකි වූවානම්? කුමෝට යථාර්ථයට මුහුණ දීමට අවශ්‍ය ධෛර්යය නොවීය. ඇය වඩාත්ම කැමති වූයේ නිවසට වී සිටීමටයි. හැම සතියකම ඩේවිස් හමුවීමට යෑමට. සහෝදරියන් කුමක් පැවසුවත් කුමෝ ක්‍රියාශීලී ජීවිතයක් ප්‍රිය නොකළාය.
හොනොකා හමුදාවට බැඳුනේ ජීවිතයට වෙනසක් අවැසි නිසා වන අතර, මිකාද ඇයව අනුගමනය කළාය. කුමෝ හොනොකාව අගය කළාය. ඇය තමාට අවශ්‍ය දේ දැන සිටියාය. ඇය ඉගෙනීමට දක්ෂ නොවුවද තමා ගැන හොඳින් අවබෝධ කරගෙන තිබේ. මිකා නම් කියන්නේ හොනොකාට වඩා කවුරුත්ම හොනොකාව නොදන්නා බවයි. මිකා සහෝදරියන් දෙදෙනාටම ප්‍රතිවිරුද්ධ විය. ඇයට හැඟීම් ගැඹුරින් දැනුණු අතර අමුතු දේවල් ගැන ලැජ්ජා විය. ඇය හොනොකා සමඟ හමුදාවට යන බව පැවසූ විට එය සියල්ලන්ම කම්පනයට පත් කළේය. ඇය සටන්කාරියක නොවේ. යමෙකු උරහිසට තට්ටුවක් දැමුවද ඈ බියට පත් වේ. ඒත් සිය වචනය සුරකිමින් ඇයත් හොනොකා හා යන්න ගියාය.

කුමෝ ඇගේ පුටුවේ පිටුපසට හේත්තු වූවාය. දැන් හිරු ක්ෂිතිජයට ඉහළිනි. ඇගේ සහෝදරියන් ගැන සිතීමෙන් ඇයට යහපතක් සිදු නොවනු ඇත. ඉදිරියේදී ඇති විය හැකි දේ ගැන බිය නොවී ඇය ඉදිරියේ ඇති දේවල් අගය කිරීමට ඉගෙන ගත යුතුය. කුමෝ ඇගේ සමට වැටෙන හිරු එළියේ උණුසුම, පිජාමාවෙන් සිටින විට දැනෙන සුවපහසුව ගැන සිතුවාය. ඇස් පියාගතහොත් නින්ද යන බැවින් ඈ අවදිව සිටියාය.
“මිස් කුමෝ”
තරුණ පිරිමි කටහඬක් ඇසිණි.
“මිස් කුමෝ”
කුමෝ වහ වහා නැඟිට තේ කෝප්පය බිම තබා වතුර බෝතලය අතට ගත්තාය. ඩේවිස් ඇය ඉදිරියට දුවගෙන ආවේය. ඔහුගේ දුඹුරු පැහැති හිසකෙස් අව්වට දිලිසුණ අතර නළලට දහඩිය දමා තිබුණි. නිල් පැහැ නිල ඇඳුම ඩේවිස්ට මනාව ගැළපේ. ඇය ඔහු හා සිනාසුනාය.
“හෙලෝ, ඩේවිස්”
ඇය සෙමෙන් පැවසුවාය.
“ඔයාට කොහොමද?”
ඩේවිස් ඔහුගේ තොප්පිය නැවත සකස් කර, ඔහුගේ පපුව ආඩම්බරයෙන් පිම්බුවේය.
“හොඳයි, මැඩම්! දැන්, මම මෙතන්ට ආවේ ලියුම් බෙදන්න මිසක් කතා කර කර ඉන්න නෙමේ.”
කුමෝට සිනහ ගියේය.




