මේ දිනවල ලංකාවේ පැතිරෙන අලුත්ම රෝග තත්වය meningitis
වෛද්‍යතුමනි, මේ දවස්වල meningitis රෝගය ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. මොකක්ද මේ රෝගී තත්වය?
අපගේ මොළය වටා මෙනින්ජීස් නමැති පටලයක් ඇත. එම මෙනින්ජ පටලවල ඇතිවන ආසාදන තත්වය ”මෙනින්ජයිටිස්’ Meningitis” නමින් හැඳින්වේ. ඒ අනුව වයිරස්, බැක්ටීරියා සහ දිලීරවල බලපෑම නිසා මෙනින්ජයිටිස් වැළඳිය හැකිය. ඊට අමතරව Autoimmune එනම් තම සිරුරේ ප්‍රතිදේහ මගින් ද මෙනින්ජයිටිස් වැළඳීමට පුළුවන. ඒ වගේම අප අමතක නොකළ යුතු තවත් රෝගී තත්වයක් වන ක්ෂය රෝගය නිසාද මෙනින්ජයිටිස් තත්වය ඇතිවේ. එනම් නිසි ප්‍රතිකාර නොලත් දිගු කාලීන කැස්ස තත්වය මීට ප්‍රධානම හේතුවය. ඒ අනුව මෙනින්ජයිටිස් යනු සරලවම මොළය වටා ඇති ආවරණයේ පැසවීමකි. මේ අනුව මොළයටත් යම්කිසි ආසාදනයක් වූ විට ඒ තත්වය මෙනිංගොඑන්සෙෆලයිටිස් Meningoencephalitis වශයෙන් හැඳින්වේ.

මේ රෝගී තත්වය ඇතිවෙන්නේ ළමයින්ට විතරද ?
මෙනින්ජයිටිස් තත්වය ළමයින් අතරේ පමණක් නොව ඕනෑම වයසක පසු වන පුද්ගලයකු ගොදුරු විය හැකි රෝගයකි. වයිරස්, බැක්ටීරියා, දිලීර ආශ්‍රිත රෝග බාල, තරුණ, මහළු ඕනෑම අවධියක පසු වන්නන්ට වැළඳීමේ අවධානම ඇත.
මොනවද ඇතිවන රෝග ලක්ෂණ?
මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ වශයෙන් උණ, හිසරදය, වමනය සේම වලිප්පු තත්වය වුවද ඇති වේ. තවද ආලෝකය දෙස බැලීමේ අපහසුතාව, තද හිසරුදාව සමග වමනයත්, බෙල්ල නැවීමට බැරි අපහසුතාවකුත් දැනේ. මෙකී රෝග ලක්ෂණ උණ ගතිය සමඟම ඇරැඹේ.
ඉහත රෝග ලක්ෂණ බොහොමයක්ම වෙනත් රෝගවලටත් පොදුයි. මේ රෝගයමයි කියලා තහවුරු කර ගන්නේ කොහොමද?
යම්කිසි රෝග ලක්ෂණයක් ඇතිවූ පමණින් පරීක්ෂණ සිදු නොකොට රෝගී තත්වය සැක හැර දැනගත නොහැකි අතර රෝගියා සිදු කරගත යුතු පරීක්ෂණ කිහිපයක්ම ඇත. ඉහත රෝග ලක්ෂණ කිසියම් හෝ රෝගියකු පැවසූ විට බෙල්ල නැමීමේ අපහසුතාවක් ඇත්නම් වෛද්‍යවරුන් බාහිර වශයෙන් ද පරීක්‍ෂා කර බලන අවස්ථාද ඇත. ඒ හැරුණු කොට සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදුකර ගැනීම, C Reactive protein test, Blood culture ආදී පරීක්ෂණ සිදු කරගත හැකිය. ඊට අමතරව සුෂුම්නා තරලය පරීක්ෂාවට ලක් කෙරේ. ඉහත සුෂුම්නා තරල පරීක්‍ෂණය මගින් රෝගී තත්වයේ ස්වභාවය එනම් මොළයට විසබීජ යෑමක් ද වයිරස් තත්වයක්ද, දිලීර හෝ බැක්ටීරියා තත්වයක්ද නොඑසේනම් ක්ෂය රෝගය නිසා ඇති වූවක්ද නිශ්චිත නිගමනයකට එළැඹීමේ හැකියාව ඇත.
මෙම රෝගය බෝ වෙනවාද?
මෙනින්ජයිටිස් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකු කරා ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතී. සාමාන්‍යයෙන් වයිරස්, බැක්ටීරියා තත්ව පහසුවෙන්ම අන් අය කරා ව්‍යාප්ත වීමේ හැකියාව සතුය. ඇතැම් වයිරස් ස්වසන මාර්ගය ඔස්සේ නාසයට ඇවිත් කන ඔස්සේ මොළයට යා හැකිය. තවත් සමහරක් ආහාර මාර්ගය ඔස්සේ රුධිරයට මිශ්‍රවී මොළය කරා යාමේ හැකියාව ඇත.

ප්‍රතිකාර විදිහට කෙරෙන්නෙ මොනවද?
සුෂුම්නා තරල පරීක්ෂාව මගින් මෙනින්ජයිටිස් යැයි නිශ්චය කරනු ලැබූ රෝගීන්හට ප්‍රතිකාර දෙනුයේ වයස පදනම් කර ගනිමිනි. ඒ අනුව මාසයකට අඩු දරුවකු මෙම රෝගයට ගොදුරු වී ඇත්නම් අඛණ්ඩව සති තුනක් පමණ ප්‍රතිකාර ලබාගත යුතුවේ. ඊට අමතරව මාසයට වැඩි සියලුම අය සඳහා සති දෙකක් යනතුරු නොකඩවා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්ය.
ප්‍රතිශක්තිකරණ ලබා තිබීමේ වැදගත්කම කෙබඳුද?
ප්‍රතිශක්තිකරණ එන්නත් සමහරකට රෝගය වළක්වාලීමේ හැකියාව ඇත. ඒ අනුව නියුමොකොකල්, මෙනිංගොකොකල් සඳහාද ප්‍රතිශක්තිකරණ පවතී. තවද ක්ෂය රෝගයට පවා ප්‍රතිශක්තිකරණ හඳුන්වා දී ඇත. කිසිම ප්‍රතිශක්තීකරණ එන්නතක් ලබා නොගත් පුද්ගලයන්ටද මෙනින්ජයිටිස් වැළඳීමේ අවධානම ඇත. එසේම අපේ රටේ ලබා නොදෙන ප්‍රතිශක්තීකරණ පවා ඇත. කෙසේ වුවත් අදාල රෝගී තත්වය අනුව ප්‍රතිශක්තීකරණය ලබා ගත යුතුය. එදවස Hemophilus influenzae පංච සංයුත්ත ප්‍රතිශක්තිකරණය නිසාද මෙනින්ජයිටිස් වැළඳුණු අතර දැන් ඒ සඳහා ලබා දෙන නව ප්‍රතිශක්තිකරණය හේතුවෙන් මෙනින්ජයිටිස් වැළඳෙන්නේ නැත. අදාළ බැක්ටීරියාවට ලබා දෙන ප්‍රතිශක්තිකරණ නිසාවෙන් මොළයට බරපතළ හානි සිදුවීම එමගින් වැළකේ.
ඇන්ටිබයොටික්ස් ගැනීම අනිවාර්යද?
මෙකී රෝගය වැළඳුණු රෝගීන් සමහරකට ප්‍රති ජීවක ලබාදිය යුතුවේ. නොපමාව රෝගයට ප්‍රතිකාර ලබා ගත් විට තමාට දැනෙන අපහසුතා මෙන්ම රෝග ව්‍යාප්තිය සෙසු පාර්ශව කරා ව්‍යාප්ත වීමද වළක්වා ගත හැකි වනු ඇත.
මුව ආවරණ දැමීමේ වාසිය?
වයිරස් රෝග ස්වසන රෝගවලදී මුව ආවරණ භාවිතය තුළින් රෝග ව්‍යාප්තියේ යම් මර්දනයක් අපේක්ෂා කෙරේ. රටේ සියලුම දෙනා මුව ආවරණ දැමීම මින් අදහස් නොකෙරෙන අතර රෝගී පුද්ගලයා පමණක් මුව ආවරණය පැළඳීම මගින් වෙනත් පාර්ශව කරා රෝග බෝවීම නවතාලිය හැකිය. ඒ අනුව කෙටි කාලයක් තුළ වයිරස් රෝගී තත්වයක් යම් පාසලක හෝ පන්තියේ හෝ ළදරු පාසලක ව්‍යාප්ත වේ යැයි හැඟේ නම් මුව ආවරණය නිවැරැදිව භාවිත කිරීමේ කිසිදු ගැටළුවක් නොමැත. ඉන්ෆ්ලුවන්සා තත්වයකදී වුවද රෝගීන් පමණක් නිවැරැදි අයුරින් මුව ආවරණ පැළඳිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි.
රෝගීන්ගේ සුවයට බේත් වගේම ආහාර පාන වැදගත් වෙන්නෙ කොහොමද?
රෝගී පුද්ගලයකුගේ පෝෂණය නොඑසේ නම් ආහාර ලබාදීම ගැන කතා කළොත් ආහාර සැකසීමේ සිටම පිරිසුදු බව රැකිය යුතුය. ඒ වගේම හොඳින් උණු කර නිවා ගත් ජලය පානය කිරීම අත්‍යවශ්‍යය.

අවධානම් පිරිස් කවුද?
රෝගයේ අවදානම් පාර්ශව ගැන කතාබහ කරද්දී ප්‍රතිශක්තිකරණය අඩු දරුවන්, නිදන්ගත රෝගීන් සහ ගැබිණි මවුවරුන් සඳහන් කළ හැකිය.
අතුරු ආබාධ ගැනත් අපි ජනතාව දැනුවත් කළොත් හොඳයි නේද?
රෝගයට ගොදුරු වීමෙන් අනතුරුව අතුරු ආබාධ කිහිපයක් ගැන ඔබ දැනුවත් වීම වැදගත්ය. එනම් ශ්‍රවණ අපහසුතා මතුවීමට හැකිය. කුඩා දරුවකුට මෙනින්ජයිටිස් වැළඳුණහොත් කන් ඇසීමේ අපහසුතා ඇති ඇති වී කථනය දුර්වල වී යා හැකිය. තවද මොළයේ කුහර විශාල වීමට පුළුවනි. මේ තත්වය Hydrocephalus නම් වේ. සමහර අවස්ථාවලදී මෙනින්ජයිටිස් වැළඳුණු විට මොළයේ පරීක්ෂණ මගින් කුහර නිරීක්‍ෂණය කොට යම් යම් නිගමනවලට වෛද්‍යවරු එළැඹේ. ඒ වගේම අතුරු ආබාධයක් ලෙස වලිප්පුවද (ෆිට් එක), එබඳු රෝගීන්ගේ ශාරීරික මානසික වර්ධනයද අඩුවීම සිදුවේ. බුද්ධි මට්ටම අඩුවීමද සිදුවිය හැකිය. මෙනින්ජයිටිස් හඳුනාගෙන නිසි ප්‍රතිකාර නොලදහොත් ඉහත තත්වය ඇතිවීම වළක්වාලිය නොහැක. සරම්පවලින් පවා මෙනින්ජයිටිස් වැළඳිය හැකි අතර සරම්ප රෝගීන්ට පසු කාලයකදී ඇතිවන මොළයට බලපාන SSP තත්වය ද ඇති වේ.
තමන්ගේ වැක්සින් කාඩ් එක අප්ඩේට් කර ගන්න කියන පණිවුඩයත් මතක් කරමුද?
ඒ අනුව මේ වකවානුවේදී රජය මගින් නොමිලේ ලබාදෙන ප්‍රතිශක්තීකරණය ලබා ගැනීමට සියලු දෙනාටම මතක් කර සිටිමු. .මන්ද ප්‍රතිශක්තිකරණය ලබා නොගත් අයට රෝග වැළඳීමේ හැකියාව ඉහළය. මෙනින්ජයිටිස් වළක්වාලන එන්නත් කිහිපයකි. Hib එන්නත (මෙය මාස 2, 4,6 දී ලබා දේ.) ජැපනිස් එන්සෙෆලයිටිස් එන්නත (මෙම එන්නතද අවුරුද්ද පිරීමේදී ලබා දේ.) JE රෝග ලක්ෂණ පෙන්වන අයගෙන් තුනෙන් එකක්ම මිය යන අතර තව තුනෙන් එකක් මොළයේ ස්ථිර ආබාධවලින් පෙළේ. ඉතිරි තුනෙන් එක සුවය ලබයි. ඉහතින් සඳහන් කළ එන්නත් දෙක එන්නත් කාඩ් පතෙහි සඳහන්ව ඇති අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා නොමිලයේ ලබා ගත හැකිය. ඒ වගේම නිවසේ සුරතලයට ඇති කරන සතුන්වද නිසි කල ප්‍රතිශක්තිකරණය ලබා තිබීමද ඉතාම වැදගත්ය. මන්ද රේබීස් යනු මොළයට දරුණු ලෙස බලපෑම් කළ හැකි තත්වයකි. ලෙඩ රෝග හැදෙන්න කලින් වළක්වා ගැනීම සුදුසු බැවින් ඔබගේ ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත යාවත්කාලීන කර ගැනීම ඔබ සතුය. මෙනින්ජයිටිස් යනු බියවිය යුතු රෝගයක් නොවන අතරම දැනුවත්භාවය සහ ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම මගින් පරාජය කළ හැකි රෝගී තත්වයකි.
කතාබහ
ධාරා අබේනායක විසිනි.







