අපේ රටේ හතර දෙනකුගෙන් එක් කෙනෙකුට ගැස්ට්‍රයිටිස් – Gastritis
අද වන විට බෝවන රෝගවලටත් වඩා බෝනොවන රෝගවල වර්ධනයක් පෙන්නුම් කොට ඇත. බාල, තරුණ, මහලු කිසිදු භේදයක් නොමැතිව මෙකී බෝ නොවන රෝග තර්ජනයට බිලිව ඇත. මෙකී කියමන සනාථ කරමින් අප කවුරුත් හොඳින් දන්නා ගැස්ට්‍රයිටිස් නොඑසේනම් අම්ල පිත්ත රෝගයට මේ වන විට බොහෝ දෙනා ගොදුරුව පීඩා විඳිති. එබැවින් ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ, රෝගය ඇතිවීමට බලපාන හේතු සහ රෝගයෙන් වැළකීමට අප මොනවාද කළ යුත්තේ යන්න පහත ලිපියෙන් විස්තර කෙරේ.
සියයට 25ක් ගෑස්ටික් නිසා පීඩාවට
2021 වසරේ දී ගැස්ට්‍රයිටිස් තත්වය ගැන දිවයින පුරා කළ සමීක්ෂණයකට අනුව විශේෂයෙන් පපුව දැවිල්ල, බඩ දැවිල්ල, උගුරට එන ගතිය වැනි රෝග ලක්ෂණ ජනගහනයෙන් සියයට 25කට පමණ පවතින බව අනාවරණය වී ඇත. ඒ අනුව පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකුට මේ රෝග ලක්ෂණ තිබිය හැකි බවට අනුමාන කෙරේ.

රෝගය හට ගන්නේ ඇයි?
මේ සඳහා විශේෂයෙන් හේතුවන කාරණා ලෙස එම සමීක්ෂණ වාර්තාවම තහවුරු කරන පරිදි වැරැදි ආහාර පුරුදු සහ මානසික ආතතිය ප්‍රධාන කොට දැක්වේ . මින් අපට ඒත්තු ගන්වන පණිවුඩය වන්නේ අපේ ජීවන රටාව වෙනස් කිරීම මගින් මෙකී රෝග ලක්ෂණ වැඩි වීමේ සම්භාවිතාව අඩු කර ගත හැකි බවය.
Gastroesophageal reflux disease හඳුනා ගැනීම
ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ කිහිපයක්ම ඇති අතර මේ අතරින් විශේෂයෙන්ම Gastroesophageal reflux disease ගැන පැහැදිලි කිරීමක් සුදුසුය. මෙහිදී රෝග ලක්ෂණ ලෙස බොහෝ විට බඩ පපුව දැවිල්ල, උගුරට එන ගතිය, නොඑසේනම් උගුරට ඇඹුල් රසයක් දැනීම වැනි ලක්ෂණ බොහෝ විට අපේ නිරීක්ෂණයට හසුවේ.
Dyspepsia තත්වය ගැන දැනුවත්ද?
ඊට අමතරව සමහර රෝගීන්ට උදරයේ උඩ කොටසේ ඇතිවන අපහසුතාවක්, කැක්කුමක්, එසේම බඩ පුරවා දැමීම, සමහර වෙලාවට කෙටි ආහාර වේලකින් කුඩා කෑම ප්‍රමාණයක් ආහාරයට ගත්තද බඩ පුරවා දැමීමක්, බඩට ඇතිවන යම් අපහසුතාවක් ඇත්නම් අප එය Dyspepsia නමින් හඳුන්වයි. උරස් කුහරයේ ගලනාළයට අමතරව හෘදය වස්තුව, උදර කුහරයේ උඩ කොටසේ අක්මාව, පිත්තාශය, පිත නාළ, අග්න්‍යාශය වැනි අවයව ඇති බව අපි දනිමු. මෙකී අවයවවල ඇතිවන අසමානතා නිසාත් සමහර වෙලාවට අපට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ආකාරයටම මතුවීමට පුළුවන. ඊට අමතරව දරුණු පිළිකා තත්වවල මුල් අවස්ථාව විදිහටත් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ මතුවිය හැකිය.

විශේෂයෙන් හෘදයාබාධයකදී ඇතිවන රෝග ලක්ෂණ ලෙස සාමාන්‍යයෙන් වම් පැත්තේ පපුව හිර කරන ස්වභාවයක්, මෙකී කැක්කුම පිටට, වම් අතට විහිදෙන ස්වරූපයක් පැවතිය හැකිය. ඊට අමතරව දහදිය දැමීම, වමනය ගතිය, පපුවේ ස්පන්දනය වැඩිපුර දැනීම වැනි රෝග ලක්ෂණද ඇතිවීමට පුළුවන. විශේෂයෙන් හෘදයාබාධයකදී ඇවිදින විට, දුවන විට සහ පඩි පෙළක් නගිනවිට කැක්කුම් ගතිය වැඩිවේ. එහෙත් ඉතා වයෝවෘද්ධ වැඩිහිටි පුද්ගලයකුගේ සහ දියවැඩියා රෝගියෙකුගේ මේ ලක්ෂණ හෘදයාබාධයකදී ඇති නොවිය හැක. මෙකී ලක්ෂණ නොමැතිව වුවද මෙබඳු පුද්ගලයන්ට හෘදයාබාධ වැළඳීමට පුළුවන. එබැවින් රෝගීන්ට දිය හැකි හොඳම අවවාදය නම්, මෙවැනි රෝග ලක්ෂණ ඇති වූ විට නොපමාව වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු බවය.
මීට අමතරව පිත්තාශයේ ඇතිවන වේදනාව, පිත නාලවල ගල් ගමන් කිරීම නිසා ඇතිවන කැක්කුම ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ලෙසම අපට දැනිය හැකිය . තවද අග්න්‍යාශයේ ඇතිවන අපහසුතා, අසමානතාද මෙකී රෝග ලක්ෂණ වගේම දැනීමට ඉඩකඩ පවතියි. ඒ නිසා හොඳම පණිවුඩය නම් තමන්ගේ රෝග ලක්ෂණවල රෝග නිර්ණය තමන් තීරණය නොකොට ඒ සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වී වැඩිදුර පරීක්ෂණ කළ යුතුද නැද්ද යන්න තහවුරුවක් ලබා ගැනීමය. මෙකී රෝග ලක්ෂණ කුමන හෝ පුද්ගලයකුට ඇත්නම් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඒ සඳහා විශේෂඥ දැනුමැති ආමාශ ,ආන්ත්‍රික හා අක්මාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්ය.
රෝගය ඇතිවීමේ හේතු හා අවදානම් සාධක
විශේෂයෙන් හඳුනාගෙන ඇති පරිදි Helicobacter pylori නම් බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් ගැස්ට්‍රයිටිස් ඇතිවීමේ අවදානමක් පවතී. ඊට අමතරව ඔබ දිගු කාලීනව වේදනා නාශක ඖෂධ ලබා ගන්නවා නම් ඔබට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇති වීමේ අවදානමක්ද ඇත. ඊට අමතරව වැරැදි ජීවන රටාවද මීට හවුල් වේ. ඔබ දුම්පානය, මත්පැන් පානය කරන අයකු නම් ඔබට ඇති අවධානම වැඩිය. ඊට අමතරව අපේ වැරැදි සෞඛ්‍ය පුරුදු ගොන්නට විශේෂයෙන් ආහාර රටාවේ වැරැදි පුරුදු ද ඇතුළත්ය. ඔබ උදෑසන ආහාර වේල මග හරිනවා නම්, ඔබගේ කාර්යබහුලත්වය මත දිවා හා රාත්‍රී ආහාර වේල නොගන්නේ නම් හෝ ප්‍රමාද වේ නම් ඔබට ගැස්ට්‍රයිටිස් ඇතිවීමේ අවදානමක් පවතී.

ගැස්ට්‍රයිටිස් නම් මේ කෑම කන්න එපා
මීට අමතරව අප ගන්නා සමහර ආහාර වර්ග නිසාද ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ වැඩිවිය හැකිය. උදාහරණ ලෙස තෙල් කෑම, පිටි අධික ආහාර ,ඇඹුල් රසැති ආහාර, මිරිස් දැමූ ආහාරද සඳහන් කළ හැකිය. ඊට අමතරව සමහර පාන වර්ග ලෙස කැෆේන් අඩංගු කෝපි, tannin අඩංගු තේ, කාබනේටඩ් පාන වර්ග, සෝඩා ආශ්‍රිත පාන, ඇතමකුට කිරි ආශ්‍රිත ආහාරවලටත් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ වැඩිවීමට පුළුවන. ඉහතින් සඳහන් කළ සියලුම ආහාර සහ පාන වර්ගවලට සෑම රෝගියකුගේම ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ වැඩි නොකරන බව සඳහන් කළ යුතුය. තම රෝගී තත්වය වැඩි වැඩිකරවන ආහාර සහ පාන වර්ග මොනවාද යන්න තමන්ටම තහවුරු කරගත හැකි වේ. යම් කෙනකුට රෝග ලක්ෂණ වැඩි කරවන ආහාර මොනවාදැයි යන්න තහවුරු වූ පසුව ඒවා ගැනීමෙන් වැළකී හිඳීමට පුළුවන.
ස්ට්‍රෙස් එකට බෙහෙත් ගන්න
මීට අමතරව මානසික ආතතියද මේ දිනවල දී අප බහුලව අත්විඳින කාරණයකි. මේ හේතුවෙන්ද ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ වැඩිවීමේ අවධානමක් පවතින බව තහවුරුව ඇත. ගලනාළය සහ ආමාශය අතර ඇති වන කපාටමය තත්වයේ අසමානතා නිසා Hiatal hernia තත්වය හේතුවෙන්ද ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇති වීමේ අවදානම පවතී.
යෝගට් හොඳ නැද්ද?
සමහර රෝගීන් යෝගට් අනුභවය තුළින් ගැස්ට්‍රයිටිස් තත්වය සමනය කර ගැනීමට පුරුදුව සිටිති. එහෙත් අප දැක ඇති අයුරින් යෝගට්වල අඩංගු කිරි ගතිය නිසාවෙන් ආම්ලිකතාවක් වුවද ඇතිවිය හැකිය. ඒ වගේම කිරිවල අඩංගු ලිපිඩ තෙල් සහිත බව නිසා සමහර වෙලාවට සෑම රෝගියකුටම නොවුණද ඇතැමකුට පමණක් ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. එබැවින් කුමන ආහාරය ගත් පසුවද රෝග ලක්ෂණ වැඩි වන්නේ කියා ඔබට පහසුවෙන් නිරීක්‍ෂණය කරගත හැකි අතර එවැනි ආහාර ගැනීමෙන් වැළකී හිඳීමෙන් රෝගී තත්ත්වය මනාව පාලනය කර ගත හැකිය.

ගැස්ට්‍රයිටිස් අඩු වෙද්දි සෙම වැඩි වෙනවද?
Reflux disease – ආමාශයික යුෂ ගලනාළය දිගේ ඉහළට යමින් රෝග ලක්ෂණ මතුවන වෙලාවට නිරන්තරයෙන් කටට ඇඹුල් රසයක් දැනෙන අවස්ථාව දක්වා ද විහිදී යා හැකිය. Reflux තත්වය දරුණු වූ විට දන්ත කුහර ඇතිවීමේ තත්වයද පැන නගී. ඒ අනුව නිතර නිතර මෙයාකාරයේ ආම්ලිකතාවක් උගුර දෙසට ගමන් කිරීම නිසා උගුරේ ඇතිවෙන සමහර ආරක්ෂක ක්‍රියාවලිය නිසා ඇතැම් විට සෙම වගේ දැනෙන ගතියක් ඇතිවේ. ඊට අමතරව අතුරු ආරක්ෂිත ක්‍රියාවලියක් ලෙස නිතරම කැස්ස හට ගනී. එසේ නොමැතිව සෘජුවේ පෙනහලු ආසාදන, පෙනහලු ආශ්‍රිත ආසාදනවලට ලක් වීමක් ගැස්ට්‍රයිටිස් තත්වය හා සෘජුවේ සම්බන්ධතාවක් නොමැත.
ගැස්ට්‍රයිටිස් වළක්වා ගැනීමට කළ යුතු දේ?
මෙකී රෝගී තත්වය වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී ජීවන රටාවේ ඇති කරගත යුතු සමහර පුරුදු ඉතාම වැදගත්ය. මන්ද දිගුකාලීනව ඖෂධ භාවිත කරනවාට වඩා අපගේ ජීවන රටාව වෙනස් කර ගැනීමෙන් පහසුවෙන්ම රෝගී තත්ව ඇතිවීම වළක්වා ගත හැකිය.
අපේ පුරුදු අපිම වෙනස් කර ගනිමු
ජීවන රටාවේ වෙනස් කරගත යුතු මූලිකාංගය අප ගන්නා ආහාරවලට ප්‍රමුඛතාවක් ලබාදීමය. ආහාර වේල මග හැරීමෙන් වැළකීම සේම කුඩා ආහාර ප්‍රමාණයක් වැඩි වාර ගණනාවකදී ඔබ ලබා ගැනීම වැදගත්ය. ඔබ ගන්නා ආහාරය රෝග ලක්ෂණ වැඩි කරන තෙල්, මිරිස්, පිටි ආදියෙන් හැකි පමණ වැළකී සිටින්න. මත්පැන් දුම් පානය කරන අයකු නම් එවැනි ඇබ්බැහිකාරකවලින් මිදෙන්න. තවද ඔබ නිදියන ඉරියව්ව වෙනස් කිරීමද වැදගත්ය. එනම් ඔබගේ හිස පෙදෙස අංශක තිහක්වත් වන පරිදි කොට්ට කිහිපයක් භාවිත කර හිස එසවීමෙන් ආම්ලිකතාව ගලනාළය ඔස්සේ උගුරේ ඉහළට ගමන් කිරීම වළක්වා ගත හැකිය. ඒවගේම ආහාර ගෙන පැයක් දෙකක් යනතුරු නින්දට නොයාමටත් ඔබ මතක තබා ගන්න. දෛනික ජල අවශ්‍යතාව වන ලීටර් දෙකක්, තුනක් පිරිසුදු ජලය පානය කිරීමට වග බලා ගන්න. එසේම ඔබ මානසික ආතතියෙන් පෙළේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුය. මන්ද ඊට ඔබ ප්‍රතිකාර නොලදහොත් ගැස්ට්‍රයිටිස් සඳහා වෛද්‍යවරු විසින් නිර්දේශිත ඖෂධ සේම ඔබ වෙනස් කරගන්නා සමහර පුරුදු වුවද සාර්ථකත්වය අඩු වීමට බලපෑ හැකි නිසාවෙනි.




