Featuresපුනරුදයේ හැකර්ලා

පුනරුදයේ හැකර්ලා

-

spot_img

පුනරුදයේ හැකර්ලා – Renaissance hackers

සත්‍යය, සාධාරණත්වය, සදාචාරය හා නීතියේ පාලනය මත පදනම් වූ ආණ්ඩුවක් ගොඩනඟනවා යැයි පොරොන්දු වූ වත්මන් එන්පීපී ආණ්ඩුවට සිදු වෙමින් පවතිනුයේ කුමක්ද? ඒ කුමක් සිදු වුවද තවමත් ආණ්ඩුවට යන්නන් වාලේ ගොස් යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ යන්නට හැකි වී ඇත්තේ කෙසේද? ආණ්ඩුව පත්ව දින කිහිපයක් තුළ කථානායක ආචාර්ය අශෝක රන්වලට ආචාර්ය උපාධියක් නැතැයි චෝදනාවක් මතු විය. එහෙත් මාලිමා නඩයම එක හඬින් පෙනී සිටියේ රන්වලට ආචාර්ය උපාධියක් ඇති බවත් ඒ ගැන සැකයක් නැති බවය. මුලදී රන්වල ඉවත් කරන තැනක නොසිටි ආණ්ඩුව පසුව කථානායක ඉවත් කරන්නට වූයේ උපාධි සහතිකය ජපානයෙන් ලබා ගැනීමට කාලයක් ගතවන බවත් එය රැගෙන ඒමට ඔහු නිදහස් කරන බව පවසමිනි. මේ ගල් පැලෙන බොරුය. ඇත්තටම රංවලට ජපානයෙන් ලද උපාධි සහතිකයක් ඇති බව රන්වල මෙන්ම ජවිපේ ප්‍රධාන අයද දනිති. එහෙත් එය ඇත්තේ රංවල නමට නොව ජපානයට පලා ගිය ව්‍යාජ නමින් බවද ජවිපේ ඉහළ පෙළේ අය දනිති. ජපානයට පැන ඇත්තේ ව්‍යාජ නමකින් බවත් උපාධි ලබාගෙන ඇත්තේ ඒ නමින් බවත් හෙළිදරව් කරනවාට වඩා උපාධිය හෙළිදරව් නොකර හිඳීම යහපත් බව අවසානයේ ඒ සැම තීන්දුවකට එන්නට ඇත. ආණ්ඩුව එය ඉතා අපූරුවට යට ගැසූයේ රන්වලට කථානායක කමින් ඉවත් වී ආචාර්ය උපාධිය රැගෙන එන ලෙස කීම හරහාය. ආණ්ඩුව ආ අලුත නිසාත් වරදක් නිවැරැදි කර ගැනීමට උත්සාහ ගන්නා බැවිනුත් ජනතාවට කථානායකගේ ආචාර්ය උපාධිය එතරම් ගැටලුවක් නොවූහ. ආචාර්ය මර්වින් සිල්වා වැනි අය දැක පුරුදු ජනතාවට රන්වලගේ ආචාර්ය උපාධිය එතරම් සැකක් මතු නොකළා වුවද වන්නට ඇත.

කෙසේ වුවත් රන්වලගේ නම නැවත කරළියට ආවේ රන්වල සම්බන්ධ වූ රිය අනතුරු සිදුවීමේදී පොලිසිය වංගු දැමීම නිසාය. මීට පෙර ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද තමන්ගේ වුන් රැක ගන්නට ඕනෑම පහත් අයුරකින් පෙනී සිටින බව මේ සිද්ධි දෙකින්ම සනාථ විය. ඉන්පසු ආණ්ඩුවට එල්ල වූ බරපතළ චෝදනාව නම් කන්ටේනර් 323ක් වරායෙන් නිදහස් කිරීමය. එය කවුරු නිදහස් කළාද? ඒවා තුළ කුමක් තිබුණාද අදටත් අබිරහසකි. එයට විවේචන එල්ල වන විට ආණ්ඩුව එය රකින්නට ගත් උත්සාහය කන්ටේනර්වලටත් වඩා උසය. විශාලය. එය බරපතළ ප්‍රශ්නයක් වන තැන එම විෂය භාර ඇමැතිවරයා එම විෂය පතින් බැහැර කොට වෙන අයෙක් ඒ තැනට දැම්මේය. එයින් ජාමේ බේරා ගත්තේය. අවසානයේ වත්මන වන විට කන්ටේනර් පැන්නීමක් නැත. ඒ තුළ මොනවා පැන්නු‍වාද දන්නා කෙනෙක් නැත. ඒ ප්‍රශ්නයත් කන්ටේනර් තුළම අතුරුදන් කළේය.

නැවත වතාවක් මේ ආණ්ඩුවට එල්ල වූ චෝදනාව නම් බාල ගල්අඟුරු ගෙන ඒමේ චෝදනාවය. එයද දන්නා සියලු උප්පරවැට්ටි දමා යට ගැසූ මුත් ආණ්ඩුවේම විගණකාධිපති වාර්තාවෙන් ආණ්ඩුවේ රෙදි උනා දැම්මේය. එනමුත් බල ශක්ති ඇමැතිවරයා ඉවත් කරන්නට කිසිදු උත්සාහයක් ආණ්ඩුව නොගත්තේය. එහෙත් ඒ අල්ල පනල්ලේ ගල්අඟුරු සමාගමේ සභාපතිගේ දුරකථන පණිවිඩයක් ප්‍රසිද්ධ වීම හරහා සැබෑ ගල්අඟුරු මාෆියාව ඒ යට ඉන්නා අය‍ගේ නම් එළියට ඒමත් සමඟ ආණ්ඩුව කළබලව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි සහ ඔහුගේ අමාත්‍යාංශයේ ලේකම් සිය තනතුරුවලින් ඉල්ලා අස් වූ බව දැනුම් දුන්හ. එදා මෙදා තුර සිදුවූ ගල්අඟුරු වංචාවන් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමක්ද පත්කළ අතර ඉවත් වන ඇමැති – ලේකම්‍ දෙපළ කීවේ එම පරීක්ෂණ ස්වාධීනව කරගෙන යෑමට තමන් තනතරුවල ඉඳීම බාධාවක් නිසා ඉවත් වන බවය. ජනතාව කෙසේ වෙතත් ආණ්ඩු පාක්ෂිකයෝ එම ලණුව ගිල දැම්මෝය.

දැන් මතුව ඇති අලුත්ම ප්‍රශ්නය ඕස්ට්‍රේලියාවට ගෙවීමට ඇති ණය මුදල හැකර් කෙනකු අතට ගියේ කෙසේද යන්නය. එනම් මහ භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාව පිළිබඳවය. මෙලෙස වංචාවකින් පැහැර ගෙන ඇති මුදල ඩොලර් මිලියන 2.5කි. දැන් ආණ්ඩුව මේ සිද්ධිය සම්බන්ධයෙන්ද විවිධ කතා කියමින් සිටිති. ඒ ආසන්නතම සිද්ධිය වේ. ඒ අතර පහුගිය කාලයේ ජවිපෙ මැති ඇමැතිලාගේ වත්කම් – බැරකම් ප්‍රකාශ හරහා ඔවුන් ක්ෂණික ධනවතුන් වී ඇති අයුරු ඔප්පු විය. එහි මෑතක සිදුවීම ලාල් කාන්ත ඇමැතිවරයාය. මේ අය මුදල් උපයා ගත් විදිහ ගැන කියනුයේ කිතුලට නැග්ග මිනිහවත් නොකී තරම් ප්‍රලාපය. ඉහත හැම එකකින්ම ඔප්පු වනුයේ මේ ආණ්ඩුව පෙර ආණ්ඩුවලට වඩා අමු තක්කඩියෝ බවය. මේ කිසිවක් පිළිනොගන්නා චින්තනමය වශයෙන් ලාදුරු හැදුණු පිරිසක් වෙති. ඒ අය තම තම කුලකවල හිඳිමින් ආණ්ඩුවේ වැරැදි වහන්නට නොකියන දෙයක් නැත. ආණ්ඩුවේ ජඩ වැඩ හොඳ වැඩ බව පෙන්වීමට සිය උපරිමය කරති. සමහරු ආණ්ඩුව වැරැදි බව පිළිගන්නා අතර එහෙත් මේ ආණ්ඩුව පන්නා නැවැත හොරු ගෙන එන්නේද යන අමන පැනය අසති. ඒ වූ කලී අමුම අමු තක්කඩියෝ වෙති. පැරැණි හොරු ගෙන එනවාද කියමින් අලුත් හොරුන්ට හොරා කන්නට දීම සාධාරණය කළ හැකි වනුයේ කුමන පන්නයේ අයකුටද? හිටපු අය හොරු කියා කම්බ හොරු ගෙනැවිත් ඒ අයට සුදු පිරුවට එතීම මොන තරම් අපභ්‍රංසයක්ද?

මේ ආණ්ඩුව අද පාණ්ඩුව හැදුණු ගානය. මේ රට හුණ්ඩුවක් කී ජනපති හුණ්ඩුවේ දමන සෙල්ලම නම් සුළු පටු නැත. කප්පරක් බොරු කියමින් මේ අය තව කොතෙක් දුර යන්නද? මෙය වූ කලී බරපතළ විනාශයක පෙර නිමිතිය. තමන් කරන ඕනෑම නින්දිත ක්‍රියාවක්, හොරකමක්, වංචාවක් එකාවන්ව එකම පන්නයේ බොරු කියමින් ආරක්ෂා කළ හැකි හොරු රැළක් නිර්මාණය වීම තුළ රටට වන යහපත කුමක්ද? මහ භාණ්ඩාගාරයේ මුදල් සාංඝික දේ ලෙස සලකා හැම සතයක්ම ආරක්ෂා කරනවා කී ජනපති අනුර කුමාර මහ භාණ්ඩාගාර වංචාව නිවැරැදි කරන්නට කියනුයේ මොන කෙප්පද? මීට මාස කිහිපයකට පෙර වූ මෙම වංචාව රටට වසංකරමින් සිටි මේ ආණ්ඩුව අද කියනුයේ කුමක්ද? මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඊට දුන් පිළිතුර නම් හැකර්වරු මහ බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් හොරකම් කිරීමේ සිද්ධිය අපි හැංගුවේ ඒ පිළිබඳ තොරතුරු එළියට ගියොත් හැකර්වරු හැංගෙන්න පුළුවනි. ඉන්න තැන්වලින් පිටත් වෙන්න පුළුවන් නිසයි” යනුවෙනි. එසේ නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මාස ගණනක් මෙය රහසක් ලෙස රැක හැකර්ලා අල්ලා ගෙන තිබිය යුතු නැද්ද? ඔහු දැන් කිව යුත්තේ මෙන්න අපි හොරකමේ සිද්ධිය වසන් කළේ හැකර්ලා අල්ලන තෙක් මෙන්න හැකර්ලා ලෙස සමාජයට හෙළි කිරීම නොවේද? ඒ අහිමි වූ මුදල නැවැත අප සතු කර ගැනීම නොවන්නේද? මේ රවටනුයේ කාවද? තවමත් මේ තක්කඩි කතා පිළිගන්නා ජනතාව බත් කෑම නතර කළ අයහුද?

පැරැන්නෝ ලෝභයාගේ දේ කූඹි කනවා යැයි කීවේ නිකමට නොවේ. “දිට්වා” සුළි කුණාටුවෙන් අවතැන් වූ මිනිසුන්ට තවමත් සාධාරණය ඉටු නොකොට භාණ්ඩාගාරයේ පිරී ඉතිරී යනවා යැයි ඉලක්කම් පෙන්නූ ආණ්ඩුව කොහේදෝ සිටින හැකර්වරයකුට ඩොලර් මිලියන 2.5ක් ලබාදී ඇත. මේ නම් කුමන සරදමක්ද? ආණ්ඩුව ආ සැණින් සියල්ල ඩිජිටල් කරන බවට පුරසාරම් ඇද බෑවේ එහි නියම වැඩකරු හාන්ස් විජේසූරිය එහි නියමුවා කළ බවටද ආඩම්බර වෙමිනි. හාන්ස් ගෝඨාභය කාලයේද මොන මොනවාදෝ කළ මුන් කළ කෙන්ගෙඩියක් නම් නොවීය. අනුර හැත්තෑ හය වසරක ශාපයක් මවමින් මේ වසර එකහමාරටත් අඩු කාලය තුළ කළ හරිය ඕනෑවටත් වඩා වැඩිය. තමන් අන් හැමට වඩා අදක්ෂයෝ බව මේ ආණ්ඩුව ඔප්පු කර අවසන්ය. එපමණක් නොව චරිත ලෙස ගත්තද ඒ අය කිසිවෙක් පෙන්නූ තරම් චරිතවත් නැති බවද මේ වන විට ඔප්පු කොට ඇත. වත්කම් – බැරකම් එළියට එන තෙක් ඒ අය හිඟන මානසිකත්වයෙන් සිටි මුත් ඒවා ප්‍රසිද්ධ වූ පසු ධනපති උම්මන්තක භාවයෙන් පෙළෙන්නට වූහ. ලාල්ට අද සමාජ ප්‍රාග්ධනයක් ඇති මුත් සිය පක්ෂයට හිමිව තිබූ සමාජ ප්‍රාග්ධනය ශීඝ්‍ර ලෙස නාය යන බව ලාල් නොව අනුරවත් කල්පනා නොකරති. නැවැත ජවිපෙ නම් පක්ෂයක් වුවමනා නැති බව මේ අයම වටහා ගෙන ඇත. එයද හොඳ ප්‍රවණතාවකි. මේ ඇත්තටම නව දේශපාලනයක සැබෑ වුවමනාව ඇති කාලයක් උදාවෙමින් ඇති බව පෙනේ. හැත්තෑ හයක දේශපාලන ඉතිහාසය තුළ වහලුන් වී සිටි අය ප්‍රභූන් වීමෙන් ලොකු අලකලංචියක් වී ඇති බව පෙනේ. සාදුකින් පෙළෙන වුන්ට නැඟිටියව් කියා ඇත්තේ හොර ධනපති කණ්ඩායමක් බව දැන් සහතිකය. රැවටීම කෙළවර නැවැත රැවටීම නම් නැවැත නැවැතත් රැවටීම වරදක් වන්නේ ඇයි?

සටහන : ටිරන් කුමාර බංගගමආරච්චි

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you