රත් දෝතළු – 82
උදෑසන ආහාරයෙන් පසුව මාත් අහසුත් එළිමහනේ මඳක් ඇවිදින්නට ගියෙමු. නැවත පැමිණෙන විට සෙල්ලවී දිවා ආහාරයත් සකසන්නට සූදානමින් සිටි අතර මමද ඇයට උදව්වට යෑමට සූදානම් වුවද අහස් මා කැඳවාගෙන කාමරයට ආවේය.
“ඔයා මොකුත් කරන්න යන්න ඕන නැහැ… මා එක්ක ඉන්න…”
ඔහු මා තුරුළුකරගනිමින් කීවේය. පිටතට යෑමට වුවද මට අවස්ථාවක් නොවූයේ අහස් යහන මතම වැතිර මා තුරුළු කොටගෙන සිටි නිසාය.
“සෙල්ලවී එයි අනේ…”
මම කීවේ ලැජ්ජා මුසුවය.
“එයා එන්නේ නැහැ…”
ඔහු පැවසූ අතර මට සිදුවූයේ ඔහුගේ අතොරක් නැති හාදු වරුසාවෙන් තෙමෙන්නටය. එහි වූයේ රාගයෙන් උමතු වූ බවක් නොව ආදරයෙන් මත් වූ බවකැයි කියා මට සිතිණි. නොඑසේ නම් මම එසේ සිතීමට ආශා කළෙමි.
“මම මෙහෙම කාවවත් තුරුළු කරන් නැහැ අරවින්දි…”
ඔහු රහසින් කෙඳිරීය.
“ඒ නම් බොරුද කොහෙද…”
මට වුවමනා වූයේ එය නැවත වතාවක් ඔහුගේ මුවින්ම අසාගන්නට වන්නට ඇත. එසේනම් මා මෙන්ම ඔහුද නොඉඳුල් අයෙකුද?
“බොරු නෙවේ… ඇත්ත… මං කවදාවත් බොරු කරලත් නැහැ බොරු කියලාත් නැහැ…”
එවර ඔහුගේ හඬේ වූයේ දැඩි බවකි. මම තිගැස්සුණෙමි. මේ සොඳුරු මොහොත මෙවන් දෙයකින් නැතිකරගන්නේ මන්ද ?
“ඔයා බොරු කියන්නේ නැහැ කියලා මං දන්නවා…”
“ම්ම්ම්…තෑන්ක් යූ…”
ඔහු කීය.
“ඇයි…?”
වැළමිටට බරදී මම ඔහු වෙත හැරී ඇසුවේ මවිතයෙනි. ඔහුද මා දෙසම බලා සිටියේය.
“ඔයාගේ හැමදේම මං වෙනුවෙන් කැප කළාට…”
මම එසේ කළේ හේතුවක් ඇතිවය. ඇරත් මම ඔහුට ආදරය කරමි. මම මඳහසක් පාමින් කොට්ටයට හිස බර කළෙමි.
“තරහද මා එක්ක…?”
ඔහු එසවී මා මුහුණට බර කරමින් ඇසුවේ ඉසිර විසිර තිබූ කෙස් රොදක් මා කණ පිටුපස රඳවමිනි.
“ඒ ඇයි…?”
මවිතයෙන් මම ඇසීමි.
“මෙහෙම වුණාට…”
“නැහැ… ස..ර්…”
“සර්…?”
“සොරි… අහස්…”
එවිට ඔහු මා මුහුණ වෙත නැඹුරුව යළිත් වරක් මා දෙතොල් සිප ගත්තේය. සවස අපි පිටතට යෑමට සූදානමින් සිටියද ඒ බලාපොරොත්තුව සුන්කරමින් වැස්සක් ඇද වැටෙන්නට විය. අහස් නම් ඒ ගැන සිටියේ සතුටිනි.
————————————————————————————————————————————————————-
දුරකථනය නද වන හඬින් මම අවදිවන විටත් අහස් සිටියේ සුව නින්දේය. ඇමතුම නිර්මාණිගෙනි. ඔහුගේ නින්දට බාධාවක් නොවන සේ මම යහනින් සීරුවෙන් බැස ජනේලය හැරගෙන කොරිඩෝවට ආවේ ඇමතුමට සම්බන්ධ වෙමිනි.
“හේ කෙල්ලේ… කොහොමද හනීමූන් එක…?”
ඇගේ සිනා හඬ සවන් වැකෙන විට මම යටි තොළ සපා ගතිමි.
“දැන් නම් හොඳටම නරක් වෙලා…”
“ආහ්…මමද නරක…? ඇයි අහස් මේ ටිකේ සිල් අරන්ද හිටියේ… පව් අනේ… එයා අනෙක් පැත්ත හැරිලා නිදාගත්තද…? එහෙම ඉතින් ළමයි හදන්න බැහැනේ…”
ඈ යළිත් උස් හඬින් සිනහසුණාය.
මා සිත ලැජ්ජාවෙන් පිරී ගියේය.
“අනේ නිරූ ඔයා නම්…”
“ඕකේ… ඕකේ… කෝ දැන් අහස් කුමාරයා…?”
“තවම නිදි…”
එවර ඇගේ උස් සිනාහඬ යළිත් ඇසිණි.
“මොකද අනේ මේ හැමඑකටම හිනාවෙන්නේ…?”
නොසතුටෙන් මම ඇසීමි.
“නැහැ… නැහැ… මේ වෙලාවටත් නිදි කියන්නේ ඉතින්… රෑ තිස්සේ බොහෝ කාර්යබහුල වෙලා කියන එකනේ…”
ඈ යළිත් සිනහසෙන්නට වූවාය.
“නිරූ… මේ… මං තියනවා… සංජීව් මෙයාව හොඳටම නරක්කරලා…”
“අනේ නැහැ… පව් ඒ අහිංසකයා නරක් වුණේ මං නිසා…”
“ඒක නම් ඇත්ත වෙන්නැති…”
“ඔව්…”
“දැන් මොකටද මේ උදේ පාන්දර ගත්තේ…?”
“වැදගත් දෙයක් කියන්න…”
“ඉතින් ඒක නොකියා වල් පල් දොඩවනවා…”
“හරි හරි… ඒවත් තියෙන්නෙ එපැයි…”
“ඉතින් මොකක්ද ඒ…?”
“අපි මැරිකරන්න යන්නේ…”
ඒ ඇසූ මා සිත ප්‍රීතියෙන් පිනාගියේය.
“මොනවා… ෂා නිරූ… ඒක නම් හොඳම ආරාංචියක්… කන්ග්‍රෑට්ස්…”
එය සැබෑවටම මට නම් සතුටුදායක පුවතකි.
“තෑන්ක්ස් ඉතින්…”
“මට ඇත්තටම සතුටුයි… නිරූ…”
“මං දන්නවා… ඒකනේ ඔයාට මුලින්ම කතා කළේ… වෙන කියන්න කවුරුත් නැහැ…”
“අම්මට කිව්වද…?”
“තාම නැහැ… ලබන සතියේ රෙජිස්ට්‍රේෂන් එක ගන්නවා… ඔයායි අහසුයි, මැඩමුයි එන්න ඕන… හොඳද… සංජීව් කියයි ඇවිත්… අපි වෙඩින් එකක් ගන්නේ නම් නැහැ…”
“හ්ම්ම්… කොහොමහරි මෙහෙම වුණ එක හොඳයි… සංජීව් හොඳ කෙනෙක් කියලා මං දැනන් හිටියා…”
“ඔව්… එයා හොඳ කෙනෙක්…”
“ඒක නෙවේ… දැන් ඔයා හදිසියේ ප්‍රෙග්නන්ට් වුණොත් එහෙම ගෙදර යන්නවත් බැහැනේ… මොකද කරන්නේ එතකොට…”
නිර්මාණි හදිසියේ විමසුවාය.
“මැඩම් එක්ක ටික කාලෙකට පිටරට යනවා කියලා තියෙන්නේ…”
“ආහ්… ඉඩම ප්‍රශ්නෙත් දැන් හරිනේ…”
“ඔව් නිරූ… අහස් ඒ සේරම කරලා ඉඩමත් විකුණලා දුන්නා…”
“හ්ම්ම්ම්… එහෙනම් ඉතින් දැන් සේරම හරිනේ…”
“ඔව්…”
කතාබහ නිමකර මොහොතක් ගත වී යන තුරුම මම එහි කුළුණකට බරදී පහළ නිල්වන්ව දිළෙන තේ වතු යාය දෙස බලා සිටියෙමි. තේ කොළ සුවඳ පවා සුළඟේ එතී නාස් පුඬු සිපගති. උදෑසන පටන් වරින් වර ඇද වැටෙන වර්ෂාව කෙරෙහි මා සිතේ වූයේ නොසතුටකි. අහස් පොරොන්දු වූයේ මෙදිනවත් පිටතට යෑමට මුත් එය ඉටුවන පාටක් නැත. මිහිදුමෙන් වටවූ කඳු පෙළත් ළඟ ළඟ ඇදවැටෙන පොද වැස්සත් පරිසරයට එකතුකළේ ගුප්ත බවකි. අහස් පැමිණ මා පසුපසින් සිටගෙන මා බඳවටා දෑත් යවන විට මම තිගැස්සි ගියෙමි. එවර ඔහුගේ දෙතොල් නැවතුණේ මා ගෙළ පාමුල බැවින් සිහින් හිරිවැටීමක් ගත පුරා දිව ගියේය. ඔහුගේ සෑම සිපගැනුමක්ම සෑම ස්පර්ෂයක්ම මට අලුත් වූ මිහිරි අත්දැකීමක් වූවා මිස එය කොයි යම් මොහොතක හෝ ඒකාකාරී නම් නොවීය.
“මොකෝ මෙතන්ට වෙලා කරන්නේ…?”
මා උරමතට සිය නිකට බරකරමින් ඔහු ඇසීය.
“අදත් එළියට යන්න වෙන්නේ නැහැ වගේ…”
දුක්මුසු හඬකින් මම කීවෙමි.
“හ්ම්ම්… ඒ වගේ තමා… ඒත් බලන්නකෝ… ස්වභාදහමත් අපිට ආශිර්වාදකරනවා වගේ…”
” ඒ ඇයි…?”
“ඒකනේ ඉතින් කියන්නේ… ඔයාට ඒ පණිවිඩේවත් හරියට තේරිලා නැහැ…”
“අනේ මංදා…”
“මේකනේ… ඔයාට එළියට යන්න ඕන වුණාට… ස්වභාදහම ඒකට ඉඩදෙන්නේ නැහැ… මට කියන්නේ ඔයාව තුරුළු කරන් කාමරේට වෙලා ඉන්න කියලා…”
දඟකාර සිනහවක් සිනහසෙමින් ඔහු කියනවිට මම ඔහුහේ බාහුවක් කෙනිත්තුවෙමි.
“එහෙනම් ස්භාදහම මට නෙවේ ආදරේ… ඔයාට…”
මඳහසක් පාමින් මම කියනවිටත් ඔහු සිනහසුණේය. ඔහුට තුරුළුව ඔහු උණුසුමේ හිඳින්නට මමද ආශා කළෙමි. ඔහුට ළංව හිඳගෙන මේ උණුසුමේ මිහිර ලබනවා හැරුණුකොට වෙන යමක් සිතන්නට මට වුවමනා නොවීය. අනාගතය ගැන සිතමින් මේ මොහොතේ ඒ සොඳුරු බව නැතිකරගන්නේ මන්ද කියා සිතමින් මම අනෙක්පස හැරී ඔහුගේ ගෙලවටා දෑත යවා ඔහුට තුරුළු වූයෙමි.
කෙසේ නමුත් අහස් දහවල මා පිටතට කැඳවාගෙන ආවේය. මා මීට පෙර පැමිණ නොතිබූ කුඩා ලෝකාන්තය බැලීමට ඔහු මා කැඳවාගෙන ආවේය.
වික්‍රමසූරිය මහතාගේ ඇමතුම ආවේ අපි එහි සිටින විටය.
“හොඳයි… අපි දැන්ම එනවා තාත්තේ…”
අහස් කලබළයෙන් කී අතර කුමක් හෝ අසුබ යමක් සිදුව ඇති බව මට වහා වැටහිණි.
-හෙටත් හමුවෙමු-