NovelsRath Dothaluරත් දෝතළු - 80

රත් දෝතළු – 80

-

spot_img

රත් දෝතළු – 80

අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා නොකරමය.

“එහෙම දෙයක් වෙන්න මං ඉඩතියන්නේ නැහැ අරවින්දි… ඔයාලට පාරට බහින්නවත්… වෙන මිනිහෙක්ව කසාඳ බඳින්නවත් වෙන්නේ නැහැ… ඔයා දැන් යන්න… මට ටිකක් කල්පනා කරන්න ඕන…”

මම ඔහුගෙන් වෙන්ව ඉවතට පැමිණියේ ඔහු කී දේ විශ්වාසකරගෙනය. පසුව ඔහු විනීෆ්‍රීඩා මහත්මිය සමඟ පවසා තිබුණේ මා ගත් තීරණය ගැනය.

“අහස් පුතා මේ තීරණේට කැමති නම් දරුවෝ… මං ඒකට මොකුත් කියන්නේ නැහැ… ඉස්සරහට මොනවා වෙයිද කියලා කාට කියන්න පුළුවන්ද…?”

මා සිත සහනයට පත්කරමින් ඈ කීවේ එවන් දෙයකි.

“ඔය ඉඩම විකුණලා දාලා වෙන පළාතකින් ඉඩමක් ගන්න ළමයෝ… මේ යන විදියට ගියොත් ඒ මිනිස්සු ඔයාලගේ පවුලටවත් නිදහසේ ඉන්න දෙන එකක් නැහැනේ…”

ඈ කියනවිට මමද ඒ අදහසට එකඟවූයෙමි. අම්මාත් තාත්තාත් ඒ අදහසට එකඟවූයෙන් අපිට කොළඹ නුවර පාරේ කඩවත නගරයට ආසන්නව නිවසක් මිලදී ගැනීමට හැකිවූයේ අහස් නිසාය. ඔහු පොරොන්දු වූ ලෙසම තාත්තාවද විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන විත් ප්‍රතිකාර ලබාදීමටද කටයුතු කළේය.

“සර්ට ගොඩාක් පින්… මගේ හිතේ තිබුණු ලොකු බරක් සර් නිදහස් කළා…”

රොසයිරෝ මහතාගේ දානමය කටයුතු වලට ඔහු සමඟ යම් යම් තැන්වලට යෑමට සිදුවූයේ මටය. මම අහස්ට හදවතින්ම ස්තූති කළේ ඒ මොහොතකය.

“දැන් ඔයා සතුටින් නේද…?”

එය එසේ යැයි කියා මම සිතුවෙමි. දානයේ කටයුතු සියල්ල සුදානම් කොට අවසන අපි එළඹි ඉරුදින අනාථ නිවාසයට ගියෙමු. කුඩා ළමුන් විස්සකින් තිහකින් යුත් එම ළමා නිවාසය පවත්වාගෙන ගියේ කතෝලික පල්ලියක ගරු කන්‍යා සොයුරියන් විසිනි. අසරණ පොඩි දරුවන් දකිනවිට නම් මා සිතේ ඇතිවූයේ ඉමහත් අනුකම්පාවකි.

“මගේ දරුවව මං හදාගන්න ගත්තු තීරණේ ගැන මං සතුටු වෙනවා අරවින්දි…”

නිර්මාණිද එදින අප සමඟ දානමය කටයුතුවලට සම්බන්ධ වූ අතර ඇයත් කීවේ ළමුන් පිළිබඳව ඇති වූ අනුකම්පාවෙනි.

“මට ඔයා ගැන ආඩම්බරයි නිරූ…”

මම ඇගේ අතකින් අල්ලාගනිමින් කීවෙමි.

“අරවින්දි…”

අප දෙසට ආ කන්‍යා සොයුරියක් මා නමින් අමතන විට මම බැලුවේ නිර්මාණි දෙසය. මා කවදාවත් කන්‍යා සොයුරියක දැන හඳුනාගෙන නොසිටි නිසා මම පුදුම වූයේ එතුමිය මා හඳුන්නන්නේ කෙසේද කියාය.

“ඔයා අරවින්දි නේද…?”

මම පුදුමයෙන් පිළිතුරක් නොදී සිටි නිසාදෝ එතුමිය යළිත් මා ඇමතුවාය.

“ඕ…ඔව්… සිස්ටර් මාව දන්නවද…?”

“අනේ අනේ දරුවෝ… මාව මතක නැත්ද… මං නිලූපා… ඔයාලගේ ඉස්කෝලේ සීනියර් ක්ලාස් එකේ හිටියේ…”

එතුමිය සිනහසෙමින් කීවාය.

“හෙඩ් ප්‍රිෆෙක්ට් වෙලා හිටියේ… නිලූපා එයාද..?”

සැකයෙන් මෙන් මම ඇසීමි.

“ඔව්… ඒ මං තමා…”

මම සතුටින් ඇගේ අතින් අල්ලාගතිමි. මට ඇයව හඳුනාගන්නට නොහැකි විය.

“සොරි සිස්ටර්… එකපාර අඳුනගන්න බැරි වුණා…”

“ඒකට කමක් නැහැ… මට නම් ඔයාව මතකයි… මෙයා…?”

“සිස්ටර් මේ නිර්මාණි… නිරූ…”

මම ඇයව හඳුන්වා දුන්නද නිර්මාණි ගැන මතකයක් ඇයට නොවීය.

“මට නම් යාන්තමට මතකයි… සිස්ටර්ට මතක නැතුව ඇති… මං ඕ ලෙවල් වලින් පස්සේ නැවතුණා…”

නිර්මාණි කීවාය.

“අනේ ඒකනේ… ඔයා හැබැයි මහතට හිටියද ඒ කාලේ…?”

“ඔව්… ඔව්…. දැන් කෙට්ටු වෙලා…”

මම සිනහසෙමින් කීවෙමි.

“ඒකනේ…”

“සිස්ටර්ව මෙහෙදි දකින්න ලැබුණු එක හරි පුදුමයි…”

“දෙවියන් වහන්සේගේ සැළස්ම වෙන්නැති අරවින්දි… මං ඒ කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ සිස්ටර් කෙනෙක් වෙන්න… ඒ ලෙවල් ඉවර වුණ ගමන් අපි කොළඹට ආවා… අම්මාගේ ගම මොරටුවනේ… අනික තාත්තාට රත්මලානට ට්‍රාන්සර් එක හම්බෙලා තිබුණේ… මගේ එග්සෑම් නිසායි අපි එහේ හිටියේ… ඊට පස්සේ ඉතින් මං දේව සේවයට බැඳුණා… මෙහෙට ඇවිත් දැන් මාසයක් වගේ ඇති…”

“ගහට ගහක් මොරටුවෙදි හමුවෙනවාලුනේ සිස්ටර්…”

නිර්මාණී කී කතාවට අපි එකතුව සිනහසුණෙමු.

“ඉතින්… අරවින්දිගේ කවුද මේක ඕර්ගනයිස් කළේ… හස්බන්ඩ්ද…?”

ලැජ්ජාමුසු හැඟීමක් මා සිතේ ඉහිරිණි.

“අනේ නැහැ සිස්ටර්… මං වැඩකරන තැන මැඩම්ලා…”

“අනේ… සමාවෙන්න දරුවෝ… මං දැනන් හිටියේ නැහැ…”

අහස් අප අතරට පැමිණියෙන් මම අහස්ව නිලූපා සොයුරියට හඳුන්වා දුනිමි. ඉඳහිට ඇයට ඇමතුමක් දෙන්නට පොරොන්දුවෙමින් මම ඇගේ අංකය ජංගම දුරකථනයේ සටහන් කරගත්තේ අපි සමුගන්නට සූදානම් වන මොහොතේය. පසු කලෙක එය මට ප්‍රයෝජනයක් වනු ඇතැයි කියා මම ඒ මොහොතේ නොසිතුවෙමි. නිලූපා සොයුරිය පැවසුවාක් මෙන් එය දෙවියන් වහන්සේගේ සැලසුමක් නිසා ඇයව හමුවූවා විය යුතුයැයි කියා මට සිතුණේ කලක් ගතවූ පසුවය.
————————————————————————————————————————————————————-
අහස් විසින් සකස්කර තිබූ ගිවිසුම් ලිපිය කියවා මම එයට අත්සන් කළේ නීතිඥයෙකු ඉදිරිපිටදී ගැහෙන හදින් මෙන්ම වෙව්ලන දෑතිනුත්ය. එහි තිබූ සියල්ල මා මතකයේ නොරැඳුණු මුත් දරුවාට කිසිම කලෙක කිසිදු අයිතිවාසිකමක් කීමට කිසිදු අවසරයක් නොමැති බව පමණක් මා මතකයේ රැඳිණි. මාසිකව මා වෙත ගෙවන වේතනය එලෙසම ගෙවීමට අහස් පොරොන්දු විය. එය යම් සහනයකි. ඔහුගේ අදහස වූයේ දරු පිළිසිඳගැනීම සිදුවන තුරු බණ්ඩාරවෙල ඔවුනට අයත් බංගලාවේ නැවතී සිටීමය. එය මධුසමය ගතකිරීමක් බඳු වූවක් නිසා මා ගත අලුතින් හිරිවැටී ගියේය. විනීෆ්‍රීඩා මහත්මිය ළඟ සිටින්නේ කවුද කියා මම විමසුවේ ඇයව තනිව දමා යන්නට නොහැකි නිසාය.

“මැඩමුත් අපි එක්ක යනවද…?”

මම ඇසුවේ එසේ වූවා නම් එය වඩාත් හොඳය කියා සිතමිනි. අහස් උස් හඬින් සිනහසුණේය.

“සුදු මම්මා ගැන ඔයා වද වෙන්න එපා… එයාව බලාගන්න කෙනෙක් එනවා… අපේ ෆැක්ට්‍රි එකේ ළමයෙක්ගේ නංගී කෙනෙක්…”

එසේනම් ඔහු සියල්ල සැළසුම් කොට ඇත. විනීෆ්‍රීඩා මහත්මියගෙන් සමුගන්නට සිදුවීම නම් මා සිතට ඉමහත් වේදනාවක් විය.

“ටික දවසකටනේ යන්නේ ළමයෝ… ඔයා ආයේ මෙහේ එනවනේ…”

ඈ මගේ අතකින් අල්ලාගනිමින් කීවාය. මම ඇයට දණ නමා වැඳ අහස් සමඟ විත් ඔහුගේ රථයට නැඟුණෙමි. පොරොන්දම් ගළපා, නැකත් බලා, පොතක අත්සන් තබා විවාහයක් සිදු නොවුවද මේ මා පිටව යන්නේද මංගල ගමනක් නොවේද කියා මට සිතිණි. ඉදිරියේදී කුමන දෙයකට මුහුණ පෑමට සිදු වුවද මා ගත් තීරණය පිළිබඳව කිසිවිටක පසුතැවිළි නොවන බවට මම මටම දිවුරා පොරොන්දු වූයේ මම අහස්ට සෙනෙහස දක්වන බවත් මා හොඳාකාරවම දැනසිටි නිසාවෙනි.

“අරවින්දි… මොනවද කල්පනා කරන්නේ…?”

බොහෝ දුරක් අප නිහඬව පැමිණි නිසාදෝ ඔහු මා විමසීය.

“මොකුත් නැහැ සර්…”

“ගත්ත තීරණේ ගැන පසුතැවෙනවද…?”

මුව කොණින් පෑ සිනහවකින් යුතුව ඔහු විමසුවේ මවෙත බලා යළි ඉවත බලා ගනිමිනි.

“කොහෙත්ම නැහැ… සර්…”

ඔහු ඇසූ දෙයින් කැළඹීමක් මා සිතේ ඇති වුවද මම වහා පිළිතුරු දුනිමි. මසිතේ වූයේ චකිතයක් සියුම් බියක් මිස පසුතැවීමක් නොවේ.

“ගුඩ්… ඒත් ඔයා තව දෙයක් කරන්න ඕන අරවින්දි…”

එවර යළිත් කුතුහළයක් මා සිතේ ඇති විය.

“සර් කියන ඕනම දෙයක් මං දැන් කරනවා සර්…”

මම කීවේ ස්ථීර හඬකිනි. මඳහසක් ඔහුගේ මුවේ වූ අතර ඔහු ඉදිරිය බලාම රිය පදවන්නට විය. මා බලා සිටියේ ඔහු එය කුමක්ද කියා පවසන තුරුය.

“අරවින්දි දැන් මට සර්… සර්… කියන එක නවත්තන්න වෙනවා… එහෙම නැතුව ඔයාට මේ දේ කරන්න බැරිවෙයි…”

ලැජ්ජා මුසු හැඟීමක් යළිත් මා සිතේ ඉහිරයනවිට මම කළේ මඳහසක් පෑමය. හිත හිරිවැටීගිය අමුතු හැඟීම ආදරය නම් නොවේ.

“හොඳයි…”

මම කීවෙමි. අපි බණ්ඩාරවෙලට පැමිණෙන විට තරමක අඳුරක් පැතිර යමින් තිබූ අතර මිහිදුමින් වැසුණු කඳු පන්ති ලස්සනට දිස්විය. රථයෙන් බසින විට නැවුම් තේ දළු සුවඳත් ගෙමිදුලේ වූ පාත්තිවල සිටුවා තිබූ රෝස මල් සුවඳත් එකට කැළතී නාස් පුඬු සිපගත්තේය. දෙතුන් වතාවක් මෙහි පැමිණ තිබූ නිසා මට ආගන්තුක බවක් නම් නොදැනිණි. බංගලාව බලාගන්නා රාජාත් ඔහුගේ බිරිඳ සෙල්ලවීත් අප එනතුරු පෙර මඟ බලා සිටි අතර ඉදිරියට විත් අප පිළිගත්තේ ඉතා යටහත් පහත් බවක් දක්වමිනි.

“අපි මඟ බලන් තමා ඉටියා නෝනා මාතියාලා එනකල්…”

සෙල්ලවී කීවේ මුව පුරා සිනහසෙමිනි. ඒ සිනහව ඉතා අව්‍යාජව ඇගේ මුවින් නැඟුණකි.

“අපි හිමින් ආවේ සෙල්ලවී… කීප තැනකම නවත්ත නවත්තා… එක දිගට ඩ්‍රයිව් කරන්න අමාරුයි…”

අහස් කීවේ මා කරවටා දෑත යවමිනි. මා ගත අලුතින් හිරිවැටීගියේ මින් පෙර කිසිදු දිනක ඔහුගේ ස්පර්ෂයක් පවා මා ලද නොසිටි නිසාය. මෙය අලුත් ජීවිතයක ඇරඹුමක්ද…….?

-හෙටත් හමුවෙමු-

Latest news

සුරේෂ් සලේට හෘදයාබාධයක්

සුරේෂ් සලේට හෘදයාබාධයක් ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල්, සුරේජ් සලේ හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ...

ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ,...

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...
- Advertisement -spot_img

ජනප්‍රිය වුණාම අතරමං වෙනව

ජනප්‍රිය වුණාම අතරමං වෙනව - Mrunal Thakur මෘනාල් තාකූර් යනු සමකාලීන ඉන්දියානු සිනමාවේ වඩාත් බලාපොරොත්තු සහගත ලෙස සැළකෙන තරුවක්. රූපවාහිනී...

පිරිමියෙක් නැති තනි ගැහැණියක්

පිරිමියෙක් නැති තනි ගැහැණියක් - Maa Behen තමන් ගැන හොයනවට වඩා අනිත් අය ගැන හොයන්න අපි අතරෙ ගොඩක් අය කැමතියි....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you