පාස්කු ප්‍රහාරයේ සැඟවුණු අමුත්තා – Easter Attack Sri Lanka
ශ්‍රී ලාංකික පුරවැසියනට ප්‍රධාන සැමරුම් දෙකක් හේතුවෙන් අප්‍රේල් මාසය විශේෂිතය. ඉන් පළමුවැන්න වන්නේ සිංහල, දමිළ නව අවුරුදු උදාව වන අතර දෙවැන්න කිතුනු බැතිමතුන්ට සුවිශේෂී වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් නැඟී සිටීම සංකේතවත් කරන පාස්කු ඉරිදාවයි. මිට අමතරව ලෝකයම සිය රටේ සිවිල් යුද්ධයන්හිදී දිවි පිදු රණවිරුවන් සහ සිවිල් වැසියන් ස්මරණය කරන “අප්‍රේල් විරු සමරුව” ශ්‍රී ලාංකිකයින් හට යෙදී තිබුණේ පසුගිය අප්‍රේල් මස 19 වන දිනය. සංස්කෘතික සැමරුම් විෂයෙහි වැඩි ලැදියාවක් ඇති ශ්‍රී ලාංකික පුරවැසියනට පසුගිය වසර ගණනාව මුළුල්ලේ විවිධ හේතූන් අරඹයා එම සැමරීම් හිත තුටින් කිරීමට නිසි අවකාශයක් නොලැබුණේය යන්න මගේ විශ්වාසයයි. ඊට ආර්ථික සහ දේශපාලන අස්ථාවර භාවය මුලික වශයෙන් හේතු වුවා මෙන්ම රටේ පැවති යුධමය සහ කළහකාරී වාතාවරණයද දැඩි ලෙස බලපෑම් කළේය.
පාස්කු ඉරුදින සැමරුම තුළින් කිතුනු බැතිමතුන් සංකේතවත් කරනු ලබන්නේ පාපයට හා මරණයට එරෙහි ජයග්‍රහණය සහ බලාපොරොත්තු අලුත් කිරීම හරහා සදාකාලික ජීවනය ලබා ගැනීමයි. 2019 අප්‍රේල් මස 21 වන දින ලංකාවේ පල්ලි සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එම පාස්කු සැමරුම් දිනය බියකරු ලෙස ලෙයින් සටහන් කළ බව නැවත, නැවත වර නැඟීමට තරම් නොවන අමිහිරි මතකයකි. එම ප්‍රහාර මාලාව හේතුවෙන් සිදුවූ ජිවිත හානි කිතුනු බැතිමතුන්ගේ පාපයට සහ මරණයට එරෙහි ජයග්‍රහණ පරාද කළේය. රටේ සමස්ථ ආර්ථික අවපාතය හරහා බලාපොරොත්තු ජීවනය වීම වෙනුවට ප්‍රාණයන් නිරුද්ධ වී සදාකාලික ආබාධයන් ඉතිරි කළේය. 2019 වසරේ සිට මේ දක්වා බලයට පැමිණි සෑම පාලකයාම බලය ලබාගැනීම වෙනුවෙන් පාස්කු දින ප්‍රහාරය නිර්ලජ්ජ ලෙස අවභාවිත කළේය. නමුත් අද දිනයේ (2026 අප්‍රේල් මස 21) වසර හත සපිරෙන එම අමානුෂික ප්‍රහාරයට වගකිවයුත්තන් අදටත් සැඟවුණු අමුත්තන් ය.
මොළේ කළඳක් නැති ම්ලේජ්චයකුට මිස වෙනයම් වනචාරි සතෙකුටවත් කළ නොහැකි පාස්කු දින අධම ප්‍රහාරයට “මහ මොළකරුවකු” ඇතැයි කලෙක සිට විවිධ පාර්ශව විසින් කට කියවනු අසන්නට ලැබේ. අද වන විට උදය ගම්මන්පිලලා වැනි අවස්ථාවාදී දේශපාලකයින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන පොත් ලිවීම දක්වා එය හාස්‍යයට ලක්කොට තිබේ. පසුගියදා ස්වාධීන රූපවාහිනියේ “කරළිය” දේශපාලන වැඩසටහනට පැමිණි සිටි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රවින්ද්‍ර බණ්ඩාර, “මහ මොළකරු සෙවීම තරඟයක් ලෙස අලුත් අවුරුදු ක්‍රීඩාවකට ඇතුළත් කළ යුතු” යැයි යෝජනා කළේය. ඔහු ඒ පැවසුයේ “සැඟවුණු අමුත්තා” තරඟය පිළිබඳව බවත් ඔය කියන මහ මොළකරු අපිම තරඟ කොට සොයාගත යුතු බවත් යැයි සිතමි. ඔවුන් මේ කණෙන් අල්ලා “කෝචොක්” කර බඩ අල්ලාගෙන හිනැහෙන්නේ කාටද..? පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ කිරීම නම් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවට තුනෙන් දෙකක ජන්ද පදනමකින් බලය ලබාදුන් ජනතාවට නොවේද..? ඊට සාධාරණය කෙසේ වෙතත් වින්දිත ජනතාව වෙනුවෙන් අවම සදාචාරයවත් ලබා දිය නොහැකි මෙවැනි ජනතා නියෝජන ජනාධිපතිවරයා විසින්ම “පාපිසි” ලෙස හැඳින්වීමේ කෙතරම් සාධාරණදැයි සිතෙන්නේ දැන් ය.
මාලිමා ආණ්ඩුව ඇත්තේ හතරවටින් එල්ලවන චෝදනා සහ ප්‍රහාර මාධ්‍යයේය. තමන්ගේ ප්‍රශ්න කන්දරාව ප්‍රමාණයෙන් විශාල වෙද්දී, ආණ්ඩුවට රටේ ප්‍රශ්න ඉබේම කුඩාවී අමතක වී යෑම ස්වභාවිකය. විටෙක ආණ්ඩුවේ හැසිරීම විසිළු සහ විකාරරූපි හැඩයක් ගනී. ප්‍රධාන පුරවැසියාගේ සිට බොහොමයක් ජනතා නියෝජිතයින් හැසිරෙනුයේ “කොහෙද යන්නෙ – මල්ලෙ පොල්” න්‍යායෙනි. මැතිවරණ පොරොන්දු සහ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතා බරපතල ලෙස කඩවෙමින්, බිඳෙමින් පවතිද්දී ආණ්ඩුව කරනුයේ යු ටියුබ් වීඩියෝ වලට සහ ෆේස්බුක් පෝස්ට් වලට මාධ්‍ය ප්‍රකාශ සහ ආයතන නිවේදන නිකුත් කරමින් කාලය කා දැමීමය. මාලිමා ආණ්ඩුවේ ජනතා නියෝජිතයින් වැස්සට, මඩට ආසා අත දරුවන් සේ හැසිරෙද්දී, ජනාධිපතිවරයා ඔවුන් සෝද, සෝදා ගොඩින් තබයි. ඉතින්, එහෙව් පන්නයේ ආණ්ඩුවකින් සුනාමි හොරුන්, මහ බැංකු හොරුන්, ඇන්ටජින් හොරුන් මෙන්ම බටලන්දේ වධකයින්, තාජුදීන්, ලසන්ත, එක්නැළිගොඩ ඝාතකයින් මෙන්ම පාස්කු දින ප්‍රහාරයේ මහමොළකරුවන්ද සැඟවුණු අමුත්තන් වීම අරුමයක් නොවේ.
මහින්ද රාජපක්ෂ දිනවන්නට රවී සිරිවර්ධන “මගේ මව්බිම මුරකරන මිනිසා.. සොඳුරුතම මිනිසා” යනුවෙන් ප්‍රශස්ති ගී ලියා තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනපති කරවන්නට විමල් කැටිපේආරච්චි “රටකට ඕනෑ අපමණ අගයක්.. ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්” යනුවෙන් තේමා ගී ලියා තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනපති කරවන්නට සුදන්ත තිලක්සිරි “රට මුදාලන රජිඳා.. හෙළ දෙරණ මත පිපුණා… දියසෙන්..” යනුවෙන් ප්‍රවර්ධන ගීත නිෂ්පාදනය කර තිබේ. රටට අපමණ අගයක්, සොඳුරු මිනිසෙක් හෝ දියසෙන් කෙනෙක් පහළව නැතත්, කලෙක සැඟවුණු අමුත්තන්ව සිටි කැටිපෙලා, රවීලා, සුදන්තලා සිය සුඛ විහරණය උදෙසා දැන් ඇත්තේ එකම කඳවුරේ ය. “මහා බර පැටවූ කරත්තවල පළපුරුදු නැති ළපටි ගොනුන් බැඳ සිටිනු දුටුවෙමු” මේ කොසොල් රජු දුටු සිහින දහසයේ හතරවැනි සිහිනයයි. පාස්කු දින ප්‍රහාරයේ හත්වෙනි වසර අභිමුව සිටින වත්මන් ආණ්ඩුවට වී ඇත්තේද එයයි.