පිරිමින්ට විශේෂ දවස් මතක් වෙන්නෙම නෑ – Lechindi Mahila Lokam
ඔයා කසාද බැඳපු පිරිමියෙක්නං වැදගත් දින (බර්ත්ඩේ, ඇනිවසරි වගේ) හරියට මතක තියා ගත්තොත් ඔයාට එන්න තියෙන ප්‍රශ්න ගොඩක් වළක්වගන්න පුළුවන්. මෙහෙම කියන්නෙ විවාහ ජීවිතේ ගැන අත්දැකීම් ගොඩක් තියෙන පිරිමියෙක්. ගැහැණු බොහොම ආසයි ජීවිතේ සමරන්න. වයස අදාළම නෑ. බර්ත්ඩේ, ඇනිවසරි ඔවුන්ගෙ ජීවිතවල හරිම විශේෂයි. ඒ දින මතක තියාගෙන දෙන පුංචි තෑග්ගකින් වුණත් ඔවුන්ව සතුටු කරන්න පුළුවන්. නමුත් පිරිමින්ට ඔය දවස් මතක තියෙන්නෙ හරිම අඩුවෙන්. ඒ ඔවුන්ගේ සාමාන්‍ය ගති ස්වභාවය වුණත් වැදගත් දවසක් අමතක වීම නිසා ගැහැණුන්ට සම්බන්ධෙ නතර කරන්න, දික්කසාද වෙන්න වුණත් හිතෙන්න පුළුවන්. දිනයක් අමතකවීම ගැන ඔවුන් හිතන්නෙ ඔවුන්ව සදහටම අමතක කර දැමූ ආකාරයට. හිතේ කේන්තියට ස්වාමි පුරුෂයව මරන්න වුණත් ප්ලෑන් කරන්න බැරි නෑ.

නිර්මා සහ අරවින්ද්ගෙ පළවෙනි විවාහ සංවත්සරය උදාවෙලා තිබුණා. නිර්මාට ඕනෙ වුණේ ඒ දවස මතක හිටින විදිහට සමරන්න. ඇය උදේ සිටම ඒ වෙනුවෙන් ලක ලැහැස්ති වී සිටියත් එදින උදෑසනම අවදිවූ අරවින්ද් වෙනද වගේම රැකියාවට යන්න පිටත් වුණේ ඒ දිනය පිළිබඳව වගක්වත් නොමැති අයුරින්. නිර්මගෙ බලාපොරොත්තු කඩවුණා. ඇයට දැණුනෙ දුකක්, කෝපයක්. ඔහු පෙර සේ තමන්ට ආදරේ නැහැ වගේ සිතිවිලි. ඔය අතරෙ තමයි කාන්තාවො කිහිප දෙනෙක් ඇගේ දුක අහන්න නිවසට එන්නෙ. මේ කාන්තාවො අතරට මෑතකදි දික්කසාද වුණ බුද්ධිමත් ගැහැණියක්, නිර්මගෙ ගෙදර සේවිකාව, හැම දෙයක් ගැනම විපරමින් ඉන්න අසල්වැසි කාන්තාව සහ අලුත් පරම්පරාවෙ සාමාජිකාවක් වෙන නිර්මගෙ නංගි අයත් වුණා. මේ හැමෝගෙම අදහස වුණේ අරවින්ද් නිර්මට ආදරේ නැති බව, ඇයව මුලාකරනව වගේ දේවල්. ඔහුට වෙන සම්බන්ධකං තියෙනව වෙන්නත් පුළුවන්. ඇය වහාම තීරණයක් ගත යුතු බවයි ඔවුන් පැවසුවේ. හොඳම තීරණය දික්කසාදය බව පෙනෙන්නට තිබුණා.

ආදරෙන් ඉන්න ජෝඩු දැක්කම සමහරුන්ට ඕනෙ මොනව කරලා හරි ඔවුන්ව අසමගි කරන්න. හැම ප්‍රශ්නෙටම විසඳුම දික්කසාදය බව එවැනි උදවිය පවසනවා. එය බුද්ධිමත්, modern, ස්වාධීන කාන්තාවන්ට පමණක් ගත හැකි තීරණයක් බව මතු කරමින්. මෑත කාලයේ නිමවුණ ඉන්දියානු චිත්‍රපට බොහොමයක්ම පමණ ඉක්මවූ අයුරින් මේ කාරණා ගැන කතා බහ කරනු දක්නට ලැබුණා. කාන්තා අයිතීන්, සමතැන, දික්කසාදය ,ස්වාධීනත්වය, පිරිමින් නොමැති ලොවක් ගැන දිවා රෑ සම්පප්‍රලාප දොඩවන ගැහැණුන් සමහරවිට තිරය පිටුපස සාමකාමී පවුල් ජීවිත ගත කරනවා විය හැකියි. අන්තිමේදි නිර්මගෙ හිතවතියො තීරණය කරා බඳිනවටත් වඩා අමාරු දික්කසාද වීමට වඩා ලෙහෙසි පහසු උත්තරයක්. කොහොමහරි ඇය අරවින්ද්ගෙන් වෙන් විය යුතුමයි.

Lechindi Mahila Lokam ස්ත්‍රීවාදය පමණ ඉක්මවා ඉස්මතු කරන, කාන්තාවන් සම්පූර්ණ ලෙසම නිර්දෝෂී, උගුලකට හසුවූ ජීවීන් පිරිසක් බව පෙන්වන ඉන්දීය චිත්‍රපට රැල්ලට රිදෙන පිළිතුරක් බව කිව හැකියි. ඔවුන් පෙන්වන එම කාන්තා ලෝකය සැබෑවක් නොවන වග මේ චිත්‍රපටය පෙන්වා දෙනවා. මේ කතාව ඇතුලෙ අපිට වීරවරියො මුණගැහෙන්නෙ නැහැ. ඔවුන් එදිනෙදා ජීවිතයේ දකින්න ලැබෙන ඒකාකාරී ජීවිතය නිසා ආතතියෙන් පසුවන, ජීවිතේ වෙනසක් අවශ්‍ය, සැමියව අවිශ්වාස කරන, ඕපදූප සොයන, පහසුවෙන් කලබළ වෙන සාමාන්‍ය ගැහැණුන්. ඔවුන්ගේ සිත්වලට මොනතරම් පහසුවෙන් විෂ ඇතුළු කරන්න පුළුවන්කම තියෙනවද කියන කාරණාව හාස්‍යජනක අන්දමින් ඉදිරිපත් කර තිබෙන ආකාරය අපූරුයි. සැකය, ඕපාදූප, සමතැන, නිදහස මේ වගේ දේවල්වලට සාමකාමීව ගෙවන පවුල් ජීවිත කඩා බිඳල දාලා විනාශ සිදු කරන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නැහැ. මේ අමිහිරි සත්‍යය හාස්‍යජනක විදිහට ඉදිරිපත් කරන්න මේ කතාව සමත් වෙලා තිබෙනවා.




