හැමෝටම තියනව ලෝකය නොදන්න තමන්ගෙ ප්‍රශ්නයක් – Do Deewane Seher Mein
ජීවිත කාලෙ පුරාවටම මිනිස්සු පරිපූර්ණත්වය ලඟා කර ගන්න උත්සාහ කරනව. මොකක්ද මේ කියන පරිපූර්ණත්වය? ධනවත්කම, ජනප්‍රියත්වය, ඒ නැතිනම් හොඳ රැකියාවක්, සුදුසු සහකරුවෙක්, සහකාරියක්. මේ ඔක්කොම ලැබිලත් සමහර වෙලාවට පරිපූර්ණත්වය ලඟා කර ගත්තෙ නැති බව දැනෙන්න පුළුවන්. සතුටක් නොදැනෙන්න පුළුවන්. මේකට හේතුව අපි පරිපූර්ණත්වය ලඟා කර ගන්න උත්සාහ කරන්නෙ අපේ සතුටට වඩා ලෝකයට සම්පූර්ණ මිනිස්සු බව පෙන්වන්න තියෙන උවමනාව නිසා. ආදරේ කරන්න, විවාහ වෙන්න අපි හොයන්නෙ හැම අතින්ම ගැළපෙන සහකරුවෙක්ව. ඒත් එහෙම 100% ක් ගැළපෙන අය මේ ලෝකෙ ඉන්නවද? ඒ තරමට ගැලපෙන ජෝඩුවක් මුණ ගැහුණොත් ටික කාලයක් ඇතුලෙම සම්බන්දෙ boring වෙයි. ගැළපීම්, නොගැළපීම්, එකඟවීම්, පුංචි පුංචි මතභේද මේ හැමදේම එක්ක තමයි ආදරේ වගේම ජීවිතෙත් ලස්සන වෙන්නෙ.

අපි ජීවත්වෙන්නෙ social media ජීවිතේ අත්‍යවශ්‍යම අංගයක් තරමට වැදගත් වෙලා තියෙන ලෝකෙක. social media ඇතුලෙ හිරවෙලා හුදකලා වෙලා ඉන්න අපිට සැබෑ ලෝකයෙ ගොඩක් දේවල් මග හැරෙන බව, ඉගෙන ගන්න, අත්දැකීම් ලබන්න තියෙන අවස්ථා මග හැරෙන බව ගොඩක් අය දන්නෙ නැහැ. මිනිස්සු social media වල අහන්න, දකින්න, පෙනෙන්න තියෙන දේවල් වලින් ගොඩක් දේවල් තීරණය කරනව. කන බොන දේ ඇඳුම පැළඳුම ඇතුළුව ජීවත්වෙන විදිහ පවා. කාලෙන් කාලෙට එන trends වලට අහුවුණාම අපිට අපිව දරුණුවටම මිස් වෙන්න ගන්නව.

ගොඩක් වෙලාවට අපි කෙනෙක්ගෙ බාහිර ස්වරූපයෙන් ඔහු හෝ ඇය පිළිබඳ නිගමනවලට එලඹෙනවා. දකින්න ලැබෙන දේවලින් අනිත් අය ගැන කතාවක් හිත ඇතුළෙ නිර්මාණය කර ගන්නවා. අපි හැර මෙලොව අන් සියල්ලන්ම පරිපූර්ණත්වය ලඟා කරගත් අය බවට අනුමාන කරනවා. ශෂාන්ක් ෂර්මා ගැනත් රොෂ්නි ශ්‍රීවාස්තවා ගැනත් මිනිස්සු හිතුවෙ එහෙම. ඒ දෙන්න බොහොම සර්ව සම්පූර්ණ හැමදේම ළඟා කරගත් උදවිය කියලා. නමුත් එහෙම සර්ව සම්පූර්ණ උදවිය මේ ලෝකෙ නැහැ. අපි හැමෝම අසම්පූර්ණ මිනිස්සු. ලෝකය නොදන්නව වුණාට හැමෝටම තමන්ගෙම ප්‍රශ්න, අරගල තියෙනවා. බලාපොරොත්තු, හීන තියෙනවා. ඒ අසම්පූර්ණ බව එක්ක තමයි අපි පැවතෙන්නෙ. අලෙවිකරණ අංශයේ රැකියාවක් කෙරුව ශෂාන්ක්ට කතා කිරීමේ අපහසුතාවක් තිබුණා. මේ හේතුවෙන් ඔහුගෙ ආත්ම විශ්වාසය හැම තිස්සෙම බිඳිලයි තිබුණෙ. අන් අය තමාට සරදම් කරතැයි බියක්. තමාව පිළිනොගෙන සිටිතැයි බියක්. රැකියාව අත් හරින්න වෙන තරමට ඔහුට මේක වදයක් වෙලා තිබුණා. ශෂාන්ක් කියන්නෙ තනිකඩයෙක්.

සමේ පැහැය, සිරුරේ හැඩය, උස් මිටි බව වගේ සුන්දරත්වයට මිනුම් තියෙන ලෝකෙ රොෂ්නිට හිතුණා ඇගේ සමේ පැහැය අඳුරු බව. ගොඩක් අය ලස්සන කියන්නෙ සුදු වෙන එකට කියල හිතනවනේ. ඒ වගේම තමන්ගෙ නාසයේ හැඩයටත් ඈ කැමති වුණේ නැහැ. සුන්දරත්වය තියෙන්නෙ බලන කෙනාගෙ හිතේ බව රොෂ්නි වගේම ගොඩක් අය දන්නෙ නැහැ. තමන්ගෙ පෙනුම එතරම් හොඳ නැති බව සිතුව නිසාම රොෂ්නි ළඟත් අනිත් අයට මුහුණ දෙන්න අවශ්‍ය කරන ආත්ම විශ්වාසය තිබුණෙ නැහැ. ඇය ප්‍රේම සබඳතා ගැන හිතුවෙ නැහැ වගේම විවාහ යෝජනාත් ප්‍රතික්ෂේප කරා. ආදරේ උරුම ලස්සන පෙනුමක් හිමි අයට පමණක් වග ඇය විශ්වාස කරන්න ඇති. නමුත් හැම දේම වෙනස් වෙන්න ගන්නෙ ශෂාන්ක් සහ රොෂ්නිගෙ මුණ ගැහීමත් සමගින්.
ආදරේ අපේ ජීවිතේට එන්නෙ නොසිතන වෙලාවක. අහම්බෙන් වගේ. ආදරේ පරිස්සම් කර ගන්න එක ලේසි නෑ. බැඳීමක් සුන්දර වෙන්නෙ දෙන්නට දෙන්නා තේරුම් ගැනීමත් එක්ක. විවෘතව කතාබහ කිරීමෙන්, එකිනෙකාගෙ අඩුපාඩු හඳුනා ගැනීමෙන් සහ ඒ දේවල් accept කිරීමෙන් මිසක බාහිර සුන්දරත්වය නිසා නෙමෙයි. සැබෑ ආදරේ ඇතුලෙ රහස් නෑ. බොරු රඟපෑම් නෑ. තමා නොවන වෙනත් චරිතයක්, ප්‍රතිරූපයක් නඩත්තු කරමින්, පරිපූර්ණ බව පෙන්වන්න උවමනා නැහැ. එහෙම රඟපෑම් කරන්න ආදරේට බැහැ. සැබෑ ආදරේ ලැබුණ දවසට අපිට පුලුවන් නිදහසෙ සැහැල්ලුවෙන් අපි විදිහටම ඉන්න. සැබෑ ආදරේ කියන්නෙ අපිට අපිම හමුවෙන එකට !




