ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල
යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ ඇස ගැටුණේ යුද්ධයෙන් විනාශ වුණු ජන ජීවිත සහ ගම්බිම් අතහැර යාමෙන් වල් වැදුණු ගම්මානය. අපි නැවතත් වසර කිහිපයකට පසු මඩකලපුවට සහ තොප්පිගලට ගියෙමු. අප එහිදී දුටුවේ යුද්ධයෙන් පෑරුණු සිත් ඇතිව වුවත් එහි වැසියෝ තම දරු මල්ලන් සමග අලුත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගනිමින් සිටින ආකාරයයි. වල් වැදුණු ගම්බිම් එළිපෙහෙළි වෙමින් තිබේ. පුරන් වූ කෙත් බිම් නැවත අස්වද්දමින් තිබේ.

මඩකලපුව සංචාරය කළ හැකි වගේම බෞද්ධ උරුමයන් රැසකට හිමිකම් කියන ප්‍රදේශයකි. මේ නිසාම දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස දැන්, දැන් මඩකලපුව, තොප්පිගල වැනි ප්‍රදේශවලට යොමු වෙමින් තිබේ. එය ඉතා හොඳ තත්වයකි. මඩකලපුව ගැන බොහෝ දෙනා හිතන්නේ වියළි කාලගුණයක් සහිත දැක බලා ගැනීමට කිසිත් නොමැති ප්‍රදේශයක් ලෙසය. එහි යම් තරමකින් හෝ කියැවෙන්නේ තොප්පිගල පිළිබඳව පමණි. අපි මෙම සංචාරයේදී මුලින්ම තොප්පිගල නැරැඹීමට ගියෙමු. තොප්පිගල අවට ප්‍රදේශය පුරා ඇත්තේ නිදහස් වටපිටාවකි. එහි සිටින්නේ තම තමන්ගේ ජීවන වෘත්තීන්වල නියැළී සිටින ජනතාවකි. පාසල් යන දූ දරුවන් රිසිසේ තම නිදහස භුක්ති විඳිමින් යන අයුරු අපූරු දසුනක් විය. මෙයට පෙර සංචාරයේදී අප ඒ පුංචි මුහුණුවල දුටුවේ බියකි. යම් ප්‍රශ්නාර්ථයක ස්වරූපයකි. අද ඒ සියල්ල පහව ගොස් උදේට පිපුණු මල් සේ බැබළෙයි. අවට පරිසරයේ ඇති ගස් වැල්ද නිදහසේ ඉහළට එසවී සිසිල් සුළඟින් එහා මෙහා වැනෙමින් අපව පිළිගන්නවා වැනිය.

තොප්පිගල සංචාරයට මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කිරණ හන්දියේ සිට කිලෝමීටර් 21ක් පමණ යා යුතුය. කෝරළේ පත්තුවේ උතුර පෙරිල්ලවේලි ග්‍රාම සේවක වසමේ තොප්පිගල පිහිටා ඇත. අපි ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට ගමන් කළෙමු. ගොවිතැනින් තම ජීවනෝපාය සකසා ගත් ඔවුන් නිදහසේ තම කටයුතුවල නියැළී සිටිති. ඉදිරියට ගමන් කිරීමේ දී එක දිගට විහිදුණු කෙත් යායවල් දැක ගත හැකිය. තැනින් තැන කුඩා වැව්, අමුණු, ජල වේලි හමු වෙයි. මෙයින් පෙන්නුම් කරන්නේ මෙම ප්‍රදේශය ඉතා සශ්‍රීක ප්‍රදේශයක් ලෙස අතීතයේ සිටම තිබූ බවයි. මේ පිළිබඳ අපට ඉතිහාසය සොයා බැලීමේදී කරුණු රාශියක් දැක ගැනීමට හැකි විය. තොප්පිගල ප්‍රදේශය ගංගා, අතු ගංගා, ඇළ, දොළවලින් සපිරිය. එකී ජල මාර්ග හරස්කොට බැඳි වැව් රාශියක් පවතී. පුලියන්කුලම වැව, කුඩම්බිමලේ වැව, තාරාවිකුලම් වැව, මිරනකඩ්ඩව වැව, මියන්කල්කුළම් වැව, ආර්ථිකාඩු කුලම් වැව, මුතන් කුලම් වැව ඒ අතර වේ .
මෙම ජල සම්පත හරහා ප්‍රදේශය කෘෂිකර්මාන්තය අතින් පෝෂණය වූ බවට අදටත් සාක්ෂි දැකගත හැකියි. ඉන්පසු අපට හමු වූයේ මෙතෙක් පැමිණි මාර්ගයට වඩා බොහෝ සේ අබලන්වූ මාර්ගයකි. මෙයට පෙර සංචාරයේදී මාර්ගය මෙතරම් අබලන්වී නොතිබිණි. මේ පිළිබඳ අපි ඉදිරියට පැමිණෙමින් සිටි ගැමියකුගෙන් විමසුවෙමු.

“මේ පාරවල් හොඳට තිබුණ. අපි දර, වී ගෝනි, එළවලු බයිසිකලේ බැඳගෙන පහසුවෙන් ගියා. වැලි, ගල් පටවාගෙන යන වාහන නිසා දවසින් දවස පාර විනාශ වුණා”
ඔහු එසේ පවසමින් අපව පසු කරමින් තම බයිසිකලය තල්ලු කරගෙන යන්නට ගියේය. ඉන්පසු අපට හමුවුණේ යුද හමුදාවේ මියගිය විරෝධාර සොල්දාදුවන් සිහිවීම පිණිස ස්මාරක ඉදිකර තිබෙන ප්‍රදේශයයි. මෙම ස්ථානය අසලින්ම මඩකලපුව චාවකචේරි බස් මාර්ගයද වැටී ඇත. බසයක් එනතුරු ගස් සෙවණේ වාඩි වී සිටින මගින් කීප දෙනකුද දැක ගැනීමට හැකිවිය. ඉන්පසු ටික දුරක් යන විට හමු වුනේ ප්‍රධාන යුද හමුදා කඳවුරයි. එය පසු කර යන සෑම වාහනයක්ම පිළිබඳව ඔවුන් විමසිලිමත්ය. අපට වාහනය නතර කරන ලෙස අතින් සංඥා කළ හමුදා නිලධාරියකු විමසා සිටියේ,


“යන්නේ කොහේදැයි”
කියාය.
“තොප්පිගල”
අපේ පිළිතුර විය.
“ගල නගිනවා නම් අවසර ගන්න ඕනෑ. නැතුව යන්න බෑ. අපේ ලොකු මහත්තයා ක්‍රීඩා පිටියේ ඉන්නවා. හමුවෙලා අවසර ගන්න”

ඔහුගේ විධානය පිළිපැද අප ඊළඟට ගියේ ක්‍රීඩා පිටියටය. එහි සිටි උසස් හමුදා නිලධාරීහු අප පිළිගත්තේ ඉතා සුහදවය.
“අද ගමේ තරුණ පිරිසයි හමුදාවේ අය අතරයි සුහද ක්‍රිකට් තරගයක්. දෙමළ, මුස්ලිම් තරුණ අය මෙහෙ ඉන්නේ. අපි මාස කීපයකට වරක් මේ වගේ සුහද තරග පවත්වනවා. එකිනෙකා හඳුනා ගන්න, හිතවත්කම්, සහෝදරත්වය ගොඩනගා ගන්න. එතකොට හැමෝම වගේ එකමුතුව කටයුතු කරනවා. පරණ දේවල් අමතක කරලා අලුතින් හිතන පරපුරක් බිහි වෙනවා.”

එම උසස් සමුදා නිලධාරියා දිගින් දිගටම පැහැදිළි කළේය. ඔහුගෙන් අපට අවසරද ලැබිණි. මෙහි වෙසෙන බහුතරයක් දමිළ ජාතිකයන්ය. ඔවුන්ට තම ආගමික කටයුතු සඳහා තොප්පිගල ආසන්නයේම කෝවිලක් හැදෙමින් පවතින අයුරුද දැකගත හැකිවිය. අප ඉදිරියට පැමිණියේ මෙහි පිහිටුවා ඇති හමුදා මුර පොලෙහි හමුදා නිලධාරියෙකි.
“ඔයාලා ගැන අපට දැන්නුවා. ගල උඩට නගිනවා නම් අපි උදව් කරන්නම්. පඩි පෙළවල් හදලා තියෙන්නේ. ගිහින් එමු.”
ඔහුගේ ආරාධනාව පිළිගැනීමට අපිට දැඩි කැමැත්තක් තිබුණත් ඇඳිරි වැටෙමින් තිබුණු නිසා අපි උඩට නැග්ගේ නැත. තොප්පිගල යනු ගලක් පමණක්ම නොවේ. බෞද්ධ උරුමයන් රාශියකින් සමන්විත වූ බෞද්ධ සංස්කෘතියට උරුමකම් කියන ප්‍රදේශයකි. තොප්පිගල ප්‍රදේශය පුරා බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසූ ගල්ලෙන්, බෞද්ධ විහාරවල නෂ්ටාව ශේෂ, නෙළුගල, තලවාගල කුවිදාගල ලෙසින් වර්තමානය හඳුන්වන ප්‍රදේශවල ඉපැරණි බෞද්ධ ආරාම පැවැති බවත් ඒවායෙහි භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසූ බවත් සඳහන් වේ. එම භික්ෂු භික්ෂුණීන් සුපෝෂිත වී ඇත්තේ මෙම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නියැළි ගොවි ජනතාවගෙනි.

තොප්පිගල මුදුනේ ඇති ඉපැරැණි විහාරයක් සතු නෂ්ඨාවශේෂ, ගඩොල්, චෛත්‍යය සතු ශිලා කර්මාන්තයද වර්තමානයේද දැක ගත හැකිය. මෙවන් බොහෝ වැදගත්කම් රාශියක් සහිත තොප්පිගල නැරැඹීමට යන ඔබට මඩකලපුව සංචාරයේදී තවත් බොහෝ තැන් දැක බලා ගැනීමට හැකිවීමද සංචාරයේ අපූර්වත්වය තවත් වැඩි කරයි. කල්කුඩා වෙරළ, පාසි කුඩා වෙරළ තීරය, ඕලන්ද කොටුව, ලයිට් හවුස් කජු සංස්ථාව සතු දැවැන්ත කජු වගා භූමිය, කල් කුඩා මුහුදු තීරයේ ඇති දෙවැනි ලෝක යුද්ධයේදී ගිලුනු නැව් දෙක නැරැඹීමටද හැකිය. පාසිකුඩා, ජල ක්‍රීඩා සඳහා ලොව පුරා ජනප්‍රිය මුහුදු තීරයක් ද වෙයි. වර්තමානයේ මෙම ප්‍රදේශ බොහෝ දියුණුවට පත්වී ඇත. සංචාරකයන්ද බහුලව සංචාරය කරන ප්‍රදේශ බවට පත්ව ඇත. යුද්ධයේ නිමාවෙන් පසු අපේ රට කොතරම් සුන්දරවී ඇත්ද සහ කෙතරම් දියුණුවක් ලබා ඇත්ද යන්න ඔබ සංචාරය කිරීමෙන්ම දැක බලා ගන්න.




