නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම නීති විශාරදයෝද මේ ගැන හඬ නඟති. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම තුළින් රටට සිදු වන්නේ යහපතක්ද? අයහපතක්ද? මෙලෙස විශ්‍රාම කාලය දීර්ඝ කිරීම රටට බලපානයේ කෙසේද? ජනාධිපතිවරයා මේ කරන්නට උත්සාහ කරනුයේ අධිකරණයට කරන දේශපාලන අත පෙවීමක්ද? සමාජය තුළ එක්තරා වියත් පිරිසක් අතර මේ මොහොතේ දෝලනය වන බරපතළ ගැටළුව සහ සාකච්ඡාව එයයි.
සුළු පිරිසකගෙන් ඇරැඹි එම කතිකාව සමාජ කතිකාවක් ලෙසද ව්‍යාප්ත වෙමින් පවතී. එය ඉතාම හොඳ ප්‍රවණතාවකි. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ දැමීමට ආණ්ඩුවට ගෙන ඒමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම නතර කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුරට නිල ලිපියක් මඟින් දැනුම්දී ඇත. මේ කාරණය ගැන පුරවැසියන් ලෙස සලකා බැලීමේදී මේ ලිපිය ඉතාම වැදගත්ය. විශ්‍රාම කාලය දිගු කිරීම යහපත් දෙයක් නම් ඊට මුලින්ම සතුට පළ කළ යුතු වන්නේ නීතිඥ සංගමය නොවේද? එය අනාගතයේදී ඔවුන්ටද බලපාන බැවිනි. එසේ නම් තම යහපතට වන සංශෝධනයකට නීතිඥ සංගමය විරුද්ධ ඇයි? මෙවන් දෙයක් කිරීමට ජනපති ක්‍රියා කරනවා යැයි සැල වූ වහාම එම සංගමය ජනපතිට කනස්සල්ල ප්‍රකාශ කරනුයේ ඇයි? මේවා කල්පනා කළ යුතු ප්‍රශ්න නොවේද?

ගොනා හැරෙනුයේ පොල් පැළය කන්න යැයි දන්නෝ දනිති. එමෙන්ම මෙම නීති වංගුවෙන් හෙළි පෙහෙළි කර ගන්නට උත්සාහ කරනුයේ හුදු දේශපාලන පටු වාසියක් ලබන්නට බව උගත් නීතිඥ ප්‍රජාවට වැටහී අවසන්ය. මේ කනස්සල්ල උපදිනුයේ එබැවිනි. මෙය හුදු දේශපාලන අල්ලසක්ද? මේ වයස් සීමා සංශෝධනය හරහා සෘජුවම වාසිය අත්වනුයේ දැනට සේවයේ සිටින විශ්‍රාම යෑමට ආසන්න වයසේ අයටය. එනම් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුවන්ටය. ජ්‍යෙෂ්ඨයන් විශ්‍රාම ගත් කල ඒ පුරප්පාඩුවලට ඒමට අය සිටිත්දී ඒ අය නොසලකා ඉන්නා අයම සේවා දිගුවක්දී තබා ගන්නට වුවමනා කරනුයේ ඇයි? එවිට අධිකරණයේ ස්වාධිපත්‍යයට හානියක් නොවේද? මේ විශ්‍රාම කාලය දිගු කොට තබා ගන්නට යනුයේ ආණ්ඩුවට පක්ෂපාතී විනිසුරන් යන්න මේ ප්‍රශ්නයේදී එල්ලවන චෝදනාවක්ය. හිටපු අග විනිසුරුවරියක වූ ශිරාණි බණ්ඩාරනායකව එම ධුරයෙන් ඉවත් කිරීමට රාජපක්ෂලාට වුවමනා වුණේ ඇයි? එම ධුරය තුළ සිටිනා ඇයගේ තීන්දු ආණ්ඩුවට අවාසි සහගත වනු ඇතැයි සිතාය. වත්මන් අගවිනිසුරුට දෙවසරක සේවා දිගුවක් දීමට මේ ආණ්ඩුව උත්සාහ කරනුයේ ඇයි? එසේ නම් දිසානායකලාට ඒ තනතුරේ සිටින වත්මන් අගවිනිසුරු හොඳ නිසා විය නොහැකිද? මේ පක්ෂපාති අපක්ෂපාතිකමට ගන්නා තීන්දු යැයි තර්ක කළ නොහැකිද? එදා මහින්ද කළ දේට ප්‍රතිවිරුද්ධ දෑ අද අනුර කරමින් සිටිනුයේ එකම දේශපාලනික අරමුණකින් නොවේද? එදා මහින්ද තමන්ට විරුද්ධ නිසා ක්‍රියා කළ අතර අද අනුර තමාට පක්ෂ නිසා මෙවන් දෑ කරමින් සිටිනවා විය හැකිය. ඒ අනුව බලන කල මෙය සෘජුවම අධිකරණයට දේශපාලන අත පෙවීමක් ලෙස කෙනකුට අර්ථ ගැන්විය හැකිය.

වත්මන් ආණ්ඩුව මැයි 1 වැනි දින රට පුරා රැස්වීම් පවත්වමින් කීවේ අනාගතේ ගන්නට නියමිත නඩු තීන්දු ගැනය. එතරම් විශ්වාසයකින් එවැනි කතා කියන්නට නම් අධිකරණය තම අතේ තිබිය යුතුය. මේ විශ්‍රාම කාලය දිගු කරමින් ඉටුකර ගැනීමට උත්සාහ කරනුයේ ඒ ශක්තිය ආණ්ඩුවට ලබා ගැනීමට නොවේයැයි සහතික දිය හැකි වනුයේ කාටද? දැනට විශ්‍රාම යෑමට ඔන්න මෙන්න සිටින අයට මෙවැනි වරප්‍රසාදයක් දීම හරහා ඉදිරි දිගු කළ කාලය තුළ තීන්දු ආණ්ඩුවට වාසි නොවෙතැයි කැට තැබිය හැකිද? ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව එන නඩුවලදී අපක්ෂපාතීත්වයක් මේ හරහා බලාපොරොත්තු විය හැකිද? එය බරපතළ ප්‍රශ්නයක්ව පවතී. මේ නීති ඇදුරෝ මතුකරන ප්‍රශ්නය.
1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දා සිට අභියාචනාධිකරණ විනිසුරුවරුන් සඳහා අවුරුදු 63ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහා අවුරුදු 65ක් ලෙස නියම කර ඇත. පසුගිය 20 වැනි සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ ගණන වැඩි කිරීමක් සිදු විය. එවන් පසුබිමක නැවත වයස් සීමාවක් වෙනස් කිරීමේ වුවමනාවක් පැන නඟිනුයේ ඇයි? එයින් නීති පද්ධතියේ ඇති ස්ථාවරභාවය බිඳ වැටීමක් සිදු නොවේද? අනෙක් අතට මෙම සේවා දිගුව හරහා පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ වෘත්තිය අයිතිය අහිමි වීමක් සිදු නොවන්නේද? මහාධිකරණ, දිස්ත්‍රික්ක සහ මහෙස්ත්‍රාත් අධිකරණවල වසර ගණනාවක් කැපවීමෙන් වැඩ කරන දක්ෂ තරුණ විනිසුරුවන් ඉහළ අධිකරණවලට පත්වීම බලාපොරොත්තුවෙන් සිටිති. මෙම විශ්‍රාම කාලය දිගු කිරීම හරහා ඒ අය තව කාලයක් බලා සිටිය යුතුව ඇත. මේ අය ගිය කල ඒ අය එනවා යැයි තර්ක මෙතනට අදාළ නැත. තව වසර දෙක තුනක් බලා සිටින්නට සිදුවීම තුළ බොහෝ දේ විය හැකිය. මේ ක්‍රමය හරහා එතනට එන්නට සිටි පිළිවෙළ සම්පූර්ණ අපිළිවෙළකට හැරීම නොවැළැක්විය හැකිය. ඒ අනුව බලන කල නීතිඥ සංගමයේ කනස්සල්ල ඉතාම සාධාරණය.

දේශපාලකයාද විශ්‍රාම ගැනීම කළ යුතු යැයි පුරසාරම් ගැසූ ජනපති අද කියනුයේ තමන් බලය අත නොහරින පන්නයේ කතාය. මේ හැම එකක්ම හරහා සිටි පෙළ පවසනුයේ එය ඉටුකර ගැනීමේ කූට අරමුණට විය හැකිය. නීතිඥ සංගමය ජනපතිට ලිඛිතව දැනුම් දෙනුයේ මෙවැන්නක් නොකළ යුතු බවය. ඔවුන් කියනුයේ මෙවැනි සංශෝධනයක් අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බවය. එය අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය සහ අධිකරණ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට රජය දක්වන කැපවීම දුර්වල කළ හැකි බවත්ය. විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ එකම අරමුණින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඒ පිටුපස ඇති අරමුණු පිළිබඳව මහජනයාට ප්‍රශ්න කළ හැකි බව නීතිඥ සංගමය අනතුරු අඟවා ඇත. අධිකරණ සම්බන්ධ කාරණාවලදී මහජන ප්‍රශ්න කිරීම සිදු නොවන තරම්ය. ඇත්ත එයයි. එසේ නම් මෙවැනි ප්‍රශ්නවලදී උපරිමය ප්‍රශ්න කළ යුත්තේ නීති විශාරදයන් සහ නීතිඥ ප්‍රජාව එක්වය. ඊට මහජන සහාය ලබා ගැනීමත් ඒ අයගේම වැඩකි. එසේ නොකර මහජනතාව බලා ගනීවි යැයි බලා සිටීම මෙම තීන්දු කඩිනම් කිරීමට මිස අහකට කිරීමට හේතු නොවනු ඇත.
නීතිඥ සංගමය සිය ලිපිය හරහා පැහැදිලිවම පෙන්වා දෙනුයේ මෙම අවස්ථාවේදී දැනට සේවයේ නිරත විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණයට සෘජුව බලපෑම් කිරීමට දරන උත්සාහයක් ලෙස සැලකිය හැකි බවය. එවැනි පියවරක් මහජන විශ්වාසය බිඳ වැටීමට පමණක් නොව අදාළ විනිසුරුවරුන්ගේ ගෞරවයටද හානියක් විය හැකි බව නීතිඥ සංගමය පෙන්වා දේ. එය සැබෑය. දැනට විශ්‍රාම යෑමට නියමිත විනිසුරුවරුන් අතර ඉතාම හොඳ අපක්ෂපාතී විනිසුරුවරුන් ඕනෑ තරම් සිටිය හැකිය. එහෙත් හදිසියේ මෙවැනි ධුර කාලය දීර්ඝ කිරීම් හරහා පොදුවේ ඔවුන්ද සමාජය තුළ දෝෂාරෝපණයට සහ සැකයට ලක්වේ. ඉතාම ගෞරවාන්විත ලෙස විශ්‍රාම යෑමට සිටි විනිසුරුවරුන්ට ඒ හරහා වනුයේ අවැඩකි. දේශපාලනය යමකට අත පොවනුයේ ඒ තැන ඇති පිවිතුරු බව අපවිත්‍ර කරමින් බව අමුතුවෙන් කිව යුතු නැත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා දැනටමත් අභියාචනාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් ඉහළ නංවා තිබේ. එලෙස විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කර ඇති පසුබිමක අධිකරණයේ කාර්යභාරය පදනම් කර ගනිමින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස තවදුරටත් දීර්ඝ කිරීමේ කිසිදු සැබෑ අවශ්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මතුකරන තර්කය නිවැරැදි බව පෙනේ. එබැවින් ජනාධිපතිවරයා මේ ගැන ලොකු සැලකිල්ලක් දැක්වීම වටී. නීතිඥ සංගමය මේ කියනුයේ ජනපති ගන්නට නියමිත තීන්දු රිවස් කර ගන්නට කීමය. පෙර ආණ්ඩු අධිකරණයට බලපෑම් කළ බවට රටේ වැඩි හඬක් නැඟුවේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන්ම විපක්ෂයේ කටයුතු කරද්දීමය. ඒ අය කී දේ අද ඒ අයම කඩ කරමින් සිටීම අභාග්‍යයකි. අධිකරණය ස්වාධීන වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එය කිසිදු දේශපාලන අනුග්‍රහයක්, එකඟතාවක් හෝ බැලපෑමකින් තොර බව ජනතාවටද පැහැදිලිව පෙනී යා යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දේ. එපමණක්ද නොව එබැවින් ජනරජයේ ප්‍රජාතාන්ත්‍රික රාමුව සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම උදෙසා ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අපේක්ෂා කරන කිසිදු යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන යෑමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ගෞරාන්විතව ඉල්ලා සිටී.
ජුනි 1 වැනිදා සවස ජනාධිපති අනුර කුමාර දිසානායක අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය හමු වූ අවස්ථාවේදී අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ස්ථීර වශයෙන්ම දිගුකරන බවට පවසා ඇත. ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ අධිකරණ නිලධාරීන්ගේ සංගමය හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සමඟ නිල රැස්වීම ආරම්භ කිරීමට පෙරය. මෙම ප්‍රකාශනයත් සමඟ නීතිඥ සංගමය සහ නිති විශාරදයන් කනස්සල්ලට හේතු වී ඇත්තෙ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරෙන යෝජනාවක් ලෙස “යහපත් අරමුණකින්” ඉදිරිපත් වීමට නියමිත වුවත් එහි මූලික අරමුණ වත්මන් අගවිනිසුරුවරයා තවත් වසර දෙකක් ධුරයේ තබා ගැනීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුවට තිබෙන වුවමනාව නිසා බවය. මේ සංවාදය මෙතරම් පුළුල්ව සමාජගත වූයේ එබැවිනි.




