රත් දෝතළු – 76
නිහඬව රිය පදවන අහස්ට බාධාවක් කිරීමට නොසිතූ මමද රිය කවුළුවෙන් පිටත බලාන නිහඬවම සිටියෙමි. ඔහු සිය කැමැත්තෙන්ම මා හැරළවීමට ඉදිරිපත්වීම ගැන මම ඔහුට ස්තූති කළෙමි. මේ අවස්ථාවේ හැටියට එය මට මහත් උපකාරයකි. මා එනවිට විනිෆ්‍රීඩා මහත්මියද මා අත වියදමට කියා මුදලක් ලබාදුන්නේ මා එපා කියන විටය.
“තාත්තට ඒ තරම් අමාරුවක් නැතුව ඇති අරවින්දි… ඒ ගැන ඒ තරම් හිතන්න එපා…”
මගේ නිහඬ බව නිසාදෝ ඔහු කීවේ අපි කොළඹින් බොහෝ දුරක් ආවාටත් පසුවය. මම ගෙල හරවා ඔහු දෙස බැලීමි.
“න්න්… නැහැ… සර්… මං ඒ ගැන නෙවේ හිතුවේ…”
“එහෙනම්… මං ගැනද…?”
මසිත තිගස්වමින් ඔහු ඇසුවේ මඳහසක් මුව මත රන්දාගෙන විහිළුවට වුවද එයින් මා සිතේ සියුම් ලැජ්ජාමුසු හැඟීමක් ඇති විය.
“ඔව්…සර්…”
එක එල්ලේම මම කියනවිට ඔහු ඉක්මන් බැල්මක් මවෙත හෙළා යළි ඉදිරිය බලා රිය පදවන්නට විය.
“මොනවද අරවින්දි හිතුවේ…?”
ඔහු යළි විමසීය.
“මං හිංදා සර්ට කරදරේ…”
“ඒ ගැනද හිතුවේ…?”
“ඔව්… ඒ ගැනත් හිතුවා…”
“වෙන…?”
මට එයට එකවරම පිළිතුරක් දිය නොහැකිය.
“කියන්න… තව මොනවද හිතුවේ…?”
“හිතේ තියන හැමදේම කියන්න බැහැ සර්…”
පහත් හඬින් මම කීවෙමි. ඔහු කෙටි සුසුමක් මුදාහරින විට මම රිය කවුළුවෙන් පිටත බැලීමි.
“බැඳීමක් කියන්නේ දුකක් අරවින්දි… ඔයා ඒක දන්නවනෙ…?”
මම හිස හරවා ඔහු දෙස බැලීමි. ඔහු කතාකරමින්ම රිය පැදවූයේය.
“ඔයාගේ හිතේ මං ගැන තියන හැඟීම මොනවගේද කියලා මට තේරෙනවා… මගේ හිතේත් ඔයා ගැන ඒ වගේ හැඟීමක් නැහැ කියලා මං කියන්නේ නැහැ… ඒත්…”
මා හද ගැස්ම වේගවත් විය.
“එහෙම දෙයක් තිබුණා වුණත්… මට ඔයාව මගේ කරගන්න ඕන කියන හැඟීමවත්, එහෙම කරගන්නවා කියල ඔයාට පොරොන්දු වෙන්නවත් මට බැහැ…”
දෙවියනේ..! ඔහු කියන්නේ ඔහුද මට ආදරයකරන බවද.?
“විවාහය කියන බැඳීම ඇතුළේ හිරකාරයෙක් වෙලා ජීවත්වෙන්න මං කැමති නැහැ අරවින්දි… හැබැයි එහෙම කියලා මං දකින දකින ගැහැණු එක්ක යන ජාතියේ මිනිහෙකුත් නෙවේ… මං නිදහස් ජීවිතේකට කැමතියි… ඔයාට ආදරෙයි කියලා මට මට ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න මට බැහැ… ඒක අපරාධයක්… ඔයාට තේරෙනවා නේද මං කියනදේ…?”
“ඔව්… සර්…”
“මේ ටික මං ඔයාට කියලා… මං වරදක් කළාද මංදා…”
“නැහැ සර්… සර්ගේ හිතේ එහෙම අදහසක් තියනවා කියලා හරි දැනගත්ත එක මගේ හිතට සැනසීමක්… ආදරයක් ඇතිවෙන්නේ කියලා නෙවේනේ…”
ඔහු යළිත් සුසුමක් හෙළීය.
“අරවින්දි හොඳ ගැණු ළමයෙක්… ඔයාලා වගේ අය හරිම දුර්ලභයි… අවංකයි… විශ්වාසවන්තයි… ඔයාත් හරියට දුර්ලභ රත් දෝතළු මලක් වගේ අරවින්දි…”
මම තිගැස්සුණෙමි. විහඟද එසේම පවසා තිබුණා නොවේද?
“කුරුල්ලෙක් වෙන්න තිබුණේ විහඟ නෙවේ අරවින්දි… මායි… ඒ නම දාන්න තිබුණේ මට…”
මම පුදුමයෙන් ඔහු දෙසම බලා සිටියෙමි.
“ඒ ඇයි සර් එහෙම කියන්නේ…?”
“විහඟ ජීවත්වෙන්නේ පුදුම සැහැල්ලුවකින්… හිතුණු, හිතුණු තැන ඉගිළෙනවා… සතුටු වෙනවා… කනවා බොනවා… ජොලි කරනවා… එයා ඉන්නේ පුදුම සැහැල්ලුවකින්… මං එහෙම නැහැනේ… වගකීම්… පවුල් බර… රාජාකාරී…. මේ හැමදේම එක්ක මං ජීවිතේ විඳිනවා නෙවේ… විඳවනවා… වෙලාවකට මට මේ හැමදේම දමලා ගහලා යන්න හිතෙනවා… මං මෙහෙමවත් ඉන්නේ සුදු මම්මා නිසා…”
ඔහු ඒ විවරකළේ මෙතෙක් සිතේ විවර නොකළ පැතිකඩකි. මා සිතේ අනුකම්පාවක් ඇතිවිය. පවුලේ වැඩි මහල් දරුවා වී ඉපදුණ විට සියළු වගකීම් දැරිය යුතුය. ගැහැණු දරුවා පිරිමි දරුවා කියා වෙනසක් නැත. මටද එසේය. මම නිහඬව සිටියේ මා සිතටද අලුත් වූ දුකක් දැනෙන්නට වූ නිසාය. ඒ මා පරයා හෝ ඔහු වෙනුවෙන් හෝ සමස්ථ වගකීම් දරන සියලු දරුදැරියන් නිසා සිතේ නැඟුණක් විය හැක. මම නිහඬව සිටියේ කිසිත් කීමට නොහැකි නිසාය.
“මෙදා පාර අපි මහප්පාගේ දානේ දෙන්නේ ළමා නිවාසෙකට…”
සුළු මොහොතකට පසුව ඔහු කීවේ කතාබහ වෙනත් දෙයකට යොමු කරමිනි.
“ඔව්… මැඩම් මට කිව්වා…”
“අපි හැම අවුරුද්දෙම ඔය වගේ ළමා නිවාසෙකට දානයක් දෙනවා… එකම තැනට නෙවේ… ගොඩාක් ආධාර හම්බෙන්නේ නැති තැන් බලලා… ඒ ළමයි දකිනකොටනම් පව් කියලා හිතෙනවා… මොන හිතකින්ද මෙහෙම දරුවෙක්ව දාලා යන්නේ…?”
“සමහරවිට ආදරේ නිසා රැවටුණ අය… එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න… කෙල්ලෙක් මෙහෙම ආත්මය පරිත්‍යාග කරන්නේ ආදරය කරන කෙනා විශ්වාස කරගෙන…”
“ඒක විශ්වාසය නෙවේ අරවින්දි… මෝඩකම… ගැහැණු ළමයෙක් දැනගන්න ඕන මැරි කරනකල් තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න… කෙල්ලෝ සීයක් එක්ක ගිය කොල්ලෙක් වුණත්… අන්තිමේදී කසාඳ බඳින්න හොයන්නේ පිවිතුරු කෙල්ලෙක්ව…”
“ඒක මොන තරම් අසාධාරණද…?”
“ඔව්… ඒත් ඒක තමා ඇත්ත…”
නිර්මාණිද මෙවන් කතාවක් පැවසූ බව මට හදිසියේ සිහිවිය.
“තවම කාවවත් සිලෙක්ට් කරගත්තේ නැත්ද සර්…?”
කල් යල් බලා මම විමසුවෙමි.
“ම්ම්හ්හ්…. තවම නැහැ…”
“ඉතින් ඔය ඉන්ටර්වීව් කරපු අය අතරේ කවුරුත්ම හිටියේ නැත්ද හරියන කෙනෙක්…?”
“ඉන්ටර්වීව් කරපු අය අතරේ නම් හිටියේ නැහැ… ඒත් වෙන කෙනෙක් නම් ඉන්නවා…”
“ඉතින් එයා මේ ඉන්ටර්වී එක ගැන දැන්නවද…?”
“ඔව්…”
“එහෙනම් සර්ට තිබුණේ මුලින් එයාට මේ ගැන කියලා ඇඩ් එක දාන්න… සමහරවිට ඒ කෙනා කැමතිවෙන්නත් ඉඩ තිබුණා…”
“ඔව්… අපරාදේ… මට ඒක මුලින් කල්පනා වුණේ නැහැ…”
“අඳුනන කෙනෙක්ද…?”
මා සිතේ සියුම් ඊර්ෂ්‍යා මුසු හැඟීමක් ඇතිවුණේ නිතැනිනි.
“ඔව්… දන්නවා…”
“එහෙනම් ඉතින් සර් කතා කරලා බලන්න එපැයි…”
“අකමැති වුණොත් කියලා හිතලයි මං ඇහුවේ නැත්තේ…”
“කැමැත්ත අකමැත්ත දැනගන්නත් අහන්න එපැයි සර්…”
මඳහසක් පාමින් මම කීවෙමි.
“ඒකනේ ඉතින්… මං එහෙම ඇහුවොත් අරවින්දි ඒ ගැන මොකද කියන්නේ…?”
දෙවියනේ…! මා ගත සීතලව හිරිවැටී ගියේය. හද ගැස්ම වේගවත් වන්නට වූයෙන් මම කැළඹුණු දෑසින් ඔහු දෙස බලා සිටියෙමි. මුවේ මඳහසක් නංවාගෙන ඔහු මදෙස බලා යළි වහා ඉදිරිය බලා රිය පදවන්නට විය.
“මම හිතුවා වගේම ඔයා බයවුණා…”
“සර් ඒ කිව්වේ මං ගැනද…?
“ඔව්… නැතුව… ඔයා බයවෙලා දැන්මම…”
ඔහු සිනහසුණේය.
“න්… නැහැ…”
“නැත්තේ මොකෝ…ඔය මූණත් රතුවෙලා…”
මසිත අලුතින් කළඹාලමින් ඔහු කීය.
“න්න්… නැහැ…”
“එහෙනම් හිතලා බලනවද…?”
ඔහු එය අසා තිබුණේ විහිළුවට නොවන බව මට පසක් විය. එම යෝජනාව අමුතු යැයි කියා සිතුණද මසිත දැනටමත් එය පිළිගෙන ඇතිවාක් මෙනි. එම සිතුවිල්ල මා බිය ගැන්වීය. මෙවැනි දෙයක් මා කිසිදිනක බලාපොරොත්තුව සිටියේ නැත. පිළිතුරක් ඔහු මේ මොහොතේදී බලාපොරොත්තු නොවේ.
අප අතර යළිත් පැවතියේ නිහැඬියාවකි. ඔහු රථයේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක කළේ එහි වූ පාළුව මකාදමන්නට මෙනි. එයින් නික්මුණේ මා ආසා කරන සුනිල් එදිරිසිංහ මහතාගේත් දීපිකා මහත්මියගේත් මියුරු ගීතයකි.
“අහසයි ඔබ මට
නිම්හිම් නොපෙනෙන
ඉණිමං බඳිනු බැරී….
පොළොවයි ඔබ මට
තරුවක් විලසට
රෑ කල පතිත වෙමි….”
-27 වන සඳුදා නැවත හමුවෙමු-