NovelsRath Dothaluරත් දෝතළු - 71

රත් දෝතළු – 71

-

spot_img

රත් දෝතළු – 71

විහඟ මා දෙස බලාසිටියේ අපහැදිලි බැල්මකිනි.

“තේරුණේ නැහැ නේද කියපු දේ…?”

ඔහු යළිත් ඇසීය.

“නැහැ… මොකක්ද සර් කියන්නේ…? මට තේරුණේ නැහැ…”

“ඔව්… තමුසේ බබා…”

මා සිතේ කෝපයක් ඇතිවුණේ එම වචනය නිසාය.

“විහඟ සර්… කතා කරන්න පුරුදු වෙන්න… සල්ලි, දේපළ, ලස්සන, ප්‍රසිද්ධිය විතරක් තිබුණට වැඩක් නැහැ… කතා කරන්න දන්නේ නැත්නම්…”

සිත පුරා බුර බුරා නැඟි කෝපය මම ඔහුගේ මුහුණටම දමා ගැසීමි.

“ඕහ්… සොරි මැඩම්…”

උපහාසයෙන් ඔහු කීය.

“මට මැඩම් කියන්න ඕන නැහැ විහඟ සර්…”

නොමනාපයෙන් ඉවත බලාගනිමින් මම කීවෙමි.

“දැන්වත් තමුන්ට තේරුණාද…?”

“මොනවා ගැනද විහඟ සර් මේ අහන්නේ…?”

“මොනවද අහන්නේ… මං එදත් කිව්වේ… අහස් කියන්නේ මිරිඟුවක් කියලා…”

ඔහු යළිත් වරක් පහරදුන්නේ මා සිත වඩා රිදෙන තැනටමය.

“ඉතින් ඒකෙන් මට ඇති වැඩේ මොකක්ද…?”

“වැඩේද…? වැඩේ තමා… තමුන් තේරුම්ගන්න ඕන එයාව කවදාවත් තමුන්ට ලැබෙන්නේ නැහැ කියලා… අනික තමා එයාටත් තමුන්ව වුවමනා නැහැ… තමුන් තියා වෙන කිසි කෙනෙක්වවත් එයාට වුවමනා නැහැ… පේනවනේ කරන්න යන දේ…?”

“සර් කරන ඒවා එක්ක බලනකොට නම් අහස් සර් කරන්නේ වැරැද්දක් කියලා මට නම් හිතෙන්නේ නැහැ… අනික සර් මොකටද ඔච්චර ඔය ගැන වදවෙන්නේ…? අහස් සර් කවදාවත් සර්ගේ පර්සනල් දේවල් හොයන්න ආවේ නැහැනේ… නේද…?”

උපහාසයෙන් යුතුව මම ඇසීමි.

“මම හොයන්න ගිය එකක් නැහැ…”

“සර් ඉන්නේ ඊර්ෂ්‍යාවෙන්… ඒකයි ඔය විදියට කතා කරන්නේ…”

“ඊර්ෂ්‍යාවෙන්න…මම…? මම මොකටද එයාට ඊර්ෂ්‍යා කරන්නේ… මම කරලා තියන දේවල්වලින් බාගයක් වත් මෑන් කරලා ඇති කියලා මං හිතන්නේ නැහැ…”

අවඥාසහගත හඬකින් ඔහු කීවේද මුවේ නැඟි එවන්ම සිනහවකින් යුතුවය.

“ඒක නම් ඇත්ත වෙන්න ඇති තමා… සර් එයා එක්ක ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ ඒ නිසා නෙවේ… සර් ළඟ නැති හුඟාක් දේවල් අහස් සර් ළඟ තියන නිසා… සර් ඇහුවනේ මං මොකටද අහස් සර්ට මෙච්චර ආදරේ කරන්නේ කියලා… අන්න ඒ දේවල් නිසා තමා මං අහස් සර්ට ආදරේ… සර් ඒ ගැනත් ඉන්නේ ඊර්ෂ්‍යාවෙන්… මොකද සර්ට තවම හරි ආදරයක් නොලැබුණු නිසා… සර් ඇඳුම් මාරුකරනවා වගේ කෙල්ලෝ මාරුකරන්නේ අන්න ඒ නිසයි… මොකද සර්ත් හොඳටම දන්නවා ඔය කෙල්ලෝ කවුරුවත් සර්ට ආදරේ නොකරන බව… සර්ගේ භාෂාවෙන් කියනවා නම්… සර්ට ඒක ෆන් එකක්… ආතල් එකක්… සර්ගේ ලස්සනටයි… ප්‍රසිද්ධියටයි… සල්ලිවලටයි කෑදරකමට එයලා ඕන දෙයක් කරයි… නැතුව ඒ ආදරේට නෙවේ… සර්ට තවමත් අවබෝධ නොවුණු ඇත්‍ත ඒකයි…”

“තමුන්ට ගොඩාක් දේවල් තේරෙනවා නේ…?”

“ඔව් සර්… තේරෙන නිසා තමා මේ කතා කරන්නේ… අම්මා තාත්තාගෙන්වත් නොලැබුණු ආදරය සර්ට ඕන කාගෙන් හරි ලබාගන්න… ඒ හිස්කම පුරවගන්න… ඒත් සර් ඒ හිස්කම පිරෙන්නේ නැහැ… මොකද ඒවා තාවකාලික නිසා… ඒ දේ තේරුම් අරන් ජිවත්වෙන්න… එකෙක් යනකොට තව එකෙක් ආවත් අර හිස්කම හැමදාම එහෙමමයි… ඒක පිරෙන්න ඕන සැබෑ ආදරේකින්… සල්ලිවලට… කෙනෙක්ගේ ප්‍රතිරූපයට ආදරය කරන කෙනෙක්ගෙන් නෙවේ… තමන්ගේ ආත්මයට හදවතට… ආදරයකරන කෙනෙක් හොයාගන්න… ඊට කලින් තව කෙනෙක්ට ආදරය කරන්න… ගරු කරන්න ඉගෙනගන්න…”

මම එක දිගටම කියවගෙන යන දිහ දෑස් විහිදා බලා සිටි විහඟ එකවරම මා බාහුවෙන් ඇද තමා වෙතට ළංකරගන්නා විට මම තැති ගතිමි.

“ඔච්චර දෙයක් දන්න එකේ ඇයි තමුන්ට බැරි මට ආදරය කරන්න…”

මා මුහුණට එබෙමින් ඔහු ඇසුවේ කෝපයෙන් නොව ඉතා හැඟීම්බර වූ හඬකිනි. ඔහුගේ දෑස් මා දෑස් හා යාවී තිබිණි. එහි ලියවී ඇති කතාව කියවන්නට මට වුවමනා නොවීය.

“ආදරේ බලෙන් ඇති කරගන්න බැහැ… ඒක ඉබේම වෙන දෙයක්…”

මම මගේ බාහුව මුදාගන්නට තැත් කරමින් කීවෙමි.

“උත්සාහ කළොත් බැරි නැහැ…”

“වෙන කෙනෙක්ට ආදරේ කරන ගමන් සර් ගැන හිතන්න මට ඕන නැහැ…”

එවර ඔහු මා අත ගසා දැමුවේ කෝපයෙනි.

“තමුන්ට දවසක තේරෙයි…”

දබරැඟිල්ල මා ඉදිරියේ ලෙලවමින් කී ඔහු ඉවත ගියේ මට රවමිනි.
————————————————————————————————————————————————————-
නිර්මාණිගේ ඇමතුම හා සම්බන්ධ වෙමින් මම මිදුලට ආවෙමි. පුවත්පත් දැන්වීම පිළිබඳව සංජීව් ඈ හා පවසා තිබිණි.

“මොනවද බං මේ අහස් කුමාරයා කරන්න යන වැඩ… එකාතකට ඒක හොඳයි අරවින්දි… බැඳීම් ඇතිකරගෙන ජීවත් වෙනවටයි, මැරි කරලා ඩිවෝස් වෙනවටයි වඩා…”

ඈ කීවද මම එයට එකඟව හෝ විරුද්ධව කිසිත් කීමට නොගියෙමි. එය ඔහුගේ කැමැත්තය.

“සමහර අයට නම් අවුල් ඇති…”

ඈ ඒ ඇනුම්පදය එල්ල කළේ මට බවත් මම දනිමි. දුකක් මා සිතේ නොවූවා කියා මා පවසනවා නම් එය මුසාවකි. මම ඔහුට ආදරය කරන බව මම දනිමි. විහඟද පරළව සිටින්නේ ඒ නිසාය. ඔහු කියන්නාක් මෙන් මිරිඟුවක් පසුපස දිව පළක් නැත. සිතේ ආදරය සිරකරගෙන සිදුවන දේ දෙස බලා සිටිනවා හැර මා වෙන කුමක් කරන්නද? මා අහස්ට ඇති ආදරය ඔහුට ඇඟවූවා කියාද ඉන් පළක් නොවනු ඇත. දැනටමත් ඔහු එය දැනසිටිනවාද විය හැක. ඔහු මෙවන් තීරණයක නොසිටියද කෙදිනකවත් ඔහු වැන්නෙකු මා වැනි අයකුට හිමිවන්නේ නැත. අහසත් පොළොවත් එකට යා නොවේ.

“කවුරුවත් අවුල් යන්නෙ මොකටද…?”

මමද අනෙක් පසට කීවෙමි.

“නැත්තේ නැහැනේ… මෙයාගේ අහස් කුමාරයා මෙහෙම කරයි කියලා කවුද හිතුවේ…”

පෑරුණු සිත තවත් පාරමින් නිර්මාණි කීවාය. මම ඈ හා වාදකිරීමට නොගියේ ඉන් රිදෙන්නේද මා සිතම බව දැනය. කතාබහ නිම වූ පසුත් මම බංකුව මතට වී හිඳහෙන රාත්‍රී අහස දෙස බලා සිටියෙමි. අඳුරු අහසේ පාළුව දුරළමින් තරුමල් එකිනෙක් පිපී එන්නට විය.

“අරවින්දි…”

ඒ හඬින් තිගැස්සී ගිය මා ගෙල හරවා බැලීමි. රාඝව මා පසෙක වූ අතර මම වහා හුනස්නෙන් නැඟී සිටියෙමි.

“රාඝව සර්… මම දැක්කෙත් නැහැ එනවා…”

තරමක ලැජ්ජාමුසු හැඟීමිකින් මම කීවෙමි.

“ඉඳගන්න ළමයෝ… ඔයා හරියට බය වෙලා නැඟිට්ටේ ස්කූල් එකේ ප්‍රින්සිපල් ආවා වගේනේ…”

සිනහසෙමින් ඔහු කීවද මම සිටගෙන සිටියෙමි.

“පුරුද්දට…”

මම කීවෙමි.

“හොඳ පුරුදු…”

ඔහු කීවේ අගයකරන්නට මෙනි.

“සර් මේ වෙලේ… අහස් සර් නම් තවම ආවේ නැහැ මං හිතන්නේ…”

“මං ආවේ අහස් එක්ක තමා… අහස් ඔෆිස් එකට ගියා… හෙට ඉඳන් මෙහෙ ඉන්ටර්වීව්නේ…”

“ආහ්… හෙට…?”

මට ඒ බව මතකයේ නොවීය.

“ඔව්…”

“ඉතින් කට්ටිය ඉන්නවද රාඝව සර්…?”

කුහුල් සිතින් මම ඇසීමි.

“අහස් මේක දානකොටත් මම හිනාවුණා එහෙම කළාට වැඩක් නැහැ… ඕකට කවුරුවත් කතාකරන්නෙ නැහැ කියලා…”

“ඉතින්…?”

“ඔයා දන්නවද අරවින්දි… දැනටම කෝල්ස් සීයකට වඩා ඇවිත් තියෙන්නේ… හෙට දහයක් එනවා… අනිද්දා දහයක් එනවා…”

“මොනවා සර්… ඇත්තටම…?”

මට එය අදහාගන්නට නොහැකිය.

“ඔව් අරවින්දි… මම ඌට හිනාවුණා… බලං ගියාම අපිටයි වැරදුණේ… එහෙම කැමති කෙල්ලෝ ඕන තරම්…”

“සල්ලිවලට…”

රළු හඬකින් මම කීවෙමි. එහි ඊර්ෂ්‍යාවද ගැබ්ව තිබෙන්නට ඇතිවාට සැක නැත.

“අහස් කියන්නේ අමුතු එකෙක්… ඉස්සර ඉඳන් ඌ එහෙමනේ… අමුතු අදහස්… අමුතු විදියට හිතුව එකෙක්… ඔයාට මොකද හිතෙන්නේ ඌ මේ කරන්න යන දේ ගැන…?”

ඔහුගේ පැනයට මට එකවරම පිළිතුරක් දිය නොහැකිය. ලැජ්ජාමුසු හැඟීමක් මා සිතේ ඉහිරිණි.

“ම්ම්…?”

රාඝව යළි ඇසීය.

“එකාතකින් බැලුවාම සර් ඒකේ වරදක් නැහැනේ…”

“ඇයි අරවින්දි එහෙම කියන්නේ…?”

පිළිතුරක් දීමට මම ඉක්මන් නොවූයෙමි. හතර වටින් අඳුරගලා එන්නට විය. රාඝව මා දෙසම බලා සිටින්නේ පිළිතුරක් අපේක්ෂාවෙනි.

-20 වන සඳුදා නැවත හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා - Kristen Stewart වයස අවුරුදු නවයේදී රංගනයට අවතීර්ණ වූ ඇය ලොව පුරා ජනප්‍රිය තරුවක්...

රත් දෝතළු – 68

රත් දෝතළු - 68 විහඟට සූපයක් සාදමින් සිටි මා තිගැස්මෙන් හැරී බැලුවේ සුපුරුදු විලවුන් සුවඳක් දැනුණ නිසාය. අහස් මා පිටුපස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you