NovelsMandaramen EhaMandaramen Eha - 32 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 32 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha –  සමන්තී සිය මහ ගෙදර මිදුලෙහි, ඇසළ ගසට බර දී කඩුල්ල දෙස බලා උන්නාය. කුඩා පුතු කවිරූ උන්නේ ඇසළ ගස පාමුලට වී සෙල්ලම් කරමින්‍ ය. සිය සහෝදරයාගේ බල කිරීමට සහ නිතරම ඔහුගේ බසට අකීකරු වීමට නොහැකි නිසාවෙන්, තමන්ගේ නිවස හැරදමා විත් මහ ගෙදර පදිංචි වී සිටිනවා විනා, සමන්තී මෙහි සිටින්නේ හිත තුටින් නොවේ. ඇගේ මතක සහ සතුට ඇත්තේ තමන්ගේ සැමියා බාගෙට තනා නිම කළ නිවස තුළය. ඒ නිවස කෙතරම් අග, හිග,අමාරුකම් වලින් පිරී තිබුණද, අංග සම්පූර්ණ නොවුණද, එහි තම සැමියා වූ වසන්ත සමඟ ගෙවා දැමූ කාලය තරම් සතුට පිරුණු වෙනත් මතකයක් සමන්තීගේ හිත තුළ නොවේ. ඉන් පසුව ඉඳහිට ලක්මාල් එහි පැමිණ ගිය දවසක වසන්තගේ පැරණි මතකයන් ස්මරණය කරමින් තමා එහි කෙතරම් ස්වාධීන ජීවිතයක් ගත කළේද යන්න සිහියට නැඟී, සමන්තීගේ මුවට ඉබේම බර හුස්මක් නැඟී ආවාය.

“අම්මේ…” ඒ කුඩා පුතු කවිරූය.
.
“ඇයි මයෙ අම්මේ…” සමන්තී කවිරුගේ හිස මෘදුව අත ගෑවාය.

” අම්මා ඇයි ඊල්ලුවේ…”

“ඒ මොකක්ද මයෙ අම්මේ..”

“ලොකු කිරිඅම්මා ඔහොම කරද්දි බයින්නෙ ඌල්ලන්නෙපා මුස්පේත්තුයි කියලා .”

කවිරු කීයේ තමන් බරට හුස්මක් ගෙන පහල හෙලූ ආකාරය අනුකරණය කර පෙන්වමිනි. ඇය සිය පුතු අසළට පහත් වී හිඳගත්තාය.

“ඒකට කියන්නෙ ඌල්ලනවා නෙවේ මයෙ අම්මේ හූල්ලනවා…මුස්පේත්තුයි නෙවේ මුස්.. පේන්තුයි..”

“ආං.. ඒක.. ඉතිං ලොකු කිරිඅම්මා එපා කියද්දි ඇයි අම්මා ඒක කරන්නෙ..”

“මට අපේ ගෙදර මතක් වෙලා දුකට එහෙම වුණේ මයෙ අම්මේ..”

“මටත් අපේ ගෙදර මතක්වෙනව…ඇයි අපි එහේ යන්නැත්තෙ අම්මේ…”

“ලොකු කිරිඅම්මා මෙහෙ තනියෙන් නිසානෙ..ඇයි මයෙ අම්මා මෙහේ ඉන්න කැමති නැද්ද..”

“අප්පච්චි මෙහෙට එන්නෑනේ..එහේ ගෙදරට විතරනෙ එන්නේ..ඒ නිසා මං කැමති එහේට..”

සමන්තිගෙ පපුව මත බරැති යමක් පතිත වූවාක් මෙන් හදිසි දෙදරීමකින් රිදී ගියාය. මෙතරම් කාලයක් ගෙවී ගියද සිය පුතුගේ හිතින් ලක්මාල් මැකී ගොස් නොමැති බව දැනී ඈ තැති ගත්තාය. ඒ ගැස්මෙන්ම ඇය සිය පුතු තුරුළට ගත්තාය. මේ සියලු දෙය පිළිබඳව ඇස, කන යොමාගෙන හුන් සමන්තීගේ මව ලොකු බණ්ඩාරමැණිකේ, පිටි අල්ලෙන් දෑස් පොඩි කරමින් ගෙට වැදුණාය.

කැලේගම වලව්වේ සිය කාමරයට පෙනෙන වැව දෙස බලාගෙන සරලා ගැඹුරු කල්පනාවකය. පෙරදා ලක්මාල් සහ අදීෂ පැමිණ වලව්වේ ගේට්ටුව අසළ සැරිසරද්දී ඇය සැබවින්ම වික්ෂිප්ත වූවාය. තමා සිටින්නේ කොහිදැයි පවා අමතකව ඈ ගේට්ටුව කරා යෑමට සැරසුණේ එනිසාවෙනි. එහෙත් ඉස්කෝලෙ නැන්දා තමන්ව නවතා නිවස තුළට හරවා යැවූ අයුරු ඇයට සිතාගත නොහැකි විය. එදාද මෙලෙසම තමන් මෙතැන සිට ගේට්ටුව අසළ කතාබහක යෙදෙන ඉස්කෝලෙ නැන්දා, ලක්මාල් සහ අදීෂ දෙස බලා හුන් අයුරු ඇයට සිහිවිය. ඒ අවට ඉතාම ආවේගයෙන් එහා, මෙහා සක්මන් කරන රිදී නැන්දාගේ හැසිරිම ඇත්තෙන්ම සරලා බිය ගැන්වූවාය. බිම දෙපා ඇතිල්ලෙන හඬකින් හැරී බැලු සරලා දුටුවේ කාමරයට ඇතුල්වන ඉස්කෝලෙ මැණිකේය. ඇය ජනේලය අසළින් මෑත්ව සිය නැන්දණිය පෙරමඟට ආවාය.

“මොනාදප්පේඒ.. ඔය අහස පොළොව ගැටගහන්නැහැ කල්පනා කරන්නේ..”

“න්.. නෑ මේ නිකං කම්මැළි කමට නැන්දම්මේ…”

“ඔය වයසට මේම කම්මැළි වෙලා කොහොමදප්පේ…ළමිස්සියෝ වුණාම පොඩ්ඩක් දඟලලා කරලා ඉන්නෙපායැ..”

සරලා කිසිත් කියන්නට ගියේ නැත. අද සිය නැන්දණිය ඕනෑවටත් වඩා සැහැල්ලු බවක් පෙන්වන්නේයැයි ඇයට සිතුණාය.

“ඔයාට මෙහේ පාළුයිද..” සරලා නිහඬ වූයෙන් ඉස්කෝලෙ මැණිකේම නැවත ප්‍රශ්න කළාය.

“එහෙමම නෑ…නැන්දම්මයි, රිදී නැන්දයි ඉන්නේ..”

“අපි ඉතිං නාකියි නෙව…ඔයාලැයි ඉස්ටයිල් නෙවේනේ..”

“එහෙම නෑ…”

සරලා කීයේ සිය නැන්දණියගේ සංවාදයට සහය දිය යුතු නිසා මිස හැඟීමෙන් නොවේ. ඉස්කෝලෙ මැණිකේ සරලාට පසෙකින් ඇයට සමීප වී උරහිසට අතක් තැබුවාය.

“ඈං ළමයො..කවුද ලක්මාල් කියන්නෙ..”

සරලා තිගැස්සුණ බව ඇගේ උරහිසට අත තබා උන් ඉස්කෝලෙ මැණිකේට දැණුනාය.

“මං කීවේ අර පෙරේදා ගේට්ටුව ළඟ කැරකුණු හාදයා…”

“සමන්ති අක්කගෙ යාළුවෙක්..”

“ස..ම..න්..තී……” ඉස්කෝලෙ මැණිකේ ඒ නම දීර්ඝව උච්චාරණය කළාය.

“කාලිංගයියගෙ නංගී..අර එදා මෙහේ ඇවිත් ගියේ…”

“අහ්…අර ඔයැයිව බලලා යන්නාව කියලා අමුතු තාලෙට කතා කරලා ගිය ගමේ ළමයද..” සරලා හිස වැනුවාය.

“එයැයිනං ගෑවිච්චි නෑදෑකමට හරි කියමුකෝ…ඔය ලක්…..මා..ල්.. කියන හාදයා මොකෝ ඔයැයිව හම්බෙන්නාවේ…”

“මේ…මං…”

“ඔව්…සරලා නංගි පොඩ්ඩක් හම්බෙන්න පුළුවන්ද කියලා ඇහුවේ…මං කීවා එහෙම නන්නාඳුනන ඈයන්ට හම්බෙන්න මෙහේ නංගිලා නැතය කියලා ..”

“ඇත්තටම මං ලක්මාල් අයිය දන්නෙ සමන්ති අක්කලායෙ දිහා ආව,ගිය නිසා නැන්දම්මෙ…වසන්ත අයියගෙ ආමි එකේ යාළුවෙක්ලු…ඒ ඇරෙන්න එයා කාගෙ,කවුද ඉන්නෙ කොහෙද කියලා දන්නෑ..”

“ආමි….කාරයෙක්…”

ඉස්කෝලෙ මැණිකෙගේ මුහුණ බෙරි වී තිබිණි. ඇය වචන උච්චාරණය කළේ පිළිකුලෙන් මෙනි.

“බොහොම යසයි නොවැ ගෙදර අය වැදගත් ගෑණු දරුවෙක් හදලා තියන තාලේ…”

“ඒක අපෙ මැණිකේ..අපේ පුංචි නිළමෙ ගෑවිච්චි පවුල්වල තාලේනේ..”

රිදී නැන්දා කාමරයට හිස පෙවූයේ එසේ කියාගෙනය. සරලා සහ ඉස්කෝලෙ මැණිකේ එකවිට සිය මුහුණු දෙස බලාගත්තෝය.

සැදෑ කළුවර ගල්ගමුව නඟරය අරක් ගනිමින් තිබිණි. තාරුකා සිය යතුරුපැදියේ පිටුපස නංවාගත් කාලිංග අරසන් වැව් බැම්මට සේන්දු වූයේය. ඔවුන් දෙදෙනා බන්ධුගේ ගරාජය පසු කරනවාත් සමඟම එහි නවතා තිබූ යතුරුපැදියක් ඔවුන් පසුපසින් ගමන් කරන්නට වූ බව කාලිංග සිය පැති කණ්නාඩියෙන් දුටුවේය.

“උඔගෙ ඔය බූරු ඇඳ අකුලගෙන එක විදිහකට වාඩිවෙයංකෝ බයික්කෙකේ..” කාලිංග එසේ කීයේ පිටුපස උන් තාරුකාටය.

“අයියෙ මං ඔයාට හැමදාම කියනවා බයික්කෙකේ යද්දි කෑගහන්නෙපා කියලා…”

“එහෙමයි උත්තමාවිය…එහෙනම් හෙට ඉඳලා පාරේ බස්සෙකේ වඩින්ඩ හොඳයි…”

“ඔයාගේ කුණු කතා අහගෙන මේකේ එනවට වඩා බස්සෙකේ එන එකනම් සැපයි අනේ..”

කාලිංග එකවරම යතුරුපැදියේ තිරිංග තදකොට පාරමැද නතර කළේය. තාරුකා අත තිබූ බෑගය ඈතට විසිවී ගියාය.

“මොනාදයියේ කරන්නේ…”

“කටවහං ගිහිං අර බෑග්ගෙක අහුලං වරෙං…”

කාලිංග, තාරුකාට එසේ කීයේ පැති කණ්නාඩියෙන් තමා පසුපස ආ යතුරුපැදිකරු දෙස විමසිලිමත් වෙමිනි. තමා හදිසියේම යතුරුපැදිය පාර මැද නැවැත්වූ බැවින් අන්දමන්ද වූ එම යතුරුපැදිය පාරෙන් ඉවතට පැන තිබිණි. යතුරුපැදිකරු ඉතා අමාරුවෙන් එය පාරට ගන්නා අයුරු කාලිංග බලා සිටියේ මුවඟ සරදම් සිනහවක් සහිතවය.

“ඕක අයිනට ගන්ඩකෝ අයියේ මිනිස්සු බැන,බැනා යනවා ඇහෙන්නැද්ද…”

තාරුකා එසේ කියමින් විත් යතුරුපැදියේ වාඩි වූවාය. පැති කණ්නාඩිය දෙස බලමින්ම කාලිංග නැවත සිය යතුරුපැදිය පදවන්නට වූයේය. තවත් ටික දුරක් එසේ ගිය ඔහු අසළ තිබූ කඩයක් තුළට යතුරුපැදිය පැදවුයේය.

“මොකක්දයියේ ඔයාට වෙලා තියෙන්නේ..”

“උඩුබුරන්නැතුව හිටපංකෝ.. කොල්ලට විස්කෝතු පෙට්ටියක් අරං එනකං..”

තාරුකා අමනාපයෙන් යුතුව යතුරුපැදියෙන් බැස්සාය. කාලිංග තමා පසුකොට යන නාඳුනන යතුරුපැදිය දෙස බලමින් ගොස් කඩයට රිංගුවේය.

“නැගපං ඉතිං බකං නිලාගෙන ඉන්නැතුව..”

කාලිංග නැවත පැමිණ යතුරුපැදියේ හිඳගෙන අවසන් බව තාරුකා දුටුවේ එවිටය. තමා ලුහුබඳින යතුරුපැදිය ඉදිරියේ ගසක් යට නතර කර ඇති බව නිරීක්ෂණය කරමින් කාලිංග එය පසුකර ගියේය.

“කොහෙදයියේ මේ යන්නෙ හන්දිය පහුවුණා…”

සිය සොහොයුරා ගිරාතලානට හැරෙන මැදින්නෝරුව හන්දිය පසුකර ඉදිරියටම යන බව දැක තාරුකා කෑගැසුවාය.

“අපි පොඩ්ඩක් හුරිගස්වැව හන්දියට ගිහිං එමු. උඔට පොඩි පිච්චැර් එකක් පෙන්නන්ඩ තියනවා…”

කාලිංග කෑගසා කීයේ සිය “හැක්…හැක්” සිනහව සමඟය.

Latest news

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...
- Advertisement -spot_img

රත් දෝතළු – 96

රත් දෝතළු - 96 මේ මොහොතේ මාවතේ වූයේ තරමක කළබලයකි. විහඟ රිය පවදාගෙන විත් හදිසියේම අතුරු පාරකට රිය හරවා එය...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you