NovelsMandaramen EhaMandaramen Eha - 44 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 44 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – ශාරික සිය නිවසෙහි ආලින්දයට වී,ගිරාතලාන වැව දෙසින් විටින් විට ඇසෙන මිනිස් කටහඬවල් වලට කන් දෙමින් සිටියේය. ඔහුගේ මතකය අද උදෑසන ගල්නෑව කඩයේ සිදුවූ සිදුවීම වෙත නිරායාසයෙන් ඇදී ගියේය. සුදු මහත්තයා සහ කාලිංග යතුරුපැදි වලම හිඳ, එකිනෙකා හා යමක් කතා කරමින් සිටියෝය. කෘෂි අලෙවිහලෙහි කැෂියර් කූඩුවට වී මාධවී එදෙස බලා උන්නාය. ශාරික සිටියේ ඇයට පිටුපසින් සැඟවී මෙනි. මොහොතකින් තාරුකාවද රැගත් කාලිංගගේ යතුරුපැදිය පිටව ගිය අතර, සුදු මහත්තයා කෘෂි අළෙවිහල දෙසට සිය යතුරුපැදිය හැරවූයෙන්, මාධවී වහා පිටුපසට හැරුණාය. එකෙණෙහිම ඇය ශාරිකගේ ඇඟේ හැපී නතර වූයෙන්,මොහොතක් ඔහු දෙසම බලා හිඳ,

“බොස් එනවා අනේ…ඔයාගේ මේසෙට යන්ඩ…”

කියා ශාරිකගේ උරහිස් දෙකෙන් අල්ලා ඔහුව, කැෂියර් කූඩුවෙන් පිටතට තල්ලු කර දැමුවාය. ශාරික විසිවී ගොස් සිය මේසය අසළ නතර වද්දීම, සුදු මහත්තයා ගබඩා පරිශ්‍රයට ඇතුල් වූවේය.

“ඕහ්…තමුසෙ මොකෝ මෙහෙ හැංඟිලා…අන්න තමුසෙගෙ වෙන්ඩ මස්සිනයි,වෙන්ඩ බාරියාවයි ඇවිල්ලා ගියා….”

“ඇත්තම කීවොත් ඔය මගේ ඇවැස්ස මස්සිනයි,නෑනයි බොස්…” ශාරික කීයේ මවාගත් සිනහවක් මුවඟ රඳවා ගනිමිනි.

“ඇවැස්ස නෑකම් ගැන කියද්දියි මතක් වුණේ..තමුසෙගෙ කෙල්ලට ලස්සන අක්ක කෙනෙකුත් ඉන්නව නේද අයිසෙ..”

“ඔව්, බොස් කොහොමද ඒක දන්නෙ..” ශාරික ඇසූයේ කුහුලෙනි.

“මං එදා මලගෙදරදී තමා දැනගත්තෙ..බැඳලා ඇරිලලු නේහ්..”

“නෑ.. සමන්ති අක්කගෙ මහත්තයා හිටියෙ ආමි එකේ..”

“යුද්ධෙදි මැරුණද…”

“අතුරුදහන් වෙලා…”

“මගේ මල්ලිත් ආමි එකේ හිටියේ..ළඟදි අයින් වෙලා ගෙදර ආවා…දැන් එයා තමා ගල්ගමුවෙ කඩේ බලන්නෙ..”

“ලක්මාල් මහත්තයනෙ..”

“තමුසෙ අපේ මල්ලිව අඳුරනවද..”

“ඔව්, කතාබහ කරලා තියනවා…ඔය අපේ සමන්ති අක්කගෙ මහත්තයාගෙ යාළුවෙක්නෙ..ඉස්සර නිතර අපේ ගම් පැත්තෙ ආවා, ගියා…හැබැයි මං දැනගෙන හිටියෙ නෑ බොස්ගෙ මල්ලි කෙනෙක් කියලා….”

සුදු මහත්තයා යමක් අවබෝධ වූවාක් මෙන් කෙටි කල්පනාවකට වැටුණේය.

“බොස්..අපේ සමන්ති අක්කත් දරුවෙක් එක්ක බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ… බැරිද මොනාහරි..”

“රස්සාවක්නෙ..කැමතිනම් එන්න කියනවා මෙහේ…මං ඔය මාධවීගේ රස්සාව දෙන්නම් තමුසෙගෙ අක්කට..”

ශාරිකගේ මුවඟට වෙන කවරදාකවත් නොනැඟුණු සටකපට සිනහවක් නැඟ ආයේය.

“අනිත් එක මං දන්නවා තමුසෙගෙ නෑනත් මාධවී මෙහේ ඉන්නවට එච්චර කැමති නෑ…ඒකනෙ ඔය මස්සිනා තමුසෙගෙ පස්සෙම හොර ගල් අහුලන්නෙ..”

සුදු මහත්තයා එසේ කියා උස් හඬින් සිනහ වන්නට වූයේය. මොහොතකින් ශාරිකගේ සමීපයට පැමිණ සෙමෙන් මෙසේ කීයේය.

“අපි එක ගලක් ගහලා කිරිල්ලියො දෙන්නටම තනි කූඩුවක් හදමු..” ශාරික වහා සුදු මහත්තයාගේ මුහුණ දෙස බැලීය.

“මං කිව්වේ අයිසෙ තමුසෙගෙ ලොකු නෑනට ජොබ් එක දීලා…බඳින්න ඉන්න නෑනගෙ සැකේ දුරු කරමු කියනෙක..”

සුදු මහත්තයා නැවත මහ හඬින් සිනාසෙන්නට වූවේය.

“ලොකූ..” ශාරික කල්පනාවෙන් මිඳුණේ සරලාගේ හඬිනි.

“කියන්ඩ චූටී..”

“ඔයාට පුළුවන්ද හෙට වැඩට යන්ඩ කලිං මාව ඉස්කෝලෙ නැන්දලාගේ ගෙදරින් දාලා යන්ඩ..”

ශාරිකගේ මුහුණ මත ජයග්‍රහණයක සේයා ඇදී සැනෙන් මැකී ගියේය.

තාරුකා සිය නිවසේ බංකුව මතට වී කළුවරට දෑස් අයා සිටියාය. ගිරාතලාන වැව් බැම්ම මතින් එහා, මෙහා යන හුළු අතු එළිය ඇයට පෙණුනේ අඳුරින් පිරී ගිය මාවතක දෙපසට මාරුවන වාහන වල ලාම්පු එළි මෙනි. කඩින්,කඩ ලැබුණු වැහි හේතුවෙන් ගිරාතලාන වැව තරමක් පිරී තිබෙන්නේය. එය මසුන් මරන්නන්නට සුබාරංචි ගෙන ඇති අයුරු කියවෙන්නේ මේ මිනිස් කටහඬවල් සහ හුළු අතු එළි වලිනි.

“නංගී…කන්නෙ නැද්ද..”

සමන්තී සිය නැඟණිය වූ තාරුකා අසළට පැමිණියේ එසේ අසමිනි.

“අයියා කෑවද..”

“ඔව්, කොල්ලත් එක්ක නට,නටා එයත් එහෙමම කෑවා…”

“කෝ දැන් දෙන්නා…”

“කොල්ලට එහෙමම නින්ද ගියා..එයත් ඔය ඉන්නේ වහලෙ හිල් ගැන,ගැනා…”

“අද මාර වැඩක්නෙ වුණේ අක්කා…”

තාරුකා කීයේ සිය සොහොයුරියට අතින් සන් කර බංකු ලෑල්ලේ වාඩිවන්නැයි කියමිනි. සමන්තී බංකුවේ පසෙක වාඩිවූයේ හිසෙන් ඒ කුමක් දැයි සිය නැඟණියගෙන් අසමිනි.

“අද උදේ වැඩට යද්දි අයියා මාවත් අරං ලොකූ පස්සෙ ගියානේ..”

“මේ අපේ මස්සිනා ශාරික පස්සෙ..”

“නැතුව අනේ..”

“ඒ අහවල් එකකටද..ගල්ගමුවට යන්න ඕනේ මිනිහා ගල්නෑව පැත්තෙ කරක් ගහං ගියේ, පරංගියා කෝට්ටේ ගියා වගේ…”

“කීවෙනම් එයාගේ බොසා හම්බෙන්න යනෝ කියලා…මටනම් හිතුණෙම ශාරිකයියගෙ මොකක් හරි හොරයක් අල්ලන්න ගියා වගේ..”

“ශාරික මල්ලී හවස වැඩ ඇරිලා යද්දි මෙහෙ ඇවිත් ගියේ..” තාරුකා ක්ෂණයකින් හැරුණේ සිය සොහොයුරිය වෙතටය.

“බංඩාර මුත්තේඒඒ..එයා දැකලද අපි පස්සෙන් එනවා…විසුමක් වෙන්නෑ දැන් මට..”

“එහෙම මොකුත් නම් කීවේ නෑ…ඒත් එයා වැඩ කරන තැන මට රස්සාවක් තියනවා…කැමතිනම් හදලා දෙන්නම් කීවා…”

තාරුකාගේ මුව මඳක් ඇරී එලෙසම තිබුණාය. ඊට මඳක් නුඳුරෙන් මේ සියල්ලට කන් දීගෙන සිටි කාලිංග මොහොතකින් විත් ඔවුන් දෙදෙනා අතර සිට ගත්තේය. සමන්තී මෙන්ම තාරුකාද හිඳ හුන් බංකුවෙන් නැඟී සිටියෝය.

“උඔලා දෙන්නා කාලද ඉන්නේ..” කාලිංග ඇසූයේ කිසිත් නොදන්නා විලාසයෙනි.

“තාම නෑ අයියේ..”

ඒ හඬ නැඟුණේ තාරුකාගේ සහ සමන්තිගේ මුවින් එකවිටය.

“ගිහිං කාලා නිදාගනිල්ලා…කොච්චර ඇහැරිලා කතාකරත් වෙච්චි දේවල් වෙනස් කරන්ඩ බෑ බං..”

තාරුකා සහ සමන්තී වදනකුදු නොදොඩා ගෙය දෙසට යන්නට හැරුණෝය.

“ලොකු නංගී..”

කාලිංග එසේ ඇමතුයේ සමන්තීටය. එම හඬෙහි දයාබර බව දරාගන්නට නොහැකිව සමන්තී පමණක් නොව තාරුකාද ගල් ගැසී හිටිවනම නතර වූවෝය.

“හෙට උදේට උඔගෙ ගේ කෑල්ලෙ වැඩ පටං ගන්ඩ බාසුන්නැහේලා එනවා…උදෙන්ම මොනාහරි තම්බගෙන කාලා ගිහිං කොල්ලත් එක්ක එහේ හිටහං මං එනකං..”

ගිරාතලාන මහ නුගය අසළ බස් නැවතුමෙහි කැරකි,කැරකී සිටින්නා ජිල්බුය. ඔහු පාර දෙපසත්, ගිරාතලාන ගමෙන් බස් නැවතුමට පිවිසෙන අතුරු පාර දෙසත් විපරමින් ඒ,මේ අත දුවමින් උන්නේය. සරලා රැගත් ශාරිකගේ යතුරුපැදිය, මහ නුඟයට නුඳුරෙන් ප්‍රධාන පාරට පිවිසියේ මේ මොහොතේය.

“පුංචි නිළමේ..”

කියාගෙන ජිල්බු පාරට පැන්නේය. ශාරික බොහෝ ආයාසයෙන් යතුරුපැදිය නතරකොට ජිල්බු දෙස බැලූයේ අමනාපයෙනි.

“අපේ සරලා චූටී හොරෙන්ම පිටගං යනවයැ…”

ජිල්බූ, සෘජුවම සරලා වෙත පැමිණ ඇසුයේය. ශාරික යමක් කියන්නට මුව විවර කළද, සරලා සිය සොහොයුරාගේ පිටට සෙමෙන් දැමූ තට්ටුවෙන් ඔහු නිහඩ වූයේ දත් කූරු සපමිනි.

“කවුදෑ දැන් උඔට මං පිටගං යනවය කීවේ..”

“කා..කා..කා….කාක්…කාක්.. කවුරු කියන්ඩද මං මේ අනුමානෙට කියව්වෙ…”

ජිල්බූ වචන හරඹ කරමින් සිටියදී, තාරුකා රැගත් කාලිංගගේ යතුරුපැදිය මහ නුඟය දෙසට එමින් තිබුණේය.

“බංඩාර මුත්තේඒඒ…පුංචි නිළමෙයා කන්ඩයි යන්නේඒඒඒ..”

කියමින් ජිල්බු කාලිංගගේ යතුරුපැදිය එන පෙරමඟට ගියේය. කාලිංග සිය යතුරුපැදිය, ශාරිකගේ යතුරුපැදියට සමාන්තරව නතර කළේය. ශාරික තාරුකා දෙසත්, කාලිංග සරලා දෙසත් බලා හිඳින්නට වූවෝය.

“කොහෙද උඔ යන්නේ…” කාලිංග ඇසූයේ සරලාගෙනි.

“මං යන්නෙ නංගිව කැලේගමට ඇරලන්ඩ..” ශාරික උත්තර දුන්නේය.

“මාත් යන්නෙ මගේ නංගිව සිරිවර්ධන මුදළාලිගේ පොඩි පුතාගේ ව්‍යාපාරේට ඇරලන්ඩ..”

“ඉතිං අපි අපේ පාරේ යමු..පාර හරස් කොරන්ඩ බත් බැලයො මොකටද…”

කාලිංග යතුරුපැදිය නවතා ඉන් බැස, ජිල්බූ අසළට පැමිණියේය. ඔහුගේ කමිස කොළරයෙන් අල්ලා බෙල්ල මුලටම හිර කළේය.

“කිව්වා නේද තොට අද බාස්ලා එනවා ලොකු නංගිලා දිහාට වෙලා හිටු කියලා…”

“ඒහ්..මේහ්..කාලිං..” ජිල්බූ තටමන්නට වූයේය. කාලිංග ජිල්බුගේ කම්මුල් දෙපසට පහර දෙකක් ගසා ඔහු අත හැරියේය.

“කියන දේ කරපිය පරයා…”

ජිල්බූ පසුපස නොබලා අතුරු පාර දිගේ දුවන්නට වූයේය. සරලා යතුරු පැදියෙන් බැස කාලිංග ඉදිරියට පැමිණ සිටගත්තාය.

“පිරිමි චණ්ඩිකම් කරනවනම් බලන්ඩ ආසයි..හැබැයි ගෑණු වගේ චිත්ත වැඩ කරද්දී හරි කැතයි හලෝ …”

“මොකක්ද තෝ කීවේ..”

කාලිංග අත ඔසවාගෙන සරලා සමීපයට පැමිණියේය. ඒත් සමඟම තාරුකා සහ ශාරික ඔවුන් දෙදෙනා අසළට දිව ආහ.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you