NovelsMandaramen EhaMandaramen Eha - 40 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 40 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – ලොකුබණ්ඩාර මැණිකේගේ නිවසෙහි කඩුල්ල ගොක්කොල ආරුක්කුවකින් සරසා තිබේ. කඩුල්ලේ සිට නිවස අසළට යන තෙක් මඟ දෙපස කොහුලණු ඇද ඒ දිගේ ගොක්කොල රැහැන් එල්ලා ඇත්තේය. ගෙය ඉදිරිපස මිදුලෙහි තහඩු අට්ටාලයක් ගසා ඇති අතර එහි ඇතුලත තහඩු පුටු දෙපේළියකි. වත්තේ තැන් කිහිපයක ප්ලාස්ටික් පුටුද දක්නට ලැබෙයි. සුදුවතින් සැරසුණු ගැමියන් විටින් විට එහි පැමිණෙයි. ශෝකාකූල මුහුණින් ගෙයි දොරකඩ සිට ආචාර කොට ඔවුන්ව පිළිගෙන ගෙට ඇතුල් කරන්නී සමන්තීය. එතරම් විශාල නොවූ කටුමැටි පියස්සෙහි කුඩා සාලය මැද ලොකුබණ්ඩාර මැණිකේගේ නිසල දේහය තැන්පත් කොට තිබේ. පොල්තෙල් පහනක් ඇගේ ඉහ අද්දර නොනිවී දැල්වේ. දෙණෙහි බඳ දෙපස ඇත්දළ යුවලකි. බිම එලූ පැදුරක වැටී අඩ සිහියෙන් මෙන් සිටින්නී තාරුකාය. ඇගේ දෑසින් නොකඬවා කඳුළු කඩා හැළේ. ඒ අසළ ඇගේ හිස අතගාමින් සිටින්නී ශාරිකගේ මව හීන්බණ්ඩාර මැණිකේය. ශාරික සාලය හරහා එමින් සිටියේය.

“ලොකූ..”

හීන්බණ්ඩාර මැණිකේ සිය පුතුට කතා කළාය. ශාරික විත් සිය මව අසළට පහත් වූයේය.

“කාලිංගයියා ගැනයි,සමන්ති අක්කයි ගැනයි පොඩ්ඩක් බලන්ඩ මයෙ පුතේ…”

ශාරික හිස වනා ගෙයි පිටුපස පෙදෙසට ඇවිද ගියේය. කාලිංග වත්තේ ඈත කජු ගසක කඳක් මත වාඩිවී ඔහේ බලාගෙන සිටිනු ශාරික දුටුවේය. ඔහු එදෙසට යන්නට සැරසෙත්ම සරලා පැමිණ ශාරික ඉදිරියේ සිට ගත්තාය
.
“ඉස්කෝලෙ නැන්දා ආවා…පොඩ්ඩක් ගිහිං කතා කරනවද අයියේ…”

ශාරික ආ ගමන නවතා නිවසේ ඉදිරිපස දෙසට ඇවිද ගියේය. සරලා සෙමෙන් කාලිංග සිටින තැනට ඇවිද ගියාය. ඔහුට තමා අවට පරිසරය පිළිබඳව නිනව් නොවන බව ඈ වටහා ගත්තාය. සරලා මෘදුව ඔහුගේ උරිස්සක් මත අත තැබුවාය. කාලිංග හැරී බැලුවේ නැත. සරලා ඔහුට පෙනෙන්නට ඉදිරියෙන් සිට ගත්තේ එහෙයිනි. කාලිංගගේ මුහුණේ සියලු හැඟීම් මැරී තිබෙනු සරලා දුටුවාය. ඒ දෑස් අපේක්ෂා භංගත්වය විසින් මළානික කොට තිබිණි.

“අනේඒඒ…ඇයි අයියේ මේ…” සරලාට ඉබේම එසේ කියවුණාය.

“වැඩක් නෑ බං..හැමදේම විනාශ වෙලා ගියා….”

කාලිංගගේ උරහිස් ගැස්සෙණු සරලා දුටුවාය. ඔහු කට තදින් පියාගත්තේ ඉකිය පිටට ඒම වළකාගනු පිණිසය. සරලා ඉදිරියට ගොස් ඔහුගේ හිස ගෙන තම උරහිස මත තබා ගත්තාය.

“ඔහොම ගහක්,ගලක් වගේ නොයිඳ..කෑගහලා අඬන්ඬ අයියේ..”

සරලා, කාලිංගගේ හිස පිරිමදිමින් එසේ කීවාය. ශාරික සහ ඉස්කෝලෙ නැන්දා ගෙයි ඉදිරිපස පුටු දෙකක වාඩිවී කතා බහකය.

“කීයටද මිනිය කැලේ ගහන්නෙ..”

“හතරට කලිං ගන්ඩෝනේ ඉස්කෝලෙ නැන්දේ..නැත්තං කැරකොප්පුවට අලි බහිනවා….”

“ඇත්තටම මොකක්ද මේ යසට හිටපු මනුස්සයට වුණේ ළමයෝ….”

“මටත් හිතාගන්ඩ බැරිවුණා ඒක අහද්දි ඉස්කෝලෙ නැන්දේ..”

“ඒක අහද්දි කීවේ…”

“ගල්ගමුව ටවුමෙදි කලන්තයක් හැදිලා වැටිලා…එවෙලෙ එතන තිබ්බ කාණු ගැට්ටක ඔලුව වැදිලලු…ඉස්පිරිතාලෙට ඇන්න යනකොටත් හිටියෙ මැරිලා කියලා තමා ආරංචිය..”

ඉස්කෝලෙ මැණිකේ හිස දෙපසට ගසා හුස්මක් ඉහළට ඇද්දාය. සමන්තී තේ බන්දේසියක්ද අතැතිව විත් එය ඉස්කෝලෙ මැණිකේට පිළිගැන්වූවාය.

“මේ නැන්දම්මගෙ ලොකු දුව සමන්තී..”

ශාරික ඉස්කෝලෙ මැණිකේට සමන්තීව හඳුන්වා දුන්නේ එලෙසිනි.

“වතාවක් දෙකක් හම්බෙලා තිබ්බට වැඩිය නිච්චියක් තිබ්බෙ නෑ…”

ඉස්කෝලෙ මැණිකේ කීයේ සමන්තී දෙසට ශෝකය ප්‍රකාශ කරන බැල්මක් හෙලමිනි.

“අක්කා ඉස්කෝලෙ නැන්දත් එක්ක පොඩ්ඩක් කතා කර,කර ඉන්ඩ…මං අර පැත්ත පොඩ්ඩක් බලන්නං..”

ශාරික සමන්තීව ඉස්කෝලෙ මැණිකේ සමඟ රඳවා එතැනින් පිටව ගියේය.

සුදු මහත්තයා සිය නිවසෙහි තරප්පු පෙල බැස එන මොහොතේම ලක්මාල්ද ගෙට ඇතුළු වූයේය.

“පප්පා බලන්ඩ ගියාද..” සුදු මහත්තයා ඇසූයේ ලක්මාල්ගෙනි. ඔහු හිස වැනුයේය.

සුදු මහත්තයා ඇසූයේ ලක්මාල්ගෙනි. ඔහු හිස වැනුයේය.

“එතකොට කඩේ..”

“වහලා ආවේ..”

“ඇයි…”

“මට ගිරාතලානේ යන්ඩෝනෙ..”

සුදු මහත්තයා කුකුසෙන් යුතුව ලක්මාල් දෙස බැලීය.

“එදා අර ගල්ගමුවෙ ඇක්සිඩන්ට් එකකින් මැරිලා තියෙන්නෙ අපේ කඩේ වැඩ කරන ගෑණු ළමයගෙ අම්මා…”

“ඕහ්..එහෙනම් ඒකයි මගෙ කඩේ කොල්ලත් මළගෙයක් කියලා නිවාඩු අරං තියෙන්නේ..”

“ඇයි එයත් ඒ ගමේද..”

“ගමේ විතරක් නෙමේ අයිසෙ, ඔය තමුසෙ ළඟ වැඩකරන කෙල්ල බැඳලා ඉන්නේ මගෙ කඩේ වැඩ කරන කොල්ලව..”

“ඔය කියනකං මං දැනගෙන හිටියෙ නෑනේ…”

සුදු මහත්තයා මොහොතක් කල්පනාකාරී වූයේය.

“එහෙමනම් තමුසෙ මෙහෙම කරනවා…ගිහිං ඔය අවසන් කටයුතු වලට කීයක් හරි දීලා, මූණ පෙන්නලා එනවා…මං දවල්ට පප්පව බලලා ගල්නෑවෙ කඩේ පැත්තෙ ගිහිං, එන ගමං රෑට ඒ පැත්තෙ ගොඩවෙලා එන්න යන්නං..දෙන්නම අපි ගාව වැඩ කරන මිනිස්සුනෙ අයිසෙ..”

ලක්මාල් හිසවනාගෙන තරප්පු පෙල නැඟීමට පටන් ගත්තේය. ගෙයින් එළියට යෑමට ගිය සුදු මහත්තයා නැවත හැරී දොර ළඟ සිට ලක්මාල් ඇමතුවේය.

“තමුසෙ කොහොමද දැන් ඔය ගමන යන්නේ..”

“අදීෂව කතා කරගෙන උගේ කාර් එකේ යනවා…”

“තමුසෙ ඕනෙනම් පප්පගෙ කාර් එක අරං යනවා…ඔය එක,එකා එක්ක යනවට වඩා ඒක තමුසෙටත් හොඳයිනේ..”

“මං මොකක් හරි කරගන්නම්. අයියට ඕනේනම් කාරෙක අරගෙන යන්ඩ..”

ලක්මාල් තරප්පු පෙල නැඟ ඉහළ මාලයට ගියේය. කල්පනාවක ගිලෙමින්ම මිදුලට පැමිණි සුදු මහත්තයා සිය පියා නිතරම වාඩිවන උද්‍යාන බංකුව අසළට ගොස් එහි සැපපහසු ලෙස වාඩි වූයේය. අනතුරුව සිය ජංගම දුරකතනය ගෙන අංකනය කරන්නට වූයේය. ඉන් පසුව මඳ වේලාවක් එහා පසට ඇහුන්කම් දීගෙන උන්නේය.

“ආහ්..චුට්ටේ..ඔව් බං ඔව්…පොඩ්ඩක් ධර්මෙ අයියගෙ සේල් එක පැත්තට ගිහිං මිනිහ ළඟදි හොඳ වණ්ඩියක් බස්සලාද කියලා බලහංකෝ….උඔට ඒ පැහිච්චකං වැඩක් නෑනේ..පයිත්තියංද උඔට සල්ලි දීලා කාර් ගන්ඩ..අරහෙ පප්පා ලෙඩ ඇඳේ..දවස් දෙක තුනකට ඉල්ලගන්ඩ බං..ඔව්,ඔව්..මට කෝල් එකක් ගහපංකෝ ගිහිං…”

දුරකතන විසන්ධි කළ සුදු මහත්තයා උරුවම් බාමින් ගොස් සිය යතුරු පැදියට නැඟ පිටව ගියේය.

ලොකුබණ්ඩාර මැණිකේගේ අවසන් කටයුතු සිදුවෙමින් පැවතුණේය. පවුලේ සියලූම දෙනා දෙණ සමීපයෙහි පැදුරු එලා වාඩිගෙන උන්හ. උස්ගල පුරාණ රජමහා විහාරයේ නායක හිමියන් සහ සේනපුර පොඩි හාමුදුරුවන් මෙන්ම සංඝයා වහන්සේලා කිහිප නමක් වැඩ සිටියහ. මතක වස්ත්‍ර පූජාව සහ පැන් වැඩීමෙන් අනතුරුව නායක හිමියන් සිය කතාව ආරම්භ කළ සේක.

“අද මේ තමන්ගේ සංසාර ගමනේ එක භවයක් කෙළවර කරලා ඉන්න අපේ ලොකුබංඩාරී උපාසිකා මාතාව බංඩාර පරම්පරාවේ වැඩිමල්ම පුරුක වුණු ලොකු බංඩාර මහත්තයාගේ ආදරණීය භාර්‍යාව..කලට හෝ අකලට වේවා කිසියම් මොහොතක අපි හැමදෙනාගේ මරණය තීරණය වෙන්නේ අපේ ඉරණම ලියවිලා තියන විදිහට..ලොකු බංඩාර උන්නාන්සෙ වගේම ලොකු බංඩාරී උපාසිකා මාතාවත් අපිට ආයේ,අයේම පසක් කරන්නේ ජීවිතයේ අනිත්‍ය බව සහ මරණයේ නිත්‍ය බව..පින්වතුණි..කෙනෙක්ගේ මරණය නෙවෙයි වඩා වටින්නේ..ජීවත්ව සිටි කාලය..ඒ කාලය තුළ ඒ පුද්ගලයා තමන්ගේ සහ අනෙකාගේ ජීවිතයේ යහපත වෙනුවෙන් කළ,කී දේවල්..ඒකයි අපි කතාවට කියන්නේ මරණයේ වේදනාව වැඩියෙන් දැනෙන්නේ ජීවත්ව සිටින අයට කියලා…ජීවත්ව සිටින කාලය තුළ තමන්ගෙන් අනෙකාට විය යුතු යුතුකම්,වගකීම් හැකි පමණ හෝ ඉටුකරගන්න පුළුවන් වුණානම්, මරණ මංචකයේදී තමන්ටත්, මරණින් මතු තමන්ගේ යැපෙන්නන්ටත් සතුටට කාරණා මිස, පසුතැවීමට කාරණා ඉතිරි වෙන්නේ නෑ…දැන් බලන්න මේ බංඩාරී උපාසිකා මාතාව..බංඩාර පරම්පරාවට පිටින් සම්බන්ධ වුණාය කියලා මේ ගමේ අය බංඩාර පරම්පරාවට දෙන්න ඕනේ නිසි ගෞරවය මේ මියගිය ඇත්තියට නොදී හිටියද..? නෑ… දුන්නා…ආන්න ඒ නිසා, මට ඒ උපාසිකා මාතාවගේ දියණියන් දෙදෙනාට සහ පුත්‍රයාට කියන්ඩ තියෙන්නේ..දෙමාපියන් අතින් මේ බංඩාර පරම්පරාව ඉදිරියට ගෙනියන්ඩ කිසියම්ම හෝ මෙහෙවරක් වුණානම්, ඊටත් වඩා වැඩියෙන්, මින් ඉදිරියට ඒ වෙනුවෙන් කැපවෙන්ඩෝනෙ කියලා. ..මේ ගමේ කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා එක හිතින්,එක හඬින් පිහිට ඉල්ලන ඒ බංඩාර පරම්පරාවේ මුතුන්,මිත්තන්ගේ ආරක්ෂකයා වූ බංඩාර මුත්තාගේ නාමයෙන්..පරම්පරාවක් ලෙස එකමුතුව, නෑ සිය මිතුරන් ලෙස සහයෝගීව ඉදිරියට වැඩකටයුතු සිද්ධ කරන්ඩ හිතට ගන්නය කියලා…මේ මලගිය ප්‍රාණකාරයා වෙනුවෙන් පිං අනුමෝදන් කරමු…”

අවසන් වතාවට ලොකුබණ්ඩාර මැණිකේගේ දේහය බලාගැනීම සඳහා ඉඩකඩ සැළසිණි. තාරුකාගේ සහ සමන්තීගේ ඉකිබිඳීම් අතරතුර දේහය සොහොන් බිමට රැඟෙන යෑමට සූදානම් කෙරිණි. ශාරික සහ කාලිංග දෙණෙහි ඉදිරිපසින් එය කර තබා ගත්තෝය. තාරුකා, සමන්තී සහ කවිරූ , හීන්බණ්ඩාර මැණිකේ සහ ඉස්කෝලෙ මැණිකේද දෙණ පසුපස ඇදෙන්නට වූහ. ගිරාතලාන වැව් බැම්ම මතින් අවමඟුල් පෙරහැර ගමන් කරන්නට වූහ. වැව් තාවුල්ලට උඩින් සැස්සේරුව කන්ද විනිවිඳ රත් පැහැයෙන් මලහිරු සැඟව යමින් තිබිණි. ගල්කිරියාගම කඳු පන්තියට එහායින් මන්දාරම එබිකම් කරන්නට ගත්හ. හීන් පොද වැස්ස ක්‍රමයෙන් ධාරාණිපාත වරුෂාවක් වී අවමඟුල් පෙරහර වසා පැතිරෙන්නට වූහ. සිය මවගේ දෙණට පිටුපසින් වැටී හුන් සමන්තී වරුෂාවෙන් සිය පුතු සඟවාගන්නට ඔහු ඇඟට මුවා කරගත්තාය. අකුණක් පිපිරී ගියේ ගිරාතලාන වැව් දිය මත ආලෝක ධාරා අඳිමිනි.

“අප්පච්චී…”

අවමඟුල් පෙරහරම ආපසු හැරෙන්නට තරං කුඩ කවිරුගේ ඒ හඬ වේගවත් වූවේය. සමන්තීට පිටුපසින් තෙතබරියං වූ ඇඳුමෙන් යුතුව සිටගෙන සිටියේ ලක්මාල් ය. කවිරූ සමන්තී අතහැර ලක්මාල් වෙතට පැන්නේ කිසිවෙකුට සිතා ගැනීමට තරම්වත් ඉඩකඩක් නොදෙමිනි. ලක්මාල් කවිරූව එක් අතෙකින් ඔසවා ගන්නවාත් සමඟම ක්ලාන්ත වූ සමන්තී ඔහුගේ අනෙක් උරය මතට ඇද වැටුණාය.

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you