NovelsMandaramen EhaMandaramen Eha - 31 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 31 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – ගල්ගමුව නගරය දෙසින් අරසන් වැවෙහි බැම්ම ආරම්භ වන ස්ථානය හරහා වැටී ඇති දුම්රිය මාර්ගයේ, දෙපස ඇති උණබම්බු වැසී ගියෝය. දුම්රියට ඉඩ දෙමින් දෙපස නවතා තිබූ වාහන ධූලී වලාවකින් වසා දමමින් රජරට රැජිණ දුම්රිය ගල්ගමුව පසුකොට අනුරාධපුරය දෙසට ඇදී ගියේය. දුම්රියට ඉඩ දී ගල්ගමුව දෙසින් රථ පෝළිමේ නවතා තිබූ සිරිවර්ධන මුදළාලිගේ 2 ශ්‍රී කලු පැහැති මොරිස් මයිනර් රථය සෙමෙන් ඇදී විත්, නොතාරිස් කන්තෝරුව සහ හින්දු කෝවිල අතර අරසන් වැව් බැම්මේ පහල කොටසේ පිහිටි ගරාජය අසළ නතර කෙරිණි. වාහනය දුටු සැනෙන් ගරාජයේ ඇතුලත සිටි එහි හිමිකරු බන්ධු වහා දිවවිත් නතර වූයේ කාරයේ දොර අසළය.

“මයෙ අම්මේහ්…අපෙ මුදළාලි…”

කාරයේ ඉදිරිපස දොර විවර කරමින් සිරිවර්ධන මුදළාලීට බසින්නට සැළැස්වූ බන්ධු, ඉතා යටහත්ව පසෙකට වී සිටගත්තේය.

“කොහොමෙයි බන්ධු තමුන්ගෙ ව්‍යාපාර කෙරුවාව හේම…”

“අපෙ මුදළාලිට පිං සිද්ධ වෙන්න යහතින් කරං යනවා ඕං..”

“තමුන් මේ වෙලාවේ කාරිය බහුලද..”

“ආයේ මේ මොනවා අහනවද..අපෙ මුදළාලි මෙතන කොට ඒ ඇරෙන්න මට අහවල් රාජකාරිද…”

“එහෙනම් ඔය ඩිකියෙ තියෙන අඩුම,කුඩුම ටිකත් අරං එනවකො අපි පිටිපස්ස පැත්තට ගිහිං පොඩි කයියක් ගහමු..”

සිරිවර්ධන මුදළාලි ගරාජය පිටුපසට ඇවිද ගියේය. බන්ධු වහා ගොස් ඩිකිය විවෘත කළේය. එහි ඇති දෑ දුටු ඔහුගේ මුහුණ ප්‍රබෝධමත් වූයේය.

“කොල්ලෝ….ඔය බාරගත්තු වැඩ ටික දෂ්ඨි දිෂ්ඨියට ඉවර කරන්නෝනෙ..මං පිටිපස්සෙන් දොර අගුල්ලනවා…කවුරු ඇහුවත් මං නෑ ඕං හරිද..”

මජං තැවරුණු ඇඳුමක් හැඳ සිටි කොලුවා බයාදු ලෙස හිනැහී හිස වැනුවේය. ගරාජයේ පිටුපස දොරින් ඇතුළු වූ බන්ධු එය ඇතුලතින් අගුලු ලෑවේය. සිරිවර්ධන මුදළාලි වාහනයකින් ගළවා බිම සවිකරන ලද සැපපහසු අසුනක දිගෑදී සිය පයිප්පය සකසමින් සිටියේය. තමන් ගෙනා පාර්සල් එකින්,එක විවර කොට අසළ මේසය මත පිළිවෙලින් තැබූ බන්ධූ ගෞරව පෙරදැරිව සිරිවර්ධන මුදළාලි දෙස බැලුවේය.

“අපෙ මුදළාලී දැන්ම අනුමත වෙනවැයි..”

“ආයේ මොකට සුනංගු වෙනවද බන්ධු..වීදුරු දෙකක් හෝදලා ගන්නවා…”

වචනය ලද සැනෙන් බන්ධු සිටියේ වීදුරු දෙකත් සමඟ වතුර භාජනය අසළය.

“ඈං..බන්ධු..තමුන්ට මතකනෙ අර අපේ පොඩි එකා ගිරාතලානෙදි බයික්කෙක හප්පගත්තා…”

“ආයෙත් අහලා මං නොවැ ටිපර් එක ඇන්න ගෙහුං ඒක උහාන ආවේ අපෙ මුදළාලී..”

බන්ධු වීදුරු දෙක සහ බෝතලය සිරිවර්ධන මුදළාලි අසළ තබා නැවත පසෙකට වී සිටියේය. සිරිවර්ධන මුදළාලි හිසෙන් ඔහුට වාඩිවන ලෙස සන් කළේය.

“මට තියනවා අයිසේ අවුරුදු ගානක් ආපස්සට ගිහිං එක තැනක් හරියට හරිගස්සා ගන්ඩ..”

සිරිවර්ධන මුදළාලි එසේ කීයේ බෝතලයේ මූඩිය විවර කොට වීදුරු දෙක පුරවන අතරවාරයේය.

“එක තැනක් නෙවේ, අපෙ මුදළාලිට ඕනෙනම් ගම් දෙක තුනක් වුණත් හරි ගස්සන එක මහ කජ්ජක්‍ද..”

බන්ධු කීයේ වීදුරුවට පිරෙන මත්වතුර දෙස බලමින් තොල්මරන ගමන් ය.

“එච්චර හරියක් ඕනැන්නෑ අයිසෙ..මං අද හවසට තමුන්ට කොල්ලෙකුයි,කෙල්ලෙකුයි පෙන්නන්නම්…උන් දෙන්නා ඉන්නෙ කොහෙද කියලා හරියටම හොයලා බලලා කීවනම් ඒ ඇති…”

සිරිවර්ධන මුදළාලි බන්ධු අතට එක් වීදුරුවක් දී සිය වීදුරුව ඔහු දෙසට ඔසවා උගුරට හලා ගත්තේය.

සිරිවර්ධන ෆැන්සි හවුස් හි ගබඩා කාමරය තුළ ඔබ,මොබ යමින් සිටියේ කාලිංගය. එහි ප්‍රවාහනයට සූදානම් කර ඇති ධාන්‍ය වර්ග සහ අනෙක් අසුරන පිළිබඳව ඔහු සුපරික්ෂාකාරී වූයේය.

“මේඒඒ…මල්ලී…”

වෙනස් ඌරුවක හඬක් බැවින් එදෙස හැරී බැලූ කාලිංග දුටුවේ තමන් අසළ සිටිනා සින්නාය.

“ආහ්..මං ඒත් බැලුවා මොකාද ඒ අයියා කියලා ..”

තැකීමක් නැති කාලිංගගේ එවදන් හමුවේ සින්නා මඳක් පසුබා ගියේය.

“නේ..මේ..ලොකු මාතියා තමා කීවා මට මේ මාතියා පෂ්ෂෙම ඈ තියං ඉන්ඩ කීලා…”

“මගේ පස්සෙ ඇහැ තියන්නෙ උඔගෙ මොන අමාරුවටද බං..”

“යේක මට මේ කීන්ඩ තමා තේරෙන් නේ අප්පා…”

“තේරෙන්නැති මඟුල් නොකර හිටහංකෝ බං එතකොට ඉවරනෙ..”

“අයියෝ ෂාමී…ඒම කෝමද කරනවා…ලොකු මාතියා මාව ගෙදෙට්ට තමා පන්නයි..”

“උඔලයෙ ලොකු මහත්තයා එච්චර හයි කාරයෙක්ද බං..”

සින්නා සෙමෙන් කාලිංග අසළට පැමිණ, රහසෙන් මෙන් කතාකරන්නට වූයේය.

“මේ මාතියාට කියාන්ඩ..අපේ පොඩි මාතියයි, සුඩු මාතියයි ලොකු මාතිය දෙක්කාම මේං මේම ඉටගන්නෙ..ඉස තීන්නේ මේං මේම නෙවිලා…”

ලක්මාල් සහ සුදු මහත්තයා සිරිවර්ධන මුදළාලි ඉදිරියේ බය පක්ෂපාතීව හැසිරෙන අයුරු අනුකරණය කරමින් දක්වන සින්නා දෙස බලමින් කාලිංග “හැක්..හැක්.” හඬින් සිනාසෙන්නට වූවාය. ඒ සිනාහඬට අසළින් යමින් සිටි සුදු මහත්තයා නතරවී බැලුයේය.

“සින්නා…”

සුදු මහත්තයාගේ හඬින් තිගැස්සුණු සින්නා වහා ඔහු වෙතට ගොස් යටහත් පහත්ව සිටගත්තේය.

“මට තේ එකක් හදාගෙන වරෙං..මතක් කරලා ඉඟුරු ටිකක් දාපං..”

“ඒමයි සුඩු මාතියා…”

සින්නා පිටව යනතෙක් තප්පර කිහිපයක් සුදු මහත්තයා කාලිංග දෙසම බලා හුන්නේය.

“මොකක්ද තමුසෙගෙ නම කීවේ..”

“කාලි..දාස…”

“පෙනුමට ගැළපෙන නමක්..”

“නමට ගැළපෙන වැඩත් තියනවා මහත්තයෝ…”

“තියෙන්නම එපැයි..නැත්තං අපේ පප්පගෙ හිතට අල්ලන්නෑනේ..”

“මහත්තයගෙ හිතත් මං නාල්ලා ඉන්නෑ…” සුදු මහත්තයාගේ මුවඟට තුනී සිනහවක් නැඟ ආයේය.

“එතකොට අර තමුසෙගෙ නංගිද..”

“ඔව්..පොඩි නංගී..”

“ආහ්..ඒ කියන්නෙ තව නංගියෙක් ඉන්නවා…”

“ඔව්..එයා බැඳලා..”

“හ්ම්ම්…එතකොට මෙයා බඳින්න ඉන්නෙ ශාරිකද..”

සුදු මහත්තයා කාලිංග දෙසම බලා සිටියේ පිළිතුරක් අපේක්ෂාවෙනි. කාලිංග මුහුණට උපහාසාත්මක සිනහවක් නඟා ගත්තේය.

“ඔව්…එයැයි එහෙම හිතාගෙන ඉන්නවා…”

සුදු මහත්‍තයාගේ මුහුණ ආලෝකමත් වූයේය. ඔහු ඒ දීප්තියෙන් කාලිංග දෙස බලා හුන්නේය.

ඉස්කෝලෙ මැණිකේ මුළුතැන්ගෙය පිටුපස වත්තේ සැරිසරමින් සිටියාය. පෙරදා රැයෙහි දුටු සිහිනය ඇගේ හිත පෙළමින් තිබුණාය. දිනක් ගෙවී තිබුණද තවමත් ඒ මතකයෙන් මිදෙන්නට ඈ අපොහොසත් වී සිටියාය.

“පුංචි අම්මණ්ඩී..”

තමාගේ හඬට ඉස්කෝලෙ මැණිකේ අහේතුකව ගැස්සුන බව රිදී නැන්දා දුටුවාය.

“මොකෝ රිදී නැන්දේ..”

“මොකෝ කියලා දැන කියාගන්ඩ තමා මේ අහ ආවේ..”

“දැන කියාගන්ඩ…”

“අපෙ මැණිකෙ ඊයේ ඉඳං අර මුල්ලෙ,මේ මුල්ලෙ ටැක් ගැහි,ගැහී කල්පනා කරන්නෙ මොනවැයි කියලා…”

රිදී නැන්දාගේ ඒ වචන කිහිපය ඉස්කෝලෙ මැණිකේගේ හිත අල්වා ගත්තාය. තමාට මේ හුදෙකලා මන්දිරය තුළ ජීවිතය බෙදාගැන්මට සිටින එකම විශ්වාසවන්ත ගැහැණිය ඇය නොවේදැයි සිතී ඉස්කෝලෙ මැණිකේ සැනසුම් සුසුමකින් ළය පුරවා ගත්තාය.

“රිදී නැන්දට මතකද ඉස්සර අපේ අප්පච්චිගෙ යාළු මුදළාලි කෙනෙක් හිටියා ඔය දකුණු පළාතේ..”

රිදී නැන්දා මොහොතක් කල්පනාබරව උන්නාය.

“අර එයාගේ පුතෙක් ගැන මට මඟුල් යෝජනාවක් අරං ආවේ පස්සෙ කාලෙක..”

“දියෝනිස් මුදළාලි..”

රිදී නැන්දා එසේ කීයේ ඉස්කෝලෙ මැණිකේ සිය කතාව අවසන් කරනවාත් සමඟමය.

“ඒ මනුස්සයනම් දැන් මැරිලත් ඇති..දරු මල්ලෝ කොහෙද දන්නෑ නේද..”

“කොහෙ හිටියත් ඒ ඈයොත් දැන් පවුල් පන්සල් වෙලා නැතෑ අපෙ මැණිකේ..”

“ඉතිං මොකෑ…මං මේ කරකාරෙට ගන්න හොයනවැයැ රිදී නැන්දේ..”

“අපේ බංඩාර නිළමේ පවුලට පිටු නොපාන්න, අද අපේ මැණිකෙත් රත්තරං ටිකට දීග තලා ගිහිං රැජිණක් වගේ ඉන්නවා නොවැ…”

“ඒක මගේ ලැබීම රිදී නැන්දා…ඒ නිසා ජීවතුන් අතර නැති මල්ලිට දොස් නොතියා ඉමු..”

“ඒ වුණාට අපෙ මැණිකෙ හිතෙන් විඳෝනවා…පෙරෙයිදත් නැඟිටගෙන උන්නා මහ පාන්දර..”

නැවතත් ඉස්කෝලෙ මැණිකේට රිදී නැන්දා කෙරෙහි උපන්නේ භක්ත්‍යාදරයකි.

“මට එහෙම ලොකු පසුතැවීමක් නෑ රිදී නැන්දේ..ඒත් වෙලාවකට මේ ගේ ඇතුලේ මහා තනිකමක් දැනෙනවා…”

“මට ඒක දැයෙනවා මයෙ මැණිකේ..මාත් ටික දොහකින් මැරිලා ගියාම කවුදෑ මයෙ මැණිකෙව බලා කියා ගන්නෙ..”

රිදී නැන්දා තෙත්වූ ඇස් වලින් යුතුව, එසවී ඉස්කෝලෙ මැණිකේගේ හිස අතගාන්නට වූවාය. ඉස්කෝලෙ මැණිකේ මොහොතක් රිදී නැන්දාගේ උරයකට බරව සිටියාය. මුළුතැන්ගෙයි සිට සරලා මේ සම්පූර්ණ සංවාදයට කන්දී සිටියාය. මඳ නිහැඬියාවක් පැවති හෙයින් ඈ කුස්සියෙන් පිටතට පැමිණියාය. ඒ මොහොතේ ගේට්ටුව අසළ කාරයක් නතර කෙරෙනු ඈ දුටුවාය. ඉන් බිමට බට ලක්මාල් දුටු සරලා වහා ගේට්ටුව වෙතට පිය මැන්නාය.

“සරලා….”

තමාට පිටුපසින් ඇසුණු සිය නැන්දණියගේ හඬින් සරලා හිටිවනම නතර වූවාය.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you