පිරිමින්ටත් පියයුරු පිළිකා
පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත අනුව පියයුරු පිළිකා රෝගීන් වාර්ෂිකව 6000ක් පමණ වාර්තා වන පසුබිමක ඒ අළලා සැකසුණු ලිපියක් පහත වේ. දිනකට පියයුරු පිළිකා රෝගීන් 17කට ආසන්න දත්ත ලැබෙන අතර ඉන් රෝගීන් තිදෙනකු පමණ මිය යන බවද හෙළිවී ඇත. කාන්තාවක් වීමම පියයුරු පිළිකාවට නතු වීමට හේතුවක් වන අතර අවධානම් කණ්ඩායම් සහ හේතු පහත පරිදිය.
ජානමය සම්බන්ධතාවක් පැවතීම.
එනම් තම පවුලේ සාමාජිකයකු තම මව හෝ මිත්තණිය රෝගයට ගොදුරු වී සිටීමෙන් පසු එම පරපුරේ සාමාජිකයන්ටද පියයුරු පිළිකා අවධානම ඇත. එසේම අවුරුදු 40ට අඩු කාන්තාවන්ගෙන් ඇතැම්හු පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙති. එයද ජානමය සම්බන්ධතාව නිසා ඇති වූවකි.

වයස් ගත වීම.
අවුරුදු 50ට 60ට වැඩි මැදි වියේ පසුවන කාන්තාවන් සඳහාද අවදානම පවතී. ස්ථුලතාවෙන් නොඑසේනම් අධික තරබාරුවෙන් පෙළෙන මෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය නියමිත පරිදි පවත්වා ගත නොහැකි කාන්තාවන්ද විශේෂයෙන් රෝගය ගැන සැලකිළිමත් වන්න. කාර්ය බහුල ජීවන රටාවකට හුරු වීම නිසා සිරුරට නිසි ව්‍යායාමයක් නැති වීම, වැරදි ආහාර මෙන්ම සාමාන්‍ය දෛනික රටාවෙන් තොර වීමද හේතුය.
මධ්‍ය සාර, දුම්කොළ සහ දුම්පානය කිරීම.
මාසික ශුද්ධිය නැවතීමෙන් පසු හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ටද පියයුරු පිළිකා අවධානම පවතී.
අවුරුදු 10ට වඩා අඩු වයසෙදි මල්වර වීමද අවදානම් සාධකයකි.
දරුවන් නොමැති විවාහක කතුන්ට මෙන්ම වයස් ගත වී දරුවන් ලැබීමද පියයුරු පිළිකාවට අවදානමකි.
අයනීකරණ විකිරණද ඉතා අහිතකරයි.
ඒ වගේම මවුකිරි දීම වේලාසනින් (කල්තියා) නැවැත්වූ කාන්තාවන්ටද අවධානමක් පවතී. එමෙන්ම මවුකිරි දෙන කාන්තාවක් නම් පියයුරු පිළිකා අවධානම සියයට 4.3 කින් අඩු කර ගත හැකියි. එබැවින් මාරුවෙන් මාරුවට පියයුරු දෙකෙන්ම තම බිළිඳාට අවශ්‍ය පරිදි මවු කිරි ලබා දෙන්න. උපත් පාලන පෙති භාවිතයද යම් තරමකට අවධානමක් ඇති කරයි. පියයුරු පිළිකාවලට අවධානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති ගැනීම අවදානම තවත් ඉහළ යෑමට හේතුවකි. ඒ අනුව ජානමය අවධානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති භාවිතය සුදුසු නොවේ.

රෝග ලක්ෂණ
මෙය ගැටිත්තක් ලෙස වර්ධනය ඇරැඹේ. අතට අසු වෙන පරිදි වර්ධනය අරඹන ගැටිත්ත වේදනා සහිත හෝ රහිත හෝ විය හැකියි. පියයුරේ සමෙහි පැහැය වෙනස් වේ. පියයුරෙහි ඉබේටම ඇති වූ තුවාලයක් ඇත්නම්, පියයුරේ සම දොඩම් ලෙල්ලක් මෙන් ඝන වීම. තණ පුඩු මිරිකූ විට ලේ හෝ වතුර වැනි ද්‍රාවණයක් පිට වීම. අසාමාන්‍ය ආකාරයට තණ පුඩුව ඇතුළට නෙරා තිබීම.
ඕනෑම රෝගී තත්වයක් කල්තියා හඳුනා ගැනීම වැදගත් වන්නේ රෝග විනිශ්චය පහසු සහ නිවැරැදි වූ තරමට ප්‍රතිකාර ඇරැඹීමත් වේලාසන කරගත හැකි නිසාවෙනි. එබැවින් ඉහත ලක්ෂණ තමන්ටම නිරීක්ෂණය කරගත හැකි බැවින් නොපමාව ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් සුවපත් වීමට පුළුවන. පිළිකා සෛල නිරතුරුව සහ ඉක්මනින් පැතිරීම අරඹන නිසා කල්තියා හඳුනා ගැනීමෙන් රෝගියාගේ ජීවිතයට ඇති අවධානම අවම කරගත හැකි වනු ඇත. පියයුරු පිළිකාවට අවධානම් ඇති හෝ නැති සියලුම කාන්තාවන්ට ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කර ගත හැකිය. එයින් පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීමට පුළුවන. ඒ අනුව අපේ රටේ අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම ඔසප් චක්‍රය සිදු වී සතියකට පසු තමන් විසින්ම පියයුරු පරීක්ෂාව කර ගැනීම සිදු කළ යුතුයි.

පියයුරු ස්වයං පරීක්ෂාව
කණ්ණාඩියක් ඉදිරියට ගොස් පියයුරු දෙකෙහි අසාමාන්‍ය වෙනස් වීමක් ඇද්ද යන්න බාහිරව නිරීක්ෂණය කළ හැකියි. එනම් පියයුරුවල හැඩයේ වෙනසක්, පියයුරේ හමෙහි වෙනස් වීමක්, පියයුර රතු වී හෝ තුවාල වී ඇත්ද යන්න මෙහිදී විමසිලිමත් වීම වටී. අනතුරුව පහසු ඉරියව්වක සිටිමින් මෙය තමාටම පරීක්ෂා කර ගත හැකියි. ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට අනුව තම අතින් තණ පුඩුව දක්වාම පියයුර හොඳින් ස්පර්ශ කර බැලිය හැකියි.
‘සුවනාරී‘ සායනයේ වාසිය?
තමන් පදිංචි ප්‍රදදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙහෙයවන සුවනාරී සායනයට යොමු වීම මඟින්ද ඔබට පියයුරු පරීක්ෂා කර ගත හැකියි. එහිදී ඔබට පළපුරුදු වෛද්‍යවරයකුගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සහාය ලැබෙනු ඇත. ඒ අනුව අවධානම් රහිත කාන්තාවන්ට වසර දෙකකට වතාවක් සුවනාරී සායනය හා සම්බන්ධ වී පියයුරු පරීක්ෂා කර ගත හැකියි.
මෙවැනි පිළිකා තත්වකල්තියා හඳුනා ගැනීම සඳහා මේ වනවිට රට පුරා මධ්‍යස්ථාන කිහිපයක්ම ඇත. ඒ අනුව කොළඹ ජාතික රෝහල, රත්නපුර, බදුල්ල, යාපනය, මඩකළපුව යන ශික්ෂණ රෝහල්වලින් සහ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ඒකකය මෙන්ම මාතර, අකුරැස්ස යන ඒකකවලින්ද ඔබට ඒ සඳහා සහාය මෙන්ම වැඩිදුර උපදෙස්ද ලබා ගත හැකිය.
රෝග විනිශ්චය කිරීමේ ක්‍රම මේවාය. ඒ අනුව මෙමෝග්‍රෑම් පරීක්ෂණය සිදුකෙරේ. එමගින් සැක සහිත ගැටිත්ත පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න සැක හැර දැන ගැනීම සඳහා මෙමෝග්‍රෑම් පරීක්ෂණය ඉවහල් වේ. මෙය අවුරුදු 45ට වැඩි කාන්තාවන් අරඹයා සිදු කෙරෙන අතර අවධානමක් නැත්නම් අවුරුදු දෙකකට වතාවක් මෙම පරීක්ෂාව සිදු කර ගත හැකියි.

පටක පරීක්ෂාව (බයොප්සිය)
ගැටිත්තෙන් පටකයක් ලබා ගෙන සිදු කරන පරීක්ෂණයකි. මෙමඟින්ද පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න තහවුරු කර ගත හැකි ය.
ස්කෑන් පරීක්ෂාව
පියයුරු පිළිකාව කෙතරම් දුර පැතිරී ඇත්ද යන්න බලා ගැනීමට ස්කෑන් පරීක්ෂණය සිදු කරයි.
ප්‍රතිකාර ඇරැඹීම
ඉහත පරීක්ෂණ මඟින් පියයුරු පිළිකාව වර්ධනය සහ පැතිරීම ගැන තහවුරු කර ගැනීමෙන් අනතුරු සැත්කම සිදු කෙරේ. මෙය ප්‍රධාන ප්‍රතිකාරයයි.මෙගින් සම්පූර්ණ පියයුර සේම වසාගැටිති ඇති ප්‍රදේශය සැත්කමෙන් ඉවත් කරනු ඇති. ඉන්පසුව විකිරණ ප්‍රතිකාරයත්, කීමෝ තෙරපි ප්‍රතිකාරයත් හෝමෝන ප්‍රතිකාරයත් ලබා දේ. මෙම රෝගී තත්ත්වය මුළුමනින්ම පාහේ කාන්තාවන්ටම පමණක් වෙන්වූ රෝගයක්ද නොවේ. එසේ කීමට හේතුව පියයුරු පිළිකා රෝගී තත්ත්වය පිරිමි පාර්ශ්වය අතරද ඉතා සුළු වශයෙන් දක්නට ලැබීමයි. එහෙත් කාන්තාවකට මෙහි අවධානම පිරිමියකුට වඩා සිය ගුණයකින් වැඩි බවද සොයා ගෙන ඇත.
කතාබහ
ධාරා අබේනායක




