කීරත් – Resolution
කීරත් තොල් තද කරගෙන මුමුණමින් සිටියාය. හිස වමට හරවා නැවතත් දකුණට හරවා, ඉදිරිපිට ඇති කැමරාව හා ඇස ගැටීමෙන් වැළකී සිටීමට උපරිම උත්සාහයක් ගත්තාය. පෝසිලේන් පිඟානක් මත තද රතු පැහැති චට්නි සමග තිබූ පාන් පකෝරාවක් ඇය අතේ තිබුණි. කැමරාකරු මේසය වටා සිටි අමුත්තන්ව රූගත කළේය. සමහරු සිනහවක් පෑව අතර, සමහරු කැමරාව නොදුටුවා සේ කතාබහ කරමින් සිටියෝය. කීරත් නිහඬවම ආහාර ගත්තාය. අවසානයේ ඔහු වෙනත් මේසයකට යන විට ඇය සැනසුම් සුසුමක් හෙලමින් සිය ඩුපට්ටාව සකසා ගත්තාය.
මෙය පන්ජාබි විවාහ මංගල්‍යවල නරකම කොටස්වලින් එකකි. සෑම කෙනෙකුම රූගත කරන්නේ මන්දැයි තේරුම් ගත නොහැක. බොහෝ අය එය විහිළුවක් ලෙස සැලකූ අතර කීරත්ගේ අම්මා නැන්දා දෙසට හැරී, ඔවුන් වැඩිපුරම චාට් කෑවේ කවුදැයි බැලීමට පටිගත කරමින් සිටින බව පැවසුවාය. නැන්දා ඇගේ පිඟානේ කිසිවක් නොමැතිව සිනාසුණ අතර කීරත් තම පිඟාන අධික ලෙස පුරවා ගත් ආකාරය ගැන කණගාටු වූවාය. බුෆේ එකේ පෝලිමේ සිටගෙන සිටින විට චිලී පනීර් නොදැක්කා නම් කියා ඇය සිතුවාය.

ඇගේ ඇඳුම සිරුරට අපහසුවක් ගෙන දුන්නේය. රාත්‍රියේ ඉතිරි කාලය වේදනාකාරී ලෙස සෙමින් ගෙවී ගියේය. අවසානයේ නිවසට පැමිණ ඇඳුම් උනා දැමූ ඈ බ්‍රා එකද ගලවා ටී ෂර්ට් එකක් සහ රතු පැහැ කොට කලිසමක් ඇඳගෙන ඇඳ ඇතිරිලි යටට රිංගාගත්තාය. පසුදා උදෑසන, ඕට්ස් බඳුනක් කමින් සිටියදී, ඇගේ මව විසිත්ත කාමරයේ සිට ඇයට කතා කළාය.
“ඔයාගෙ ඇඳුම පරිස්සමට අරන් තියන්න. ඒක ඔයාට හරි ලස්සනයි. අර බාතෲම් එකේ තියෙන ජුවෙලරීස් ටිකත් අරන් තියන්නකෝ. ඒවා හරි ගණන්. අපිට නාස්ති කරන්න සල්ලි නෑ.”
කීරත් සුසුමක් හෙළමින්, ඇගේ දුරකථනය දෙස බලා “හරි” යනුවෙන් මිමිණුවාය.
“ඔහ්, සීයා ඔයාගෙ පොඩිකාලෙ ෆොටෝ එකක් ඉල්ලුවා ඊයෙ. මට පොඩ්ඩක් උදව් කරන්නකෝ ඇල්බම් ටික හොයාගන්න.”
කීරත් හිස වැනුවාය. ඔවුන් උදෑසන ආහාරය අවසන් කර පහළ මාලය වෙත ගිය අතර එහිදී පරණ ඇල්බම් බලමින් ඇගේ ඒ කාලයේ කොණ්ඩා විලාසිතාවලට, ඇඳුම්වලට හිනැහුණෝය. අවසානයේ අම්මාට අවශ්‍ය ඡායාරූපය ලැබුණ අතර කීරත් ඇය කලින් දැක නොතිබූ ඡායාරූපයක් සොයාගත්තාය. එහි ඇයට අවුරුදු තුනක් පමණ වෙන්නට ඇත. ඇගේ කොණ්ඩය පිරිමි ළමයෙකුගේ මෙන් කොටට කපා තිබූ අතර නිල් පැහැති ඕවරෝල් එකක් සහ කොළ සහ ලා දුඹුරු ඉරි සහිත ස්වෙටර් එකක් ඇඳ, දත් සියල්ල පෙන්වමින් හිනැහෙමින් සිටියාය. ඒ කුඩා දැරිය තමා කරන ඕනෑම දෙයක් ගැන ඉතා සතුටින් සිටින බවක් පෙනෙන්නට තිබුණි. කැමරාව ඇයට සුළු බාධාවක් පමණක් වූ අතර, ඇය ඇගේ සතුටට බාධා කිරීමට ඉඩ දී නැති බව පෙනෙන්නට තිබුණි.

කාමරයේ බිම පුරා විසිරී තිබූ ඇඳුම් නවන ලෙස මවාපාමින්, ඇය පින්තූරය දෙස බලා සිටියාය. ඇය කල්පනා කළාය. කැමරාව පිටුපස සිටින පුද්ගලයා, ඇගේ අම්මා හෝ තාත්තා ඇය දෙස බලා සිටීම, ඔවුන් ඇය ගැන කළ හෝ නොදුටු දේවල් ගැන ඇය කල්පනා කළාය. තමන්ට සමාජ විද්‍යාව හැදෑරීමට අවශ්‍ය බව, හුස්ම ගැනීමට නොහැකි තරම් දරුණු ලෙස භීතිකා ප්‍රහාර ඇති වන බව සහ කලවා ඇතුළත කොටස් කපා ගන්නා බව දැන සිටියේ නම් ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? ඇගේ අම්මා කැපීම ගැන දැන සිටියාය. ඇය සාමාන්‍යයෙන් කිසිදා බැරෑරුම් ලෙස නොසලකන රතු පැහැ පෙති. අවසානයේ භීතිය සහ ආතතිය වර්ධනය වන අතර ඇය සමහර දේවල් මව හා පවසයි. සාමාන්‍යයෙන්, ඇගේ අම්මා කෝපයෙන්, කෝපයෙන් සහ කළකිරීමෙන් ප්‍රතිචාර දක්වනු ඇත.
“ආයෙත්?.. කීරත්? ඔයාට මීට වඩා හොඳ දෙයක් ඇත්තෙම නැද්ද? ඔයා ඔයාගෙ වගේම මගෙ ජීවිතෙත් විනාශ කරනවා. මට නං තේරෙන්නෙ නැහැ.”
ඇය කෑ ගසනු ඇත. ඡායාරූපය තවමත් ඇගේ අත්වල රැඳී ඇති අතර කීරත් ඒ දෙසම බලා සිටියාය. අවසානයේ එය ඇඳ අසල මේසය මත තබා බිම පුරා විසිරී තිබූ ඇඳුම් අහුලා අල්මාරියට දැමීමට ගොස් එයත් පිරිසිදු කිරීමට තීරණය කළාය. අල්මාරියේ පතුලේ ඇති කුණු ඉවත් කර, ඇඳුම් පිළිවෙලට නවා දැමුවාය. ඉන්පසු පොත් රාක්කයේ සුවඳැති ඉටිපන්දමක් දල්වා පිරිසිදු ඇඳ ඇතිරිලි මත වාඩි වූවාය. ඇයට තෘප්තිමත් බවක් දැණුනි. කාමරය පිරිසිදු කිරීම කුඩා කාර්යයක් වූ නමුත්, කෙසේ හෝ ඇය කුඩා දැරියගේ සිනහවේ අරුත තේරුම් ගෙන සිටියාය. ඇගේම සිනහව.




